නියං සහන එයි


දැඩි නියං කාලගුණය නිසා පීඩාවට පත්ව සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල ගොවි පවුල් වලට සහන සැළැසීමට රජය සැරසේ.

නියඟය නිසා දැඩි පීඩාවට පත්ව සිටින ගොවි පවුල් වලට තාවකාලික ආදායම් මාර්ගයක් සළසා දීමට රුපියල් ලක්ෂ 13000 වෙන්කෙරෙන කැබිනට් පත්‍රිකාවකට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

ගණන් ලබා ඇති පරිදි ගොවි පවුල් 111500 ක් නියඟය නිසා ගොවිතැන් කිරීමට තබා දෛනික කටයුතු වලට පවා ජලය සපයාගත නොහැකිව සිටී.

නියඟය පවතින ප්‍රදේශයන්ගේ ඇති ජලාශ, වැව්, ළිං ආදියේ රොන් මඩ ඉවත් කර, වැඩි ජල ප්‍රමාණයක් රදවා ගත හැකිවන සේ ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු වලට නියං සායෙන් පීඩා විදින පවුල් වල අයවලූන්ටද අවස්ථාව ලබා දීමට සැළසුම් කර ඇත. ඔවුනට දින 8 සිට 12 දක්වා ප්‍රමාණයක් වැඩෙහි යෙදීමට සිදුවනු ඇති අතර ඒ වෙනුවෙන් ඔවුනට දීමනාවක්ද ලබා දේ.

ඉවත්කර ගන්නා රොන් මඩ ප්‍රදේශයේ ඇති ගඩොල් හා උළු නිශ්පාදනාගාර වෙත ලබා දෙනු ඇත.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට උතුරු හා නැගෙනහිර ප්‍රදේශයන්ගේ පවතින දැඩි නියං කාලගුණය නිසා මෙවර වී අස්වැන්න ගතවූ වසර 6 ක කාලය පුරාවට වාර්තාවූ අඩුම අස්වනු ප්‍රමාණය වනු ඇතැයි පැවසේ.

මෙනිසා වෙළදපොල සහල් හිගයක් ඇතිවීම හා සහල් මිල ඉහළ යාම වැළැක්වීම සදහා සහල් ආනයනය කිරීමට පනවා තිබූ කොන්දේසි තාවකාලිකව ලිහිල් කිරීමටද රජය කටයුතු කර තිබේ.

මෙම මස අවසානය වන විට සහල් මෙට්‍රික් ටොන් 100 ක් ආනයනය කිරීමට සැළසුම් කර ඇතැයිද සදහන්ය.

හදිසියේම මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව වී ඇත්තේ ඊසානදිග හා දැනට ක්‍රියාකාරීව පවතින නිරිතදිග මෝසමෙන් අපේක්ෂිත පරිදි වැසි නොලැබීමයි.

නිරිතදිග මෝසම තවත් මාස 2 ක් පුරාවට ක්‍රියාත්මකව පවතිනු ඇති වුවද එම කාලයේදීත් ප්‍රමාණවත් පරිදි වැසි වැටීමක් අපේක්ෂා කළ නොහැකි බවක් මෝසමේ වත්මන් ක්‍රියාකාරීත්වය සැළැකීමේදී පෙනෙන්නට ඇත.