(විනීතා එම් ගමගේ)
තේ කම්හල්වලට අමු දළු සපයන්නන්ට කම්හල් හිමියන් විසින් අමුදළු කිලෝවක් සඳහා ගෙවිය යුතු මිල වෙනුවට රුපියල් 20 ත් 30 ත් අතර මුදලක් අඩුවෙන් ගෙවන බව තේ දළු සපයන්නෝ පවසති.
මේ වනවිට අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 140 කට ආසන්න මුදලක් ගෙවිය හැකි වුවත් ගෙවනු ලබන්නේ රුපියල් 110 ක පමණ මුදලක් යැයි දකුණේ තේ දළු සපයන්නෝ කියති.
අමු තේ දළු කිලෝ එකක් සඳහා ගෙවිය යුතු මුදල සඳහන් වන මිල සූත‍්‍රයක් තේ කොමසාරිස්වරයාගේ චක‍්‍රලේඛයක් මඟින් නිකුත් කර ඇති අතර එහි සඳහන් වන අන්දමට අමු දළු කිලෝ සියයකින් තේ කිලෝ 21ක් නිෂ්පාදනය කළ හැකිය.
ඒ අනුව තේ කිලෝවක් සඳහා ලැබෙන මිල 4.65 න් බෙදා සියයට 68 න් ගුණ කළ විට එන මුදල අමු දළු කිලෝවක් සඳහා කම්හල් හිමියන් විසින් ගෙවිය යුතුය.
එහෙත් බොහෝ කම්හල් හිමියන් විසින් මේ වනවිට අමුදළු සපයන්නන්ට ගෙවනු ලබන්නේ තේ කිලෝවක මිල 4.88 න් බෙදා එය සියයට 68 න් වැඩි කළ විට එන මුදල බවත් මේ නිසා දළු කිලෝවකට මේ දිනවල ගෙවිය හැකි මුදලින් රුපියල් විස්සත් තිහත් අතර මුදලක් අමු දළු සපයන්නන්ට අහිමි වන බවත් අමු දළු සපයන්නන් පෙන්වා දෙති.
මේ පිළිබඳව කළ විමසීමක දී කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ මහතා කියා සිටියේ දකුණේ හා රත්නපුර ප‍්‍රදේශ රැසකින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට ද අමුදළු සපයන්නන් ගෙන් පැමිණිලි විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බවය.
තේ දළු සඳහා ගෙවනු ලබන මිල සූත‍්‍රය සඳහන් තේ කොමසාරිස්වරයාගේ චක‍්‍රලේඛය වෙනස් කර නොමැති බවත් එම සූත‍්‍රය වෙනස් කරමින් හිතු හිතු මිලගණන් අමු දළු සපයන්නන්ට ගෙවිමට කම්හල් හිමියන්ට කිසිදු අයිතියක් නැති බවත් හෙතෙම කියා සිටියේය.
තව දුරටත් මේ පිළිබඳ තොරතුරු රැස්කරගෙන තේ කොමසාරිස්වරයාට පැමිණිලි කරන බවත් අමු දළු සපයන්නන්ට කිසිසේත්ම අසාධාරණයක් වන්නට ඉඩ නොතබන බවත් විදානපතිරණ මහතා කියා සිටියේය.
අමු දළු සපයන්නන්ගෙන් අති බහුතරය කුඩා තේවතු හිමියන් යැයි කී සභාපතිවරයා දුෂ්කරතා රැසක් මධ්‍යයේ අමු දළු සපයන මේ පිරිස ආරක්ෂා කළ යුතුව ඇති බවත් ඒ වෙනුවෙන් ගත යුතු උපරිම පියවර ගන්නා බවත් සඳහන් කළේය.