නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සැකැසීමට ඊ-සමීක්ෂණයක්


අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි තිරසාර කර්මාන්තයක් ගොඩනැගීමේ අරමුණින් සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සමඟ නව ජාතික සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට කර්මාන්ත පාර්ශ්වකරුවන්ගෙන් අදහස් ලබාගැනීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. 2020 නොවැම්බරයේ සංචාරක පාර්ශ්වකරුවන් වෙත යෝජනා සඳහා යවන ලද ලිඛිත ඉල්ලීමට අමතරව මෙම සමීක්ෂණය සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

මෙම ප්‍රතිපත්තියට නීති රීති, රෙගුලාසි, මාර්ගෝපදේශ, විධානයන්, අරමුණු සහ සංවර්ධන ප්‍රවර්ධන ක්‍රමෝපාය ඇතුළත් වන අතර එය දිගු කාලීන සංචාරක සංවර්ධනයට සහ ගමනාන්තයක් තුළ දෛනික ක්‍රියාකාරකම්වලට ඍජුවම බලපාන සාමූහික හා තනි තීරණ සඳහා රාමුවක් සපයන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. තව ද මෙම ප්‍රශ්නාවලියට ප්‍රතිපත්ති අරමුණු, ව්‍යුහයන්, භූමිකාවන් සහ වගකීම් සම්බන්ධ ප්‍රශ්න ද ඇතුළත් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචරණ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය මෙසේ පැවැසුවාය.

“වර්තමාන සංචාරක ව්‍යුහය තුළ මූල්‍ය හා මානව ප්‍රාග්ධන සම්පත් කළමනාකරණය කිරීම මා දකිනා පරිදි කාර්යක්ෂමව සිදුවන්නේ නැහැ. පසුගිය මාස 15 තුළ ආයතන හතරේම මුලසුන දැරීම තුළින් සංචාරක ආයතන අතර සිදුවන අනවශ්‍ය නාස්තිය සහ සම්බන්ධිකරණයේ හිඟතාව මම හොඳින් දැක තිබෙනවා.

තව ද මෙය අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වන අතර සංචාරක ආයතන ඒකාබද්ධ කිරීම 2021 දී ජාතික අයවැයට ද ඇතුළත් වූවා. ඉන් අනතුරුව එහි කැබිනට් පත්‍රිකාව අනුමත කළා. මෙය ක්‍රියාවලි විධිමත් කිරීම, ප්‍රතිනිර්මාණය කිරීම සහ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා රජය විසින් ගත් කාලෝචිත තීරණයක් යැයි පැවැසිය හැකියි.

2006 දී, 2005 සංචාරක පනත සම්මත වීමෙන් පසුව, සවිස්තර වාර්තාවක් ආයතන ඒකාබද්ධ කිරීමට සකස් කෙරූ අතර ඉන් පසුව අඛණ්ඩව පැමිණි ආණ්ඩු ද ආයතන ඒකාබද්ධ කිරීමට උත්සාහ දරා තිබුණත් අඛණ්ඩ සභාපතිවරුන්ගේ වෙනස්වීම හේතුවෙන් මෙවැනි ව්‍යාපෘති ඇනහිට තිබෙනවා. සංචාරක කර්මාන්තය අපේ පුරවැසියන්ගෙන් මිලියන 3කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරන අතර රටක සංචාරක පනතක් සියලු පාර්ශ්වකරුවන් නියෝජනය කළ යුතුයි. මම අපගේ සියලු පාර්ශ්වකරුවන්ට මෙම ඊ-සමීක්ෂණයට සහභාගි වී ඔවුන්ගේ අදහස් අප සමග බෙදා ගන්නා මෙන් ඉල්ලා සිටිනවා.

දැනට පවතින පනත සහ එහි ව්‍යුහය දේශීය සංචාරක කර්මාන්තය සංවර්ධනය කිරීමටල ඩිජිටල් ප්‍රවර්ධනයන් භාවිත කිරීමට, ශ්‍රී ලංකාව ස්ථානගත කිරීමට හා පාරිභෝගිකයා වෙත හරි ලෙස ළඟා වීමට අපොහොසත් වී සිටිනවා. සංචාරක ව්‍යාපාරය ආවරණය වන පරිදි සිව් ආයතන සහිත වර්තමාන ව්‍යුහය සාර්ථක යැයි සැලකිය ද නොහැකියි. වසර 20-30කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇත්තේ හෝටල් 2,500ක් පමණයි. ලියාපදිංචි නොවූ සංචාරක සැපැයුම්කරුවන් 20,000-30,000කට අධික සංඛ්‍යාවක් සිටින අතර ඔවුන්ට සහාය දීමට හෝ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහාය ලබාදීමට කිසිදු යාන්ත්‍රණයක් නැහැ.”

නව පනත සිංගප්පූරුව ඇතුළු ගෝලීය හොඳම භාවිතවලට අනුකූලව කෙටුම්පත් කිරීමට කටයුතු සූදානම් වන අතර තරුණ පරම්පරාවල නව නිපැයුම් සහ අත්දැකීම් නිර්මාණය කරන පාර්ශ්වකරුවන් සංචාරක කර්මාන්තයට සම්බන්ධ කරගැනීම සහ 80 ගණන්වල චින්තනයෙන් ඉවත් වී ශ්‍රී ලංකාව නව ආකාරයකින් ස්ථානගත කිරීම, වනජීවී දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වැනි අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන් හවුල්කරුවන් වශයෙන් සංචාරක ව්‍යාපාරයට ඇතුළත් කරගැනීම මෙහි ප්‍රධාන අරමුණු වේ.

සමීක්ෂණයට සහභාගී වීමට:

සිංහල භාෂාවෙන්: http://bit.ly/NTPSL_S

දෙමළ භාෂාවෙන්: http://bit.ly/NTPSL_T

ඉංග්‍රීසි භාෂාවෙන්: http://bit.ly/NTPSL_E