යම් රටක දූෂණය පැවතීම යනු ජාතික සංවර්ධනයට බාධා ඇති කරමින් එම රට විනාශ කර දමන පිළිකාවක් යනු විශ්ව පිළිගැනීමකි. දශක ගණනාවක් තිස්සේ මේ රටේ ජනතාව සිහින මැව්වේ දූෂණය පිටුදැකීමට කැප වූ රජයක් ගැනයි. මෙම සිහිනය නිදහස ලැබී වසර 76 කට පසු දැන් ජාතික ජනබලවේග රජයක ස්වරූපයෙන් සැබෑ වී ඇත. ජාතික ජනබලවේගයේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව වූයේ සහ දැනට මූලික අවධානය යොමු වී ඇත්තේ දේශපාලන හා නිලධාරි යන අංශ දෙකෙහිම ඔඩු දුව ඇති දූෂණය තුරන් කිරීම කෙරෙහි බව පෙනේ.
ජාතික ජනබලවේගයට පැවරී ඇති මෙම භාරදූර වගකීම දෙපැත්ත කැපෙන කඩුවක් වැනිය නොහොත් මෙම කටයුත්ත දැලි පිහියෙන් කිරි කෑම වැනිය. එය ඉටු කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේග රජය අපොහොසත් වෙයි නම් ඔවුන්ට ලැබුණු එම දැවැන්ත ජනවරම ඒ හා සමාන විරෝධයක් බවට පෙරළිය හැකිය.
දූෂණ වර්ග
දූෂණය එහි මූලාරම්භ අනුව දේශපාලන දූෂණය සහ නිලධාරි මට්ටමේ දූෂණය ලෙසින් ප්‍රධාන වර්ග දෙකකට බෙදිය හැකිය.
දේශපාලන දූෂණය යනු මහජන සුබසාධනයට වඩා පෞද්ගලික අවශ්‍යතාවලට මුල්තැන දෙමින්, මහජන බලය, රාජ්‍ය ආයතන හෝ සම්පත් පෞද්ගලික හෝ පක්ෂග්‍රාහී වාසි සඳහා තේරී පත් වූ මැති ඇමතිවරුන් විසින් අනිසි ලෙස භාවිත කිරීමය.
අනෙක් අතට නිලධාරි මට්ටමේ දූෂණය යනු රාජ්‍ය ආයතනවල සිටින රාජ්‍ය නිලධාරීන් මහජන යහපත බිල්ලට දෙමින් තම තනතුරු සහ බලය පෞද්ගලික වාසි සඳහා සදාචාර විරෝධී මෙන්ම නීති විරෝධී ලෙස යොදා ගැනීමයි.
මෙම දූෂණ ආකාර දෙකම දේශයට හානිකර වන නමුත් වැඩියෙන්ම හානිකර සහ දෛනිකව රට පුරා සිදු වන දූෂණ වර්ගය ලෙසින් නිලධාරි මට්ටමේ දූෂණය සඳහන් කළ හැකිය. එපමණක් නොව රාජ්‍ය සේවය ක්‍රියාත්මක කිරීමේ මට්ටමින් සිදුවන සහ හානිය සිදු කරන සහ හානියට ලක්වන පාර්ශව දෙකෙහිම කැමැත්ත අනුව රහසිගතව සිදුවන මෙම දුෂණය හඳුනා ගැනීම සහ නවතා දැමීම අතිශය දුෂ්කරය.
දේශපාලන දූෂණය සහ නිලධාරි මට්ටමේ දූෂණය අතර ඇති මූලික ලක්‍ෂණ
ක්‍රමවේද: දේශපාලන දූෂණය බලාධිකාරිය අපයෝජනය කිරීමක් වන අතර නිලධාරි මට්ටමේ දූෂණය නෛතික හිඩැස් සහ අසීමිත හෙවත් ඊනියා අභිමත බලතල අපයෝජනය කරයි.
මෙහෙයුම් මට්ටම: දේශපාලන දූෂණ සිදු වන්නේ ඉහළ තීරණ ගැනීමේ මට්ටම්වල දී වන අතර නිලධාරි මට්ටමේ දූෂණය සිදුවන්නේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේ මට්ටමිණි. තවත් ලෙසකින් කියනවා නම් දේශපාලන දූෂණය කොමිස්’ ස්වරූපයෙන් ද නිලධාරි මට්ටමේ දූෂණය අල්ලස්’ ස්වරූපයෙන් සිදු වේ.
ක්‍රියාත්මක වීමේ වේගය: ඉඳහිට මහා පරිමාණයෙන් දොරවල් වැසු ශීත කාමරවල සිදුවන දේශපාලන දූෂණයට සාමාන්‍යයෙන් වැඩි කාලයක් ගත වන අතර නිලධාරි මට්ටමේ දූෂණ දෛනිකව සහ ක්‍ෂණිකව මහපාරේ මෙන්ම මේසයක් යටින් ද සිදු වේ.
විහිදුම: සිදුවන වාර ගණනින් සුළු විය හැකි එහෙත් පරිමාණයෙන් දැවැන්ත වන දේශපාලන දූෂණයට සාපේක්ෂව නිලධාරි මට්ටමේ දූෂණය ප්‍රමාණයෙන් කුඩා විය හැකි නමුත් එහි ව්‍යාප්තිය පුළුල්ය. දෛනික වාර ගණනින් ඉහළය.
නිරීක්‍ෂණය වීමේ හැකියාව: පවතින සක්‍රීය මාධ්‍ය ක්‍රියාකාරකම් සහ තාක්‍ෂණය නිසා ඉහළ පෙළේ මැති ඇමතිවරුන් සහ නිලධාරීන් අතළොස්සක් පමණක් සම්බන්ධ වන දේශපාලන මට්ටමේ දූෂණයක් රටට සම්පූර්ණයෙන්ම කොළය වසා කිරීම මඳක් අපහසුය. එනමුත් නිලධාරි මට්ටමේ දූෂණය ගත් කළ මෙය සිදු වන්නේ සාමාන්‍ය රටවැසියකු සහ රාජ්‍ය සේවකයකු අතරය. එබැවින් දෙදෙනාටම මෙය වසන් කරන්නට අවශ්‍ය බැවින් මෙය බොහෝ විට නිරාවරණය හෝ අනාවරණය වන්නේ නැත.
කෙසේ වෙතත්, ජාතික ජනබලවේග රජය මෙම දෙයාකාර දුෂණයටම තිත තබන්නට කැපවී සිටින බව පෙනෙන්නට තිබීම බලාපොරොත්තු ඇති කරයි. මෙයට පෙර බලයට පත් වුණු කිසිදු රජයක් රටේ මෙවන් රෝගයක් තිබෙන බවක් හෝ ඒවා තුරන් කරන්නට තමන් කටයුතු කරන බවක් හුදු ඡන්ද පොරොන්දු ලෙසින් හෝ කී බවක් අපගේ සිහියට නොනැගේ.
නිලධාරි මට්ටමේ දූෂණ හිඩැස් වසා දැමීම
නිලධාරි මට්ටමින් දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීමට නම් එහි මූල හේතු ආමන්ත්‍රණය කිරීම සහ සදාචාර විරෝධී ක්‍රියා සක්‍රීය කරන මං වසා දැමීම ඉතා වැදගත් වේ. මූල හේතු පහත සඳහන් පරිදි හඳුනාගත හැකිය:
• රාජ්‍ය සේවකයන්ට ලැබී ඇති අභිමත බලතල අවභාවිත කිරීම
• නීතිවල ඇති හිඩැස්
• උසස් නිලධාරීන්ගේ ලිහිල්භාවය
• නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්‍ෂමතාවය
අසීමිත බලයේ භූමිකාව
රාජ්‍ය සේවය කාර්යක්‍ෂමව පවත්වාගෙන යාමට යම්කිසි බලතල ප්‍රමාණයක් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට ලබාදීම වැළැක්විය නොහැක්කකි. කෙනකුට මස් කපන වැඩේ භාර දෙන විට ඔහුගේ අතට පිහියක් දිය යුතුමය. අවිචාරය සිදු වන්නේ ඔහු එම පිහිය පෙන්නා මිනිසුන්ගෙන් සල්ලි උදුරන්නට පටන් ගන්නා විටය.
අසීමිත හෙවත් අභිමත බලය යනු වල් බූරු ලයිසමක් නොවේ
සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේ දී පසුගියදා සිදුකළ හෙළිදරව් කිරීම්වලින් ජනාධිපති අරමුදල සම්බන්ධ දූෂණ හෝ අක්‍රමිකතා හෝ සිදු වු අවස්ථා කිහිපයක්ම අනාවරණය විය. මෙම අරමුදලින් දේශපාලඥයන් කිහිප දෙනකුම සාමාන්‍ය රටවැසියකුට සිහිනයෙන්වත් සිතිය නොහැකි විශාල මුදල් ප්‍රමාණ ලබාගෙන ඇති අතර එක් දේශපාලනඥයකුට පමණක් දරිද්‍රතාව තුරන් කිරීමට වෙන් කරන ලද අරමුදලින් රුපියල් මිලියන 30ක් ලබාගෙන ඇත. තුරන් කිරීමට කෝටි තිහක්ම???? අවශ්‍ය වන තරමට අසරණ’ වූ දේශපාලනඥයාගේ දුක කුමක්දැයි අපට නම් සිතා ගන්නට නොහැකිය.
ජනාධිපති අරමුදලේ අරමුණු 1978 අංක 7 ජනාධිපති අරමුදල් පනතේ 6 වැනි වගන්තියෙහි පැහැදිලිවම සඳහන් කරමින් ජනාධිපතිවරයාගේ නිර්දේශ අනුව හා අරමුදලේ මණ්ඩලය අභිමතය අනුව පහත අරමුණු උදෙසා සාධාරණ ලෙස අවශ්‍ය වන අසරණ අයට එහි මුදල් ලබා දීම එම මණ්ඩලයේ වගකීම වනු ඇත යැයි අවධාරණය කර ඇත:
a. දරිද්‍රතාවය තුරන් කිරීම
b. දැනුම හෝ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම
c. ආගමික අවශ්‍යතා සහ ආගමික වතාවත් මෙන්ම ආගමික ස්ථාන නඩත්තුව
d. ජනාධිපතිවරයගේ සහ මණ්ඩලයේ අභිමතය අනුව මහජන සුබසාධන කටයුත්තක් යැයි පෙනෙන අවශ්‍යතාවක්
ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අරමුදලේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට පනත මගින් ජනාධිපතිවරයාට බලය පවරා ඇත. කෙසේ වෙතත්, මෙම අභිමත බලය පරම නොවේ. අවභාවිතය වැළැක්වීම සහ නීතියේ මූලික අරමුණු සමග පෙළගැස්වීම සහතික කිරීම සඳහා කොන්දේසි සහ සීමාවලට එය යටත් වේ. එවැනි අධිකාරියක් අනිසි ලෙස භාවිත කිරීමෙන් මහජන විශ්වාසය පළුදු වන අතර මහජන සුබසාධනයට සේවය කිරීමට අදහස් කරන අරමුදලේ අරමුණු ද පරාජයට පත් වේ.
ද සිල්වා එදිරිව අතුකෝරල (1993, 1 SLR 283 පිටු. 296-297) යන සුප්‍රසිද්ධ නඩුවෙහි දී නිරපේක්ෂ සහ සීමිත අභිමතය අතර වෙනස විනිසුරු ප්‍රනාන්දු මහතා විසින් පැහැදිලිව විස්තර කරන ලදී. සාමාන්‍ය පුද්ගලයකුට තම දේපළ විකිණීමේ පරම බලය ඇති අතර එය සඳහා තමන්ට කැමැති මිලක් ද ඔහුට ඉල්ලා සිටිය හැකිය. කෙසේ වෙතත්, රාජ්‍ය නිලධාරියකුට ඔහුගේ බලය සීමිත බැවින් පොදු දේපළක් විෂයයෙහි එසේ සිතූ මතේ කටයුතු කළ නොහැකිය. ඔහු සාධාරණ හා සද්භාවයෙන් කටයුතු කළ යුතු අතර නීත්‍යානුකූල සහ මහජන අවශ්‍යතාවට අදාළ හේතු මතම ක්‍රියා කළ යුතුය.
සාමාන්‍ය පුද්ගලයකුගේ ක්‍රියාව උසාවියකින් අභියෝගයට ලක් කළ නොහැක්කේ ඔහුට අසීමිත බලයක් සහ තමන්ට රිසි සේ ක්‍රියා කිරීමේ අයිතියක් ඇති බැවිනි. එනමුත් රාජ්‍ය නිලධාරියකුගේ ක්‍රියාව අධිකරණයක දී අභියෝගයට ලක් කළ හැකිය. මන්ද යත් ඔහුට ක්‍රියා කිරීමට ඇති බලය සහ නිදහස පරම නොවන හා සීමාවලට යටත් බැවිනි.
නීතියේ ඇති සිදුරු
නීතියේ ඇති හිඩැස් යනු නීතියේ අපේක්ෂිත අරමුණට නොගැළපෙන ප්‍රතිඵල සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි හිඩැස් හෝ ව්‍යාකූල තත්වයක් වේ. දූෂණය සඳහා මෙම හිඩැස් අපයෝජනය කිරීම මෙන්ම බොහෝ විට අයුක්ති සහගත වාසි ප්‍රයෝජන ලබා ගැනීම සඳහා නීතියේ ඇති මෙම ව්‍යාකූල තත්වය අපයෝජනය කරනු ලැබේ.
ජනාධිපති අරමුදල් පනතේ 6 වැනි වගන්තිය සලකා බලමු. එහි මූලික අරමුණ දිළිඳුකම පිටුදැකීම බව පැහැදිලිවම එහි සඳහන් කර ඇත. කෙසේ වෙතත් පනතේ අර්ථ නිරූපණ වගන්තිය (13 වැනි වගන්තිය) මහ බැංකුව නිර්වචනය කරන නමුත් සුවිශේෂීව ‘‘දරිද්‍රතාව” යන යෙදුම නිර්වචනය නොකරයි. මෙම අතපසුවීම මහජන සුබසිද්ධියට වඩා පෞද්ගලික අවශ්‍යතාවලට මුල්තැන දෙමින් දේශපාලන සෙසු නායකයන් සහ ජනාධිපතිවරුන් ඇතුළු දූෂිත රාජ්‍ය නිලධාරීන්ට පෞද්ගලික හෝ පක්ෂග්‍රාහී වාසි සඳහා මෙම අරමුදලෙන් පිහිට පැතීමේ දුර්වලතාවක් නිර්මාණය කරයි.
දරිද්‍රතාව සහජයෙන්ම විෂයාත්මක වන අතර එය සාපේක්ෂ හෝ නිරපේක්ෂ ලෙස වර්ගීකරණය කළ හැකිය. සාමාන්‍ය බුද්ධිය පවසන්නේ පනත විසින් ආමන්ත්‍රණය කර ඇති දරිද්‍රතාව පරම දරිද්‍රතාව වන බවය. එය පැහැදිලිවම නිර්වචනය කර නිශ්චය කළ හැකි තත්වයකි. එයට ප්‍රතිවිරුද්ධව, සාපේක්ෂ දරිද්‍රතාව වඩාත් අපැහැදිලි සහ විවෘතව පවතින අතර, එය නීතියේ සීමා ඇතුළත නිර්වචනය කිරීම අපහසුය.
දූෂිත නිලධාරීන්ට සහ එවැනි මැති ඇමැතිවරුන්ට පනතේ සැබෑ අරමුණු මග හැර සුදුසුකම් නැතිවම අයුතු ප්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසන්නේ නීතියේ ඇති මෙවන් හිඩැස් හෙවත් ව්‍යාකූලතාය. මෙමගින් පනතේ අරමුණ ඉටු නොවනවා පමණක් නොව රජය කෙරෙහි මහජන විශ්වාසය ද පළුදු වේ.
ඉහළ නිලධාරින් දූෂණය විෂයයෙහි නිහඬ වීම
දූෂණය වැළැක්වීමට බාධකයක් වන තවත් වැදගත් කරුණක් වන්නේ දූෂණය කෙරෙහි ඉහළ ප්‍රධානීන් දක්වන ලිහිල් භාවය එය නොසලකා හැරීම සහ තමන් යටතේ සේවය කරන්නන්ගේ දූෂිත ක්‍රියාවලට එරෙහිව දැඩි පියවර නොගැනීමයි. මෙම ආකල්පය දූෂණයට එරෙහිව සටන් කිරීමේ උත්සාහය සැලකිය යුතු ලෙස අඩපණ කළ හැකිය.
ප්‍රධානීන් තමන් යටතේ සිටින නිලධාරීන්ගේ දූෂණවලට එරෙහිව පියවර නොගැනීමට විවිධ හේතු තිබිය හැකිය. ඉහළ නිලධාරීන් තමන් කරන දූෂිත ක්‍රියා විෂයයෙහි ජ්‍යෙෂ්ඨයන් අහක බලා ගත යුතුය යන අපේක්‍ෂාව ඉන් එකකි. දූෂිත ජ්‍යෙෂ්ඨයන්ට ඇති දේශපාලන දැන හැඳුනුම්කම්වලට මෙන්ම වෘත්තීය සමිතිවල විරෝධයට බිය වීම අනෙක් හේතු වේ.
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතාව
නිලධාරි මට්ටමින් දූෂණ වැළැක්වීමේ තවත් ප්‍රධාන බාධකයක් වන්නේ රහස් පොලිසිය, අල්ලස් හෝ දූෂණ කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව වැනි අදාළ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතාවයි. මාගේ මෙම මතයට 2024 දෙසැම්බර් 09 දූෂණ විරෝධී දිනය සමරන උත්සවයෙහි අදාළ ඉහළ පෙළේ නිලධාරීන් ඉදිරියේ අල්ලස හා දූෂණ ගැන ජනාධිපති අනුර දිසානායක මහතා කළ කථාවම කදිම සාක්‍ෂියකි.
රටේ නායකයාගේම විවේචනයට වඩා මෙම ආයතනවල අකාර්යක්ෂමතාවයට තවත් සාක්‍ෂි අව්‍යශ්‍ය නැත.
නිලධාරි මට්ටමින් දූෂණය තුරන් කිරීමට වහාම ගත යුතු පියවර කවරේද?
ඉහත සඳහන් කළ පරිදි රාජ්‍ය නිලධාරීන්ට ලබා දී ඇති අභිමත බලතල අවභාවිත කිරීම, නීතියේ සිදුරු, ඉහළ නිලධාරීන්ගේ ලිහිල්භාවය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතව යන සිව්වැදෑරුම් හේතු දූෂණයට ප්‍රධාන වේ. මෙම හේතූ වැළැක්වීම සඳහා ඵලදායී හා කාර්යක්ෂම ක්‍රියාමාර්ග මගින් නිලධාරි මට්ටමේ දූෂණය පිටුදැකිය හැකිය යැයි මම තරයේ විශ්වාස කරමි.
පළමු පියවර ලෙසින් පහත සඳහන් දෙපාර්තමේන්තු සහ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත ඉහළ බලතල සහිත කමිටුවක් පත් කළ යුතුය. නැතහොත් දූෂණය වැළැක්වීම අරමුණු කරගත් පහත සඳහන් කාර්යයන් ඉටු කිරීමට රාජ්‍ය සේවයේ ප්‍රධානීන් යොමු කළ යුතුය:
නියෝජිතයන්
I. නීතිපති දෙපාර්තමේන්තුව, II. විගණන ජනරාල්වරයා III. මුදල් අමාත්‍යාංශය IV. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව V. ශ්‍රී ලංකා රේගුව VI. සුරාබදු දෙපාර්තමේන්තුව VII. පොලිස් දෙපාර්තමේන්තුව VIII. ශ්‍රී ලංකා වරලත් ගිණුම්කරුවන්ගේ ආයතනය IX. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය
යෝජිත කාර්යභාර/ යොමු නිර්දේශ
• ගත යුතු පියවර
අපයෝජනය කළ හැකි හා පෞද්ගලික වාසි සඳහා යොදා ගත හැකි බලතල හඳුනාගැනීම හැකි පමණ අභිමත බලතල අවභාවිත කිරීම අවම කිරීම නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු රීති මත පදනම්වු පද විග්‍රහ ප්‍රකාශයට පත් කිරීම.
රීති මත පදනම් වු එම පැහැදිලි කිරීම් මහජනයාට ද දැක බලා ගත හැකි පරිදි ප්‍රසිද්ධ කිරීම
• පහත පියවර බලය අපයෝජනය කළ නොහැකි අයුරින් නීතිය දැඩි කිරීම.
අදාළ නීතිවල ඇති ව්‍යාකූලතාව සහ වැරදි අර්ථ නිරූපණයට මග පෑදිය හැකි පද යෙදුම් ඉවත් කිරීම සඳහා ඒවා සංශෝධනය කිරීම
අපයෝජනයට මග පෑදිය හැකි ව්‍යාකූල තැන්වලට පැහැදිලි නිල අර්ථ කථන සහ රීතීන් ප්‍රකාශයට පත් කිරීම එම නිල අර්ථ කථන සහ රීතීන් මහජනයාට ද දැක බලා ගත හැකි පරිදි ප්‍රසිද්ධ කිරීම.
• දූෂණයට වැරදිකරුවන් වන නිලධාරීන්ට කිසිදු ලිහිලක් නොපෙන්වීම. මේ සඳහා පහත පියවර ගත හැකිය:
දූෂණ වැරදි පැමිණිලි කරන්නන්ට ආරක්‍ෂාව සැලසීම සහ ඔවුන්ගේ අනන්‍යතාවේ රහස්‍ය බව සුරැකීම
දූෂණය ගැන විමසිල්ලෙන් සිටීමට මෙන්ම උපාය දූතයන් ලෙස දායක වීමට මාධ්‍යය සහ අදාළ රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සිවිල් සමාජය දිරිගැන්වීම.
නිලධාරියකු විසින් සිදුකරන දූෂණ වැරදි ඔප්පු වනතෙක් ඒවා සඳහා අදාල ඉහළ නිලධාරීන් වග විය යුතුය යැයි දැන්වීම
නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතාව තුරන් කිරීමට පහත පියවර යෝජනා කෙරේ:
නොසැලකිල්ලට වගකීම:
තාක්‍ෂණික ගැටලු හෝ ක්‍රියා පටිපාටිවලට අනුකූල නොවීම හේතුවෙන් අවාසි සහගත විනිශ්චය හෝ නඩු ඉවතලීමට හේතු වන කිසියම් නොසැලකිල්ලක් සඳහා සෑම නිලධාරියකුම පෞද්ගලිකව වගකිව යුතු බව දැන්වීම.
සුදුසුකම මත පදනම්වූ තනතුරු උස්සවීම්:
උසස්වීමේ පදනම විය යුත්තේ කාර්ය සාධන ඇගයීම් සහ කුසලතා පමණි. මුඛ්‍ය කාර්ය සාධන දර්ශකයක් (KPI) සම්පූර්ණ කිරීමේදී සියයට 75% ට වැඩි සාර්ථකත්ව අනුපාතයක් ලබා ගැනීම අනිවාර්ය කළ යුතුය.
ආයතනික ප්‍රධානීන්ගේ වාර්තා:
ආයතනික ප්‍රධානීන් විසින් දූෂණ විමර්ශන සාර්ථක වීම හෝ අසාර්ථක වීම සම්බන්ධව සහ වැඩිදියුණු කිරීම් සඳහා වන යෝජනා සහිතව සමසකට වරක් අදාළ අමාත්‍යාංශ වෙත සවිස්තරාත්මක වාර්තා ලබා දිය යුතුය.
අවසාන වශයෙන්, නිලධාරි මට්ටමේ දූෂණ වැළැක්වීම සඳහා ශක්තිමත් ආයතනික ප්‍රතිසංස්කරණ, විනිවිද පෙනෙන පද්ධති සහ ක්‍රියාකාරී මහජන සහභාගීත්වය ඒකාබද්ධ කරන පරිපූර්ණ ප්‍රවේශයක් අවශ්‍ය වේ. වගවීම පිළිබඳ සංස්කෘතියක් රටේ පෝෂණය කිරීම, අධීක්ෂණ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම සහ සදාචාරාත්මක භාවිත ප්‍රවර්ධනය කිරීමෙන් පෞද්ගලික අවශ්‍යතාවලට වඩා රාජ්‍ය සේවකයන් මහජන යහපතට සේවය කරන බව මහජනයාට සහතික කළ හැකිය. දූෂණයට එරෙහිව සැබැවින්ම ඔරොත්තු දෙන සහ සාධාරණ ප්‍රගතියක් සඳහා කැපවී සිටින පාලන පද්ධතියක් ගොඩනැගිය හැක්කේ තිරසාර උත්සාහයක්, සාමූහික වගකීම සහ නොසැලෙන කැපවීමෙන් පමණි.