චීනය සමග ඇති ගුවන් ගමන් සහ ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ජූලි 1 වෙනි දා සිට කොළඹ සිට චොංකින් වෙත මෙහෙයුම් ඇරඹීමට සැලසුම් කර ඇත.
කොළඹ සිට චොංකින් වෙත ගමන් ගන්නා ගුවන් යානා නැවත පැමිණීමේ දී බැංකොක් හරහා කොළඹට ලඟාවීමට සැලසුම් කර තිබේ.
චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම හා ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම නව ගිවිසුම කොළඹ දී අත්සන් කළහ.
මේ වන විට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම චීනයේ බීජිං, ශැන්හයි, කැන්ටන් සහ හොංකොං යන ගමනාන්ත සඳහා සතියක දී ගුවන් ගමන් 15 ක් සිදුකරන අතර මෙම නව ගුවන් සේවාව ආරම්භ කිරීමත් සමඟ නිරිත දිග චීනයට ශ්‍රීලංකන් ගුවන් යානා පියාසර කිරීමද මේ අනුව සනිටුහන් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන මහතා සඳහන් කළේ මේ වන විට චීනය මෙරට ප්‍රධාන වෙළපොළක් ලෙස හඳුනා ගෙන ඇති බැවින් නව ගමනාන්ත හඳුන්වා දෙමින් ගුවන් ගමන් වැඩි කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම නිරන්තරයෙන් කටයුතු කරන බවයි.
ඒ අනුව මෙම නව කුලී ගුවන් සේවා යෙදවීමත් සමඟ නව පාරිභෝගික කාණ්ඩවල සිටින ගුවන් මගීන්ට ශ්‍රී ලංකන් ගුවන් සේවා භාවිත කරමින් සුව පහසු සහ ආරක්ෂාකාරී සංචාරයක යෙදීමේ අවස්ථාව සැලසෙන අතර ශ්‍රීලංකන් ආගන්තුක සත්කාරයද අත්වීඳීමට හැකි වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන අලෙවි නිළධාරී ජී.ටී ජෙයසීලන් මහතා ප්‍රකාශ කළේ බීජිං, ශැන්හයි සහ ගුවන්සූ යන ගමනාන්ත වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමඟ සිචුවාන් කලාපය වෙත සාර්ථක ප්‍රතිලාභ ඉපයීමට හැකි වෙළඳපොළක් නිර්මාණය වූ බවයි.
එසේම විවිධ ඇගයුම් සිදුකරමින් සංචාරක ප්‍රවර්ධන අභිවෘද්ධිය සඳහා වූ ක්‍රියාකාරකම් සිදුකරමින් ශ්‍රීලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවත්වනු ලැබූ විවිධ සංචාරක ක්‍රියාකාරකම් වලින්ද මෙම තේරීම තව දුරටත් තහවුරු වූ බවද හෙතෙම පැවසීය.
තවද මේ ආකාරයට ප්‍රථමයෙන් විශේෂයෙන් වෙන්කරවා ගත් කුලීගුවන් සේවා මෙහෙයුම් සිදු කිරීමේ සාර්ථක පරීක්ෂාවලින් පසු කාල සටහනකට අනුකූලව විධිමත් ගුවන් සේවා ආරම්භ කිරීමට කටයුතු යොදන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ජාත්‍යන්තර දෙපාර්තමේන්තු කළමනාකාර අයිරිස් හුවං මහතා ප්‍රකාශ කළේ “ මගේ පළමු සංචාරයේදීම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන ඉතාමත් පැහැදුණා.මෙම නව ගිවිසුම තුළින් ශ්‍රීලංකන් ගුවන් සමාගම සමඟින් චොංකින් සිට ශ්‍රීලංකාව දක්වාත් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.ඒ වගේම දේශීය සහකරු වන වෝකස් ට්‍රැවල්ස් මෙම නව සබඳතාව තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි මම සිතනවා. චොංකින් වෙත සහ නිරිත දිග චීනයට ගුවන් ගමන් ශක්තිමත් කිරීමට හැකියාව මෙයින් ලැබෙන බවට මා විශ්වාස කරනවා” යැයි ද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාව තුළ චොංකින් හුවාපොන්ඩ් ජාත්‍යන්තර සංචාරක සමාගමේ නියෝජිත වශයෙන් කටයුතු කරනුයේ වෝකස් ට්‍රැවල්ස් ආයතනයයි.
චොංකින් හුවාපොන්ට් ජාත්‍යන්තර සංචාරක සේවා සමාගම 2002 වසරේ ජූලි මාසයේ දී හුවාපොන්ට් නියුට්‍රිච්මි සමාගම් හිමිකාරීත්වයෙන් සහ Shenzhen කොටස් වෙළඳපොළේ ලියාපදිංචියෙන් පිහිටුවන ලදී. සංචාරක කර්මාන්තය ආශිතව ඔවුන්ගේ ව්‍යාපාර සඳහා සංචාරක ස්ථාන සංවර්ධනය හා කළමනාකාරීත්වය,හොටල් සහ රිසෝට්ස්, විදේශ සංචාර හා රට වෙත පැමිණීම් යනාදිය ඇතුළත්ය.
ජෝන් කීල්ස් සමූහයේ ගමනාන්ත කළමනාකරණ අංශ ප්‍රධානී වසන්ත ලීලානන්ද මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ නිරිත දිගචීනය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට සහ චොංකින් හුවාපොන්ට් සංචාරක සේවා සමාගමට සහයෝගය ලබා දීමට ලැබීම සතුටට කරුණක් බවයි.
තවද චීනයේ චොංකින් වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කිරීම තුළින් නව ගුවන් කේන්ද්‍රස්ථානයක් ආරම්භ කිරීම සඳහා අවස්ථාව සැලසී ඇති අතර ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමට අපගේ චීනයේ පාර්ශ්‍රවකරු සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් ස්තූති කරන අතර මෙම නව ගමනාන්තය පිළිබඳව විශ්වාසයක් තැබීම සම්බන්ධයෙන් ද ස්තූතිවන්ත වන බවද හෙතෙම සඳහන් කළේය.
කුලී පදනම මත පළමු වරට විධිමත් සතිපතා ගුවන් ගමන් සේවා දියත් කරන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා සත්කාරය මෙම ව්‍යාපෘතියට සහයෝගයක් වනු ඇති බවද හෙතෙම පැවසීය.
ඒ අනුව මෙම ගුවන් ගමන් කොළඹ සිට දේශීය වේලාවෙන් පැය 0130 පිටත් වී චීනයේ චොංකින් වෙත පැය 0915 ලඟා වීමට නියමිතයි.එසේම චොංකින් සිට පැය 1030 ට පිටත් වන ගුවන් යානය බැංකොක් හරහා පැය 1605 ට කොළඹට ලඟාවීමට ද සැලසුම් කර තිබේ.
මෙම ගුවන් යානා ජූලි මස 1 වෙනි දා සිට 2014 නොවැම්බර් මස 25 වෙනි දින දක්වා සේවා සපයන අතර එය නැවතවරක් 2015 ජනවාරි මස 13 වෙනි දින සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මෙම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A320 ගුවන් යානා යොදවා තිබේ.
මේ වසරේ අප්‍රේල් මස සිට ශ්‍රීලංකන් ගුවන් සමාගම බීජිං හා ශැන්හයි දක්වා සතියකට ගුවන් ගමන් වාර 8 ක් ක්‍රියාත්මත කරන අතර එයින් ගුවන් යානා 4 ක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට පිටත්ව යන ලදී. මීට අමතරව ශ්‍රීලංකන් ගුවන් සමාගම අතීතයේ සිට චීනයේ කුන්මින් සහ චෙන්ඩු යන ගමනාන්ත සඳහා මේ ආකාරයට ගුවන් ගමන් සිදුකර ඇති අතර මේ ගිවිසුමත් සමග චීනයට විශේෂයෙන් යෙදවූ කුලී ගුවන් සේවා සපයන තුන්වන අවස්ථාවද සනිටුහන්වේ.