කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සඳුඳා (11) සිට විවෘත කිරීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ද හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත
ඒ අනුව සඳුඳා, එනම් (11) පෙරවරු 10.30ට කොළඹ වෙළෙඳපොළ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
උදෑසන 10.30ට පූර්ව සැසියක් ආරම්භ වන අතර උදෑසන 11 සිට පස්වරු 1 දක්වා පැය දෙකක කාලයකට කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සිදුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
සාමාන්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික කටයුතු සිදු වන්නේ උදෑසන 9.30සිට පස්වරු 2.30 ක් දක්වා පැය පහකට ආසන්න කාලයකි.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු සියයට 5කින් පහළ වැටුණොත් වෙළෙඳ කටයුතු මිනින්තු 30කට තාවකාලිකව නවතා දැමීම මීට පෙර සිදුවිණි. ඊට වෙනස්කම් කිහිපයක් එක් කර ඇතැයි ප්‍රකාශකයා කීය.
ඒ අනුව තවත් 2.5% කින් එනම්, කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු 7.2% කින් පහළ ගියහොත් තවත් මිනිත්තු 30ක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කර ඇත.
තවත් 2.5% කින් එනම් එම දිනය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු 10 % කින් පහත වැටුණොත් දිනය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු සම්පූර්ණයෙන් නවතා දැමීමට තීරණය කර ඇත.
(055)