එයිට්කින් ස්පෙන්ස් සංචාරක නොවන අංශවල ඉහළ කාර්ය සාධනයක් වාර්තා කරයි


සංචාරක නොවන අංශවලින් පසුගිය වසරේ ලද රුපියල් මිලියන 513ට සාපෙක්ෂව, බදුවලට පෙර ලාබයෙහි (PBT) සියයට145ක වර්ධනයක් සමඟ, 2021 ජුනි මස 30 වැනි දිනෙන් අවසන් වූ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 1.2ක බදුවලට පෙර ලාබ අගයක් වාර්තා කරමින් සාර්ථක ආගමනයක් සනිටුහන් කිරීමට එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගම සමත් විය.

පසුගිය වසරේ රුපියල් මිලියන 990ක් වූ EBITDA අගය (ප්‍රාග්ධන ගිණුම්ගත ආයෝජිතයන් ද ඇතුළත්ව, පොලී ගෙවීම්, බදු ගෙවීම්, ක්ෂය වීම් සහ ක්‍රම ක්ෂය ආදියට පෙර ඉපැයීම් අගය) සියයට 96කින් වර්ධනය කරගනිමින් මෙවර රුපියල් බිලියන 1.9ක අගයක් වාර්තා කිරීමට සමූහයේ සංචාරක නොවන අංශවලට හැකියාව ලැබී තිබේ.

සංචාරක නොවන අංශවලට සමුද්‍ර සහ නැව් කුලී සැපැයුම් සේවා (Maritime and Freight Logistics), පුනර්ජනනීය බලශක්ති උත්පාදන, උත්තෝලක/ සෝපාන සැපැයීමේ ඒජන්සි (Elevator Agency), මුදල් හුවමාරු සේවා, මුද්‍රණ සහ ඇසුරුම්, වැවිලි, ඇඟලු‍ම්, රක්ෂණ හා සමුද්‍රීය අධ්‍යාපන සහ කළමනාකරණ අංශයේ සමාගම් අයත් වේ.

පසුගිය වසරේ මෙම කාර්තුවේ රුපියල් බිලියන 5.5ක් වූ සමූහයේ ආදායම, මේ වසරේ රුපියල් බිලියන 8.5 දක්වා සියයට 54.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. බදුවලට පෙර අලාබය පසුගිය වසරේ මෙම කාර්තුව තුළ රුපියල් බිලියන 2.3ක් වුව ද එය මේ වසරේ රුපියල් මිලියන 467.3 දක්වා පහත වැටී ඇත. එකී අඩු වීමේ ප්‍රතිශතය සියයට 79.6කි. සමූහයේ ව්‍යාපාර මෙහෙයුම්වලින් ලද ලාබයන් සියයට 104ක විශිෂ්ට වර්ධනයක් ලබා ඇත්තේ පසුගිය වසරේ කාර්තුවේ ලද බිලියන 1.7ක අලාභ අගයේ සිට මිලියන 72ක් දක්වා ඉහළ නැංවුණ ලාබයක් වාර්තා කරමිනි.

නැව් කුලී කළමනාකරණ හා ලයිනර් නැව් (Freight Management and Liner Shipping) සේවා අංශ සහ විදේශයන්හි වරාය කළමනාකරණ මෙහෙයුම්වල වර්ධනය වූ කාර්ය සාධනය හේතුවෙන් සියයට 84කින් ඉහළ ගිය බදුවලට පෙර (PBT) අගය රුපියල් මිලියන 845ක් ලෙස වාර්තා කිරීමට සමුද්‍ර සහ නැව් කුලී සැපැයුම් සේවා අංශය සමත් විය.

උපායමාර්ගික ආයෝජන අංශය බදුවලට පෙර (PBT) අගය සියයට 798කින් ඉහළ ගොස් ඇති අතර එය රුපියල් මිලියන 296ක අගයක් දරන්නේ සුවිශේෂී වර්ධනයක් වාර්තා කරමිනි. 

මුදල් හුවමාරු අංශයෙන් ලැබුණ ශක්තිමත් දායකත්වය සමඟ පසුගිය වසරට සාපේක්ෂව සියයට 21ක වර්ධනයක් පෙන්නුම් කරමින් බදුවලට පෙර (PBT) අගය රුපියල් මිලියන 117ක් ලෙස සටහන් කළ සේවා අංශයෙහි කාර්ය සාධනය ද ප්‍රශස්ත මට්ටමක පැවැතිණ. මෙහෙයුම් ක්‍රියාත්මක වූ රටවල අදාළ රජයන් විසින් පනවන ලද අඛණ්ඩ සංචරණ සීමා සහ හුදෙකලා කිරීම් මධ්‍යයේ වුව ද මෙම කාර්තුව තුළ සිය මෙහෙයුම් පවත්වාගෙන යාමටත්, විශිෂ්ට අන්දමින් කාර්ය සාධනය විදහා දැක්වීමටත් මෙම අංශ සමාගම්වලට හැකියාව ලැබිණ.

පළමු කාර්තුව තුළ ආදායමෙහි වැඩිවීමත් සහ අලාභවල අඩුවීමත් සමඟ සංචාරක අංශය බලාපොරොත්තු දල්වාගත හැකි අන්දමේ ප්‍රතිඵල පෙන්වීය. පළමු කාර්තුව තුළ ක්‍රියාත්මක වූ මාලදිවයින තුළ පිහිටුවා ඇති විදේශීය හෝටල් යනු මෙයට දායක වූ ප්‍රධාන සාධකවලින් එකකි. සමූහයේ සංචාරක අංශය පසුගිය වසරේ රුපියල් බිලියන 2.8ක අලාභයක් සටහන් කළ ද මේ වසරේ එය බිලියන 1.7ක් දක්වා සැලකිය යුතු අඩුවීමක් වාර්තා කර ඇත.

“ව්‍යාපාරයේ අභිවෘද්ධියට නොකඩවා බාධා පමුණුවන්නා වූ ගෝලීය වසංගතයෙන් දරුණු ලෙස බලපෑමට ලක්වන කර්මාන්තවල නියැළී සිටියත්, අතිවිශිෂ්ට ප්‍රතිඵල වෙත මඟපාදා ඇති අධිෂ්ඨානශීලී නායකත්වය හරහා සිය සැබෑ ‘ස්පෙන්සෝනියන්’ (Spensonian) ධෛර්යය සනාථ කර ඇති, සමූහය පුරා විසිරී සිටින යුහුසුළුව වැඩ කරන කණ්ඩායම් සම්බන්ධයෙන් අපි අතිශයින්ම ආඩම්බර වෙනවා. එය ඔවුන්ගේ නොපසුබට උත්සාහය සහ බොහෝ පසුබෑම් මධ්‍යයේ වුව ද ඒවාට හැඩගැසීමේ හැකියාව යළි යළිත් පෙන්වා දෙනවා. සමූහයේ වඩාත් ප්‍රබල ප්‍රතිසාධනයක් වෙනුවෙන් මෙන්ම, විශේෂයෙන්ම පළමු කාර්තුවේ සංචාරක අංශය ළඟා කරගත් ප්‍රගතියට වඩා ඉහළ ප්‍රගතියක් වෙනුවෙන් අපි පරීක්ෂාකාරීව කටයුතු කරමින් සුබවාදීව බලාපොරොත්තු දල්වාගෙන සිටිනවා” යනුවෙන් එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පැවැසීය.

එයිට්කින් ස්පෙන්ස් යනු ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශය ලෙස රටවල් 8ක් තුළ කර්මාන්ත 16ක් පුරා විහිදුණ 12,000කට අධික සේවකයන් පිරිසක් මඟින් ක්‍රියාත්මක කෙරෙන වසර 150ක විශිෂ්ටත්වයේ උරුමයකට හිමිකම්පාන අග්‍රගණ්‍ය ව්‍යාපාර සමූහයකි.

එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගමේ සභාපති, දේශමාන්‍ය ඩී.එච්.එස්. ජයවර්ධන


එයිට්කින් ස්පෙන්ස් පී.එල්.සී. සමාගමේ නියෝජ්‍ය සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය පරාක්‍රම දිසානායක