ආනයන සීමා කිරීමෙන් බිලියන 3.3 ක ඉතිරියක්


 

(හර්ෂණ තුෂාර සිල්වා)

ආනයන සීමා කිරීමෙන් මේ වසරේ මුල් මාස 10 තුළදී රුපියල් බිලියන 3.3ක මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සී. චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (26) පැවැසීය.

ආනයන සීමා පනවා ඇත්තේ ඇයි දැයි තේරුම් ගත යුතු බව ද හෙතෙම කීය.

මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ආචාර්ය සී. චන්ද්‍රනාත් මහතා එම කරුණු සඳහන් කළේය.

එහිදි සී.චන්ද්‍රනාත් මහතා මෙසේ ද කීය.

‘‘යුරෝපා සංගමය සහ තවත් රටවල් කිහිපයක් ආනයන සීමා සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අපත් අවධානය යොමු කළා. යුරෝපා සංගමය අපට ඉතා වැදගත් වෙළෙඳ පාර්ශවකරුවෙක්. ඇමෙරිකාව සහ යුරෝපා කලාපය යනු අපේ ප්‍රධානම අපනයන වෙළෙඳපොළවල්. ඒ කලාපය හා සැසඳීමේදීත් ද්විපාර්ශවීය වෙළෙඳාම දෙස බැලීමේත් අපේ ආසියානු වෙළෙඳ පාර්ශවකරුවන් සහ අපි තෙල් ආනයනය කරන රටවල් අතර පවතින්නේ වෙළෙඳ හිඟ බව කියන්න අවශ්‍යයි.

ඒ නිසා ඇමෙරිකාව සහ යුරෝපා කලාපයේ රටවල් සමඟ ද්විපාර්ශවීය වෙළෙඳාමේ තිබෙන අතිරික්ත දැනට තිබෙන මට්ටමේ පවත්වාගෙන යෑම සහ තවදුරටත් වර්ධනය කරගැනීම අපට ඉතා වැදගත්. ඒ වගේම ඉන්දියාව, චීනය හා අනෙකුත් ආසියානු රටවල් සමඟ තිබෙන වෙළෙඳ හිඟ අඩුකරගැනීමට ද පියවර ගත යුතුයි.

මේ සම්බන්ධයෙන් අපි දැනටමත් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. අයවැයෙන් ද ඒ සඳහා යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික බව සහ වෙළෙඳ සබඳතා වැඩිදියුණු කරගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.

ආනයන සීමා සම්බන්ධයෙන් ආනයන සීමා පැනවීමෙන් එම රටවලින් කෙරෙන ආනයනවලට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් අපි අධ්‍යයනයක් කළා. ආනයන සීමා කිරීමෙන් සිදුව තිබෙන බලපෑම ඉතාම අඩු මට්ටමක තිබෙන බව එයින් පෙනී ගියා.

රජය ආනයන සීමා වැඩි වශයෙන් පනවා තිබෙන්නේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩවලටයි. විශේෂයෙන්ම මෙම ආනයන සීමා පනවා තිබෙන්නේ මෝටර් රථ ආනයනයට සහ කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනයටයි. රටේ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා කෘෂිකාර්මික ආනයනවලටත් සීමා පනවා තිබෙනවා. ඒ නිසා ඇතැම් ආනයන සීමා පවත්වාගෙන යෑම අවශ්‍යතාව ආණ්ඩුව අවධාරණය කර තිබෙනවා.

යුරෝපා සංගමය මීට පෙරත් අපේ අපනයනවලට සීමා පනවා තිබෙනවා. එයින් අපේ අපනයනවලට බලපෑම් එල්ල වුණා. කෙසේ නමුත් ජී.එස්.පී. සහ අනෙකුත් සහන හේතුවෙන් අපට අපේ අපනයන ඉහළ නංවාගන්න හැකියාව ලැබුණා.

විශේෂයෙන්ම මේ අපනයන සීමා පනවා තිබෙන්නේ ඇයි කියන කරුණ අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපි මේ සීමා පනවා තිබෙන්නේ මේ මොහොතේ අපි සිටින දුෂ්කර තත්ත්වය නිසයි.

ආනයන අඩුවීම හේතුවෙන් මුල් මාස 10 යේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3.3ක් ඉතිරි කරගන්න අපට හැකියාව ලැබුණා. ආනයන සීමා කිරීම හේතුවෙන් අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 4කට වැඩි මුදලක් ඉතිරි කරගන්න හැකියාව ලැබෙනවා.

ඒ හේතුවෙන් කිසිදු අතිරේක පීඩනයක් නොමැතිව අපට ණය පොලී ගෙවන්න අවස්ථාව ලැබෙනවා.

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති එන්.ඩබ්ලිව්.ජී.ආර්.ඩී. නානායක්කාර මහතා මෙසේ කීය.

‘‘ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ආනයන තහනම් කර නැහැ. ආනයනවලින් පිටතට ගලායන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් සම්බන්ධ වෙන්නේ මෝටර් රථවලට. මෝටර්රථවලට පැනවූ ආනයන සීමා තවත් වසරක් යනතුරු පවතිනු ඇතැයි ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනය කිරීම ද නවතා දමා නැහැ.

නවතම සංඛ්‍යාදත්තවලට අනුව ආනයන සීමාවලින් සියයට 55කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට ඉවත් කර තිබෙනවා’’ යැයිද ඔහු පැවසීය.