කුඩා - මධ්‍ය ව්‍යවසාය සංවර්ධනයට අයවැයට යෝජනා


කුඩා හා මධ්‍ය පරිමාණ ණය සුරැකුම් ආයතනය යළි පණගන්වන්න
ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගන්න ශක්තිය දීම
නිර්වචන සංශෝධනයක්
ක්ෂේත්‍රයේ දියුණුවට නව පනතක්
නව ව්‍යවසායකත්ව වැඩසටහනක්


කුඩා සහ මධ්‍ය පරිමාණ අංශයට විසඳුම් සෙවීම සහ සහය දැක්වීම පිණිස 2020 අප්‍රේල් මාසයේ සිට රැස්වූ CMA ශ්‍රී ලංකා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව වෘත්තීය ආයතන, වාණිජ බැංකු, වාණිජ සහ කර්මාන්ත මණ්ඩල සාමාජිකයන්ගෙන් සහ කර්මාන්ත විශේෂඥයන්ගෙන් සමන්විත වෙයි. 2021 වර්ෂයේ සිට අපි වාර්ෂිකව සම්මන්ත්‍රණ, වැඩමුළු සහ එක්සත් ජාතීන්ගේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක දින සංවිධානය කළෙමු. එක්සත් ජාතීන්ගේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය දින අවසන් සමුළුවෙහි ප්‍රධාන අමුත්තා වූයේ ADB කලාප අධ්‍යක්ෂවරයාය. 

“සාමාන්‍යයෙන් 250කට අඩු පුද්ගල සංඛ්‍යාවක් සේවයෙහි යොදවන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසායකයන් ලෝකය පුරා බොහෝ ආර්ථිකයන්හි කොඳුනාරටිය බවත් සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකවල ප්‍රමුඛ භූමිකාවක නිරතවන බවත් අපි අමතක නොකළ යුත්තෙමු” යයි එත්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව තුළ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසායන් මුළු ව්‍යවසාය ගණනෙන් සියයට 75 කට වැඩියෙන් සමන්විත වන අතර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 52ක් ද, සේවා නියුක්තියෙන් සියයට 45ක්ද, අපනයනවලින් සියයට 5ක් තරම් ප්‍රමාණයක් ද ගණනය කරනු ලබයි. තිරසාර සංවර්ධනය සහ ගෝලීය ආර්ථිකය උදෙසා ඔවුන්ගේ දායකත්වය පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා සභාව විසින් ජූනි 27 වැනි දිනය ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසාය දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. CMA ශ්‍රී ලංකා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන කමිටුව විසින් බැංකු අංශය සහ ඔවුන්ගේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක ගනුදෙනුකරුවන් සමග එක්ව සම්මන්ත්‍රණ සංවිධානය කිරීමෙන් මෙම දිනය වාර්ෂිකව සමරනු ලබන අතර ඒවා අති සාර්ථක ඒවා විය. 

කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ සංවර්ධනය වෙනුවෙන් අපි අදහස් කරන අයවැය යෝජනා සමහරක් පහතින් සඳහන් කරමු.

 

1 ප්‍රතිලාභී ව්‍යවසායකයන් සඳහා කඩිනමින් මෙහෙයුම් පටන් ගැනීම සහ ව්‍යාපෘති ආරම්භය සඳහා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය සුරැකුම් ආයතනය වේගවත් කිරීම: 

අප කමිටුවේ සුවිශේෂී ජයග්‍රහණවලින් එකක් වූයේ ව්‍යවසායකයන්ට සුරැකුම් සැපයීමට සහ ඇපකර නොමැතිව ණය ලබාගැනීම වේගවත් කිරීමට ADB අරමුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 100ක ණයක් සමගින් ආරම්භ කරන ලද සහ 2017 අයවැය යෝජනා තුළට ඇතුළත් වූ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය සුරැකුම් ආයතනය යළි පණ ගැන්වීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය වෙත 2020දී නිර්දේශ ඉදිරිපත් කිරීමයි. ශීතකරණයේ බහා තිබූ මෙම ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු ණය පොරොත්තු ලේඛනයේ ලැයිස්තුගතව පැවතුනි. මෙය දැනගත් අපි 2021 අප්‍රේල් 27 දින කැබිනට් අනුමතිය ලබාගැනීම සඳහා එය කර්මාන්ත අමාත්‍යාංශයට ඉදිරිපත් කළ අතර අනතුරුව එය මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දුනිමු. බැංකු වෙත ඇපකර හෝ සුරැකුම් සැපයීමට නොහැකි අයගේ අවශ්‍යතා සපුරාලීම සඳහා සූදානමින් සිටින බව අප වෙත දන්වා ඇත. බැංකු සහ අනෙකුත් ණය දෙන ආයතන වෙත ඇපකර ඉදිරිපත් කිරීමට නොහැකි ආරම්භක තරුණ ව්‍යවසායකයන්, කුඩා සහ මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසාකයන් සහ අනෙකුත් බොහෝ අය ප්‍රවර්ධනය කිරීම පිණිස මෙය ප්‍රතිලාභයක් වෙයි. 

ණය සුරැකුම් ආයතනය ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස යෝජනා කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

 

2 ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසායවල අපනයන ප්‍රවර්ධනය සහ සංවර්ධනය කරනු පිණිස අපනයනාගාර (Exports Houses) ස්ථාපිත කිරීම. 

තවද කමිටුව ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ අපනයන ප්‍රවර්ධනය කරනු පිණිස අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ අපනයනාගාර (Exports Houses) පිහිටුවීම නිර්දේශ කිරීමට අපේක්ෂා කරයි. එමගින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායවල සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායවල නිෂ්පාදන සහ සේවා විදේශ වෙළෙඳපොළෙහි අලෙවි කරනු ලබන අතර ජාතික අපනයන සඳහා ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායවල දායකත්වය වසර 3 සිට 5 දක්වා කාලය තුළ සියයට 5 සිට සියයට 15 දක්වා වැඩි කරනු පිණිස ගෝලීය වෙළෙඳපොළෙහි ජාත්‍යන්තර ගැනුම්කරුවන් සමග ප්‍රධාන වශයෙන් දේශීය කෘෂිකාර්මික සහ ධීවර ප්‍රජාව, දේශීය සැපයුම්කරුවන්, නිෂ්පාදකයන්, අපනයන ගම්මාන, තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික කුසලතා සේවා සපයන්නන් වෙත සහය වනු ඇත. අපනයන සංවර්ධන මණ්ඩලය සමග ලියාපදිංචි වීමෙන් අපනයනාගාර පිළිබඳ නිල පිළිගැනීම ලබාදෙන අතර ජාත්‍යන්තර ප්‍රදර්ශන සංවිධානය කිරීමේදී සහය දැක්වීම මෙන්ම ව්‍යාපාරික අපනයන සඳහා බැංකු පහසුකම් ලබාගැනීමේදී ඔවුන්ට සහය දැක්වීමද මෙමගින් අපේක්ෂා කරයි. 

 

3 ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMES) සඳහා නිර්වචනය.

ප්‍රාග්ධන භාණ්ඩ, අමුද්‍රව්‍ය, වැටුප් ආදිය ඇතුළුව බොහෝ භාණ්ඩවල මිල සැලකිය යුතු ලෙස වැඩිවීමට හේතුවන මුදලේ ක්ෂයවීම සමග සමපාතවන ලෙසට වර්තමාන නිර්වචන සංශෝධනය කරන ලෙස යෝජනා කරමු. මහ බැංකු වර්ගීකරණයට සමාන වන මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ පිරිවැටුමේ ඉහළ සීමාව රු. මිලියන 1,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරමු.

 

4 ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ (MSME)ව්‍යවසාය සංවර්ධන පනතක් නීතිගත කිරීමට යෝජනා කරමු.

මෙම අතිශයින් වැදගත් අංශයට අවශ්‍ය සහයෝගය ලබා දෙනු පිණිස අනෙකුත් රටවලට සමාන ආකාරයෙන් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMES)ප්‍රවර්ධනය කිරීමේ, සංවර්ධනය කිරීමේ සහ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන පනතක් තීතිගත කිරීමට යෝජනා කරමු.

මෙම පනත ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ලියාපදිංචි කිරීම, පාලනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා කුඩා කර්මාන්ත සහ ඒවායේ සේවානියුක්තිකයන්ට ආරක්ෂාව සැපයීම සඳහා වූ තනි නීති රාමුවක් විය යුතුය. පනත යටතේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ඉහළ නැංවීම සඳහා විවිධ යෝජනා ක්‍රම සහ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට බලය ඇති ජාතික මණ්ඩලයක් ස්ථාපිත කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය කාර්මික නිෂ්පාදනයේ සහ අපනයනවල ප්‍රධාන දායකයකු බවට පත් කළ යුතුය. පනත මගින් අවශ්‍යතාවක් ලෙස ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය ශ්‍රී ලංකා ආර්ථිකයේ සුපැහැදිලි මෙන්ම ගතික අංශයක් බවට පත් කළ යුතු අතර කුඩා සහ මධ්‍ය පරිමාණ අංශයට ආරක්ෂාව සැපයිය යුතුවේ.

 

5 ගිණුම්කරණය, මූල්‍යමය සහ පිරිවැය කළමනාකරණය, ඩිජිටල්කරණය සහ විද්‍යුත් වාණිජ්‍යය සම්බන්ධ සහයෝගිතාව.

ව්‍යාපාර සංවිධාන ලාභදායි ලෙස පවත්වා ගැනීමට මෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය ක්‍රමානුකුලව වැඩිදියුණු කිරීමට විධිමත් පොත්, ගිණුම් සහ පිරිවැය වාර්තා පවත්වා ගැනීම නිර්දේශ කරමු. ගිණුම්කරණයේදී ඩිජිටල්කරණය සහයෝගයක් වන අතර විද්‍යුත් වාණිජ්‍යය භාවිතයෙන් වෙළෙඳපොළ අරමුණු පුළුල් කරගත හැකිය. අමතර සුරැකුමක් නොමැතිව කුඩා සහ මධ්‍ය පරිමාණ අංශයට ණය පහසුකම් සැලසීමේදී මූල්‍ය සහ පිරිවැය වාර්තා පවත්වා ගැනීම බැංකු අංශයට උපකාරී වනු ඇත. 

 

6 “නව ව්‍යවසායකත්ව වැඩසටහන” (New Entrepreneurship Program)

2024 වසරේ කොළඹදී පවත්වන ලද CMA ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසාය දින සමුළුවේදී Grameen Trust of Bangladesh කථිකයා විසින් සේවා වියුක්තිය ව්‍යවසායකත්වයට හැරවීම පිළිබඳව ආමන්ත්‍රණය කරන ලදී. දැන් ඒ මත අපි ක්‍රියාකරමින් සිටිමු.

මෙම ගෝලීය ගැටලුව සහ සේවා වියුක්තිය ව්‍යවසායකත්වයට හැරවීමෙන් ශුන්‍ය සේවා වියුක්තියක් අත්පත් කරගැනීම පිළිබඳව අමතමින් නොබෙල් සම්මානලාභී මහාචාර්ය මුහම්මද් යූනූස් “Nobin වැඩසටහන” ලෙස පොදුවේ දන්නා “නව ව්‍යවසායකත්ව වැඩසටහන” (New Entrepreneurship Program) 2013 සැප්තැම්බර් 04 දින දියත් කළ බව ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රතිසංස්කරණ මගින් අභිමානවත් රැකියා නිර්මාණය කිරීම සහජීවන තත්වය වර්ධනය කිරීම යන තීරණාත්මක භූමිකා අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ (MSME) ව්‍යවසායවලට පුනර්ජීවනයක් ලබාගැනීමේ හැකියාව ලබා දී ඇති අතර අන් කවරදාටත් වඩා කුඩා ව්‍යාපරවලට මූල්‍ය, තොරතුරු සහ වෙළෙඳපොළ වෙත ප්‍රවිෂ්ඨ වීමේ ව්‍යාපාරික පරිසරයක්ද ලබා දී ඇත.