තේ මිල ඉහළ යාමෙන් ආදායම වැඩිවෙයි


(හර්ෂණ තුෂාර සිල්වා)
ජාත්‍යන්තර වෙළෙඳපොළේ  තේ මිල ගණන් ඉහළ යෑම නිසා මේ වසරේ මුල් මාස නවයක කාලයේදී තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,139.6ක් දක්වා වර්ධනය වී තිබේ. 


ජාත්‍යන්තර වෙළෙඳපොළේ තේ මිල ඉහළ ගණන් ඉහළ යෑමට අමතරව තේ අපනයන පරිමාව සුළු වශයෙන් වර්ධනය වීම තේ අපනයන ආදායම ඉහළ යෑමට මෙන්ම සමස්ත අපනයන පරිමාව ඉහළ යෑමට ද හේතු වූ බව සැප්තැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කරයි.


පසුගිය වසරේ මුල් මාස නවයක කාලයේදී ලැබූ එක්සත් ජනපද ඩොලර් මිලියන 950කට අපනයන ආදායමට සාපේක්ෂව මේ වසරේ මුල් මාස නවයක කාලයේදී තේ අපනයන ආදායම සියයට 20කින් වැඩි වී තිබේ. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් ලැබූ ඩොලර් මිලියන 114.9ක ආදායමට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී තේ අපනයන ආදායම සියයට 19.2ක වර්ධනයක් පෙන්නුම් කරමින් එක්සත් ජනපද ඩොලර් මිලියන 136.9ක ආදායමක් ලැබීමට සමත්ව තිබේ. 


මේ අතර රුසියාව මෙරට තේ ඇතුළු වැවිලි නිෂ්පාදන අපනයනවලට පැනවූ තහනමෙන් තේ කර්මාන්යට විශාල බලපෑමක් වනු ඇතැයි කර්මාන්තයේ පිරිස් පවසති. 


රුසියාව යනු මෙරට තේ වෙළෙඳපොළේ ප්‍රධාන අපනයන මධ්‍යස්ථානයකි. රුසියාව වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් තේ කිලෝග්‍රෑම් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් ආනයනය කරයි. එය සමස්ත තේ අපනයනවලින් සියයට 12ත් 15ත් අතර ප්‍රතිශතයකි. 


රුසියානු තේ වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ තේවලට හිමි ප්‍රතිශතය සියයට 23කි.               

මේ වසරේ මුල් මාස දහයක කාලයේදී රුසියාව ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 436ක වටිනාකමින් යුත් තේ ටොන් 141,300ක් ආනයනය කළ බව රේගු වාර්තා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.