ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ දෙනුන්ගේ රෝග රැසක්



(කාංචන කුමාර ආරියදාස)

ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද එළදෙනුන් පිළිබඳව සත්ව නිරෝධායන සාම්පල පරීක්ෂණ කිරීමේදී එම සතුන් රෝග රැසක් සමඟ පැමිණි සතුන් බවත්  මෙම රෝගය නිසා මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායි සතුන්ගේ අක්මාව ආසාදනය වීමේ බරපතළ ප්‍රශ්නයක් පවතින බවත් පශු  පර්යේෂණ අංශය පරීක්ෂණ වාර්තාව එළි දැක්වමින් රජයට  දැනුම් දී තිබේ.


මෙම නිල වාර්තාව පශු  සම්පත් අධ්‍යක්ෂ පශු පර්යේෂණ වෛද්‍ය එස්. එස්. පී. සිල්වා මහතා   විසින්  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් වෙත  මෙය පසුගිය පෙබරවාරි මස 14 වන දින බාර දෙනු ලැබීම විශේෂත්වයකි.


දේශීය කිරි කර්මාන්තයට සහනාධාර ලබාදීම යටතේ ඕස්ට්‍රේලියාවෙන් පසුගිය වසර කිහිපයේම එළදෙනුන් මෙරටට ආනයනය කර බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුවී තිබිණි. මෙම සතුන්ගේ සත්ව නිරෝධායන සාම්පල පරීක්ෂණ ප්‍රතිථිලය අවසාන වාර්තාව පසුගිය අප්‍රේල් මාසයේදී දෙවැනි වරට  ලබා දී තිබේ.


 ඒ වනවිටත් සතුන් විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වා  අවසන්ව ඇති බව එහි සදහන් වෙයි .


පශු  පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස් .එස්. පී. සිල්වා මහතා විසින් සත්ව  නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත 2018 පෙබරවාරි මස 14 වන දින ලිඛිතව ලබා දී ඇති පරීක්ෂණ ප්‍රතිඵලය මෙසේ සඳහන් කොට තිබේ.

 

ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද එළදෙනුන් පිළිබඳව සත්ව නිරෝධායන සාම්පල පරීක්ෂණ ප්‍රතිඵල අවසන් වාර්තාව

 

2018 ජනවාරි 29 දින මා විසින් ඉදිරිපත් කරන ලද අතුරු වාර්තාවට වැඩිමනත් වශයෙන් අවසාන වාර්තාවේ ප්‍රවේශම සහගත ලෙස සලකා බැලීම සඳහා මේ සමග අමුණා ඇත. රසායනාගාර පරීක්ෂණ ප්‍රතිඵල මත පදනම්ව පහත සඳහන් නිරීක්ෂණ ඉදිරිපත් කරමි.


01.   අතුරු වාර්තාවේ    ඉස්මතු කර දක්වන ලද පරිදි සැපයුම්කරු විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාපටිපාටිය බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවට පැහැදිලි ලෙසම සාක්ෂි සහිතව හෙළිදරව් වන අතර සුදුසු පියවර නොගන්නේ නම් මෙම තත්වය අනාගතයේදී ශ්‍රී ලංකාවේ පසු සම්පත් කර්මාන්තයට බරපතළ හානියක් සිදු කළ හැකිය.

02.   .පරික්ෂා කරන ලද එළදෙනුන්ගෙන් ලබාගත් රුධිර සාම්පලවල Bovine viral diarrhea  නම් පාචන  රෝග ප්‍රතිදේහ සැලකිය යුතු ප්‍රමාණයක් පවතී .B V D  යනු ගවයින් ආශ්‍රිත පවතින ආර්ථිකයට අහිතකර ලෙස බලපාන රෝගයක් බැවින් පහත සඳහන් කඩිනම් පියවර යෝජනා කරමි.
 
2.1  ආනයනය කරන ලද සියලු සතුන්ගේ එන්නත් කිරීම පිළිබඳ පූර්ව වාර්තාවක් කඩනමින් ලබාගැනීම,
 
2.2   .B V D  පාචන රෝගය පවතී යැයි හඳුනාගෙන ඇති දෙනු සඳහා ගෙන ඇති පියවර සහ රෝග බෝ වූ සතුන් නැව්ගත කිරීමට පෙර වෙන් කරන ලද්දේ ද.

2.3   දැනට සතුන් රඳවාගෙන ඇති ගොවිපළවලින් ප්‍රවාහනය කිරීමට ප්‍රථම සියලුම සතුන් ඉහත පාචන රෝගීන් ආසාදිත වී ඇති ද යන්න සොයා බලා කර්මාන්තය ආරක්ෂා කිරීම සඳහා රෝගය වැලඳී ඇති සතුන් විනාශ කළ යුතු වේ.

03 .   fasciola  heptica  නම් රෝගය මනුෂ්‍යයන් ඇතුළු ක්ෂිරපායි  සතුන්ගේ අක්මාව ආසාදනය කරයි. මෙම රෝගය දැනට ශ්‍රි ලංකාව තුල හඳුනාගෙන නොමැති බැවින් මහජන සෞඛ්‍ය පිළිබඳව   ක්‍රියාමාර්ග තදින්ම පිළිපදින ලෙස නිර්දේශ කරනු ලැබේ.
 අතුරු වාර්තා මඟින් අවධාරණය කරන පරිදි  B V D වෛරසය ආසාදනය වූ සතුන් පවතින බව සොයා ගත් පසු ඒ පිළිබඳව ප්‍රමාදවී වාර්තා කිරීම ශ්‍රී ලංකාවේ පශු   සම්පත් කර්මාන්තය ද පිරිමැසිය නොහැකි හානියක් සිදුවිය හැකි තරමේ බරපතළ අතපසුවීමකි .


 එබැවින් පසු සම්පත් කර්මාන්තයට සහ මහජන සෞඛ්‍යයට විය හැකි හානිය අවම කිරීම සඳහා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පශු  පර්යේෂණ සත්ව සෞඛ්‍ය පශු  වෛද්‍ය නියාමන සැලසුම් සහ ආර්ථික සහ පශු  පර්යේෂණ අධ්‍යක්ෂකවරුන් සහ අදාළ රසායනාගාර විශේෂඥයන් සමඟ සාකච්ඡාවක් පවත්වන ලෙස මා ඔබගෙන් ඉල්ලා සිටිමි.
 සුදුසු පියවර ගැනීම සඳහා මෙම දෙනුන්  ආනයනය කළ ආනයනකරු වන ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශ ලේකම් දැනුවත් කළ යුතුවේ .


( වෛද්‍ය එස්. එස්. පී .සිල්වා අධ්‍යක්ෂ පශු  පර්යේෂණ)