කජු මිල පහත වැටීමෙන් වනාතවිල්ලුවේ කජු කර්මාන්තය අර්බුදයක


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව විජයපුර කජු අස්වනු මිල පහත වැටීම හේතුවෙන් ඒවා අලෙවි කරගැනීමට නොහැකිව තමන් දැඩි අර්බුදයකට පත්ව සිටින බව කජු කර්මාන්තයේ නිරතව සිටින කාන්තාවෝ පවසති

ශ්‍රී ලංකාවේ කජු අස්වැන්නෙන් වාර්ෂිකව විශාල අස්වැන්නක්  ලැබෙන්නේ වනාතවිල්ලුවෙන් බවත් එය අක්කර 15000ක කට ආසන්න භුමි ප්‍රමාණයකින් මෙටට්‍රික්ටොන් 3000 කට වැඩි බවත් ඔවුහු කියති.

පාස්කු ප්‍රහාරය හමුවේ කඩා වැටුන කර්මාන්ත අතරට කජු අස්වැන්නද එක්වී තිබේ.

වනාතවිල්ලුවට , විජයපුර පිහිටා ඇති සමෘද්ධි කජු ආදර්ශ ගම්මානයේ කාන්තාවෝ බැංකුවලට ණය වී ලබා ගත් මුදලවත් ගෙවා ගැනීමට නොහැකිව සිටිති.

තලා අවසන් කළ හා නොකළ කජු මද ලක්ෂ 50 ක ට ආසන්න තොගයක් නිසි මිලක් නොමැති වීම නිසාත් ඒ සඳහා ගැනුම්කරුවන් නොමැති වීම නිසාත් තවමත් ගබඩා වල තබා ඇතැයි ද ඔවුහු කියති.

වනාතවිල්ලුව විජයපුර බටහිර සමෘද්ධි කජු සැකසුම් ගම්මානයේ එස්.සසිලා සංජීවනී මහත්මිය මේ පිළිබඳව මෙසේ පැවැසුවාය.

     “වනාතවිල්ලුව ගත්තාම කජුවලට තමා ප්‍රසිද්ධ .මොකද ඒ තරමට අපේ කජු වලට හොඳ ඉල්ලුමක් තිබෙනවා . අපේ කජු ගෙඩිය පිටතට නොයන්න විජයපුර බටහිර ගම්මානය කේන්ද්‍ර කර ගනිමින් කජු සඳහාම  සමෘද්ධි ආදර්ශ ගම්මානයක් පිහිටවන්න කටයුතු කළා .එය ඉතා සාර්ථක වුණා .

අපේ කජු ගෙඩියෙන් පසුගිය කාලවලදී ලාභ ගත්තේ  පිට අය නිසා එය අපිට ලැබෙන ක්‍රමවේදයක් තමා සකසා තිබුණේ. ඒ වන විට මද කජු වලට හොඳ මිලක් තිබුනා නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මද අලෙය සම්පුර්ණයෙන් පහත වැටුණා .

මද කිලෝව ඉල්ලන්නේ රුපියල් 1600 , 1700  ට නමුත් අපිට යන වියදම් අනුව අඩුම තරමින් මද කිලෝවක් සඳහා රුපියල් 2000 ක් වත් ලැබුණොත් තමා අපේ වියදම් ලබා ගන්න හැකියාව ලැබෙන්නේ.

අපි බැංකු වලින් ලක්ෂ 10 ත් 15ත් අතර මුදලක් ණය අරන් තමා මේ දෙවල් කරන්නේ .අපි හොද නිෂ්පාදන දෙනවා නම් අපිට හොඳ මිලක් ලැබිය යුතුයි.

කජු ආදර්ශ ගම්මානය ආරම්භ කිරීමට කටයුතු කළ වනාතවිල්ලුව සමෘද්ධි  සංවර්ධන අංශයේ ව්‍යාපෘති සහකාර එස්.කේ .ඒ .නලින් සමන්ත මහතා මෙසේ පැවැසීය.

   “ ඇත්තටම කජු සංස්ථාවෙන් කරන්න උවමනා වැඩක් එයාල නොකරපු නිසා මම මේ කාන්තාවන් වෙනුවෙන් කරන්න කටයුතු කළා.

මොකද නමට විතරයි කජු සංස්ථාව තිබෙන්නේ එයාලා ලංකාව විතරක් නොවෙයි ලෝකයම දන්න වනාතවිල්ලුව කජු වගාකරුවන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම මට ගැටළුවක් වුණ නිසා මම මේ බව අපේ පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි කොමසාරිස්තුමා එක්ක කතා කරලා මේ දැවැන්ත ව්‍යාපෘතිය ආරම්භ කළා .

සමෘද්ධි අධිකාරියෙන් ලක්ෂ 70 ක උපකරණ ප්‍රධානයක් පවා සිදුව තිබෙනවා .මේ කජු ගම්මානයේ 26 දෙනෙකු මේ වන විට කජු සැකසුම් කරමින් සිටින තත්වයකයි මේ අලෙවිය සහ මිල කඩා වැටීම සිදුවුණේ.

අපි ව්‍යාපාරිකයින්ට ආරාධනා කරනවා ලෝකයේම රසම කජු ගන්න වනාතවිල්ලුවට එන්න කියලා .