- නව ව්‍යාපෘති සංචාරකයන්ට මර උගුලක්
- සමහර උපකරණ නටබුන් වෙලා
- සංචාරක කර්මාන්තයට කළු පැල්ලමක් එක්කරන්න එපා
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත ප්‍රියන්ත
බෙන්තොට සංචාරක පුරවරයකි. මෙරට ඇති සංචාරක පුරවරවලින් බෙන්තොටට ලැබෙන තැන ඉහළය. මේ නිසාම දෝ දෙස් විදෙස් සංචාරකයෝ වැල නොකැඩී බෙන්තොටට ආවෝ ගියෝය. දෙස් විදෙස් සංචාරකයන් මෙසේ බෙන්තොටට පෙම් බැදීමට හේතුවූ කරුණු කාරණා කිහිපයකි. බෙන්තොටම හැඩ කරන රන්වන් පාට වෙරළ තීරයත් මනරම්වූත් මනස්කාන්තවූත් චිත්තාකර්ශණීය බෙන්තර ගඟත් ඒ අතරය. ඊට තවත් කරුණු කාරණා ද නැත්තේද නොවේ.
බෙන්තොටට වැඩි වැඩියෙන් දෙස් විදෙස් සංචාරකයන් අද්දවා ගැනීමේ ඒකායන අරමුණින් රජයත් රජයානුබද්ධ ආයතනත් ඇපකැපවී කටයුතු කළේය. ඒ වෙනුවෙන් අලුත් අලුත් ව්‍යාපෘති ද දියත් කළේය. ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශය, සංචාරක මණ්ඩලය, රුහුණු සංචාරක කාර්යාශය ද ඒ අතරය.
ප්‍රශ්නය එය නොවේ. මේ වනවිට එම ආයතනවලින් බෙන්තොට සංචාරක පුරවරයේ දියත් කළ ව්‍යාපෘති සංචාරකයන්ට මර උගුල් බවට පත්ව තිබීමය. එමගින් සංචාරකයන්ට පීඩා ගෙනදීමය. මීට අමතරව සංචාරක පුරවරයට නොගැළපෙන දෑ බෙන්තොට දක්නට ලැබේ. මේ ප්‍රශ්න හමුවේ දෙස් විදෙස් සංචාරක පුරවරයක් ලෙස නම් දරා සිටින බෙන්තොට සංචාරයක් සදහා සුදුසු නොවේ යයි හංවඩු ගැසුණහොත් සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වන සිය දහස් ගණනකගේ රැකියා අනතුරේය. බඩගින්නේ සිටීමට සිදුවන පවුල් ගණන බොහෝය. මේ ඔවුන්ගේ දුක් ගැනවිල්ලය.
බෙන්තොට සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පියල් ගාමිණී විජේසිංහ මහතා:-
මමත් බෙන්තොට පොඩි නිවාඩු නිකේතනයක් පවත්වාගෙන යනවා. අපිට පේනවා බෙන්තොට සංචාරක ව්‍යාපාරය නංවන්න රජයෙන් යම් යම් ව්‍යාපෘති දියත්කරලා තියෙන බව. ඇත්තටම ඒක හොද දෙයක්. එහෙත් අද වනවිට මේ ව්‍යාපෘති හරියට නඩත්තුවක් නැති කමෙන් දෙස් විදෙස් සංචාරකයන්ට මර උගුල් බවට පත්වෙලා තියෙනවා. ඒකට හොදම උදාහරණයක් තමයි බෙන්තොට වෙරළ උද්‍යානය. සයිරු ඉම උද්‍යානය. මෙය සයුරු ඉම නෙමෙයි. දැන් නම් සංචාරකයන්ගේ සසර ඉම වෙලා.
කියන්න කනගාටුයි මේ වෙරළ උද්‍යානයේ ළමා හා වැඩිහිටි අංශ දෙකේම උපකරණ කැඩිලා ගිහිල්ලා. දැන් බොහෝම කාලයක් වෙනවා. එහෙත් ඒවා යථා තත්වයට පත් වන්නේ නැහැ. විශේෂයෙන්ම මේ උද්‍යානයට එන දෙස් විදෙස් සංචාරකයන්ගේ ශරීර සෞඛ්‍යය මනා ලෙස පවත්වාගෙන යාම සඳහා එහි ස්ථාපිත කරලා තියෙන කාය වර්ධන උපකරණ සියල්ලම පාහේ විනාශවී ගිහිල්ලා. මේ උපකරණ භාවිත කරන්න තියා ඒවා ළගින් ගියත් ලොකු අනතුරු වෙන්න පුළුවන්. මේ උපකරණ සියල්ලම පාහේ සාදා තියෙන්නේ යකඩවලින්. කැඩී බිඳී ගොස් ඇති මේ උපකරණවලින් අනතුරු සිදුවූ දෙස් විදෙස් සංචාරකයන් ඕනෑ තරම් ඉන්නවා.
ඒ වගේම තමයි සයුරු ඉම උද්‍යානයේ ළමා අංශයේ ස්ථාපිත කරලා තියෙන සංචාරක ළමා මනසට සතුටක් ගෙනදෙන උපකරණ පද්ධතිය. මේ පද්ධතියේ ක්‍රීඩා උපකරණ සියල්ලම පාහේ මේවනවිට විනාශ වෙලා ගිහිල්ලා. වැඩිහිටි අංශයේ මෙන්ම ළමා අංශයේද ක්‍රීඩා උපකරණ විනාශ වෙලා තියෙන්නේ. ඒවා ළමයින්ට අනතුරු සිදුවන මර උගුල්වගේ. විනෝදවීමට ඇති සමහර උපකරණවල තියෙන්නේ නටබුන් විතරමයි.
මේ උද්‍යානයට විශේෂයෙන්ම සති අන්තයේ වගේම රජයේ නිවාඩු දවස්වලට දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් එනවා. ඒ අය පොඩි දරුවන් සමග මෙතනට එන්නේ නිදහසේ තමන් වගේම දරුවනුත් සමග සතුටු වෙලා යන්න. ඒකට මේ ස්ථානයේ පහසුකම් කෝ. පහසුකම් නැතිවුණාම අද එන සංචාරකයා හෙට මෙතනට එන්නේ නැහැ. ඒක බෙන්තොට සංචාරක ව්‍යාපාරයට හොඳම නැහැ.
අනුරුද්ධ කෝට්ටේආරච්ච් මහතා:
දැන් දැන් දුම්රියෙන් බෙන්තොටට එන සංචාරකයන්ගේ සංඛ්‍යාව වැඩිවෙලා. එසේ එන ඔවුන් බසින්නේ බෙන්තොට දුම්රිය නැවතුමෙන්. මේ දුම්රිය නැවතුම් පොළත් සංචාරකයන්ට මර උගුලක් වෙලා. එහි වහල හොඳටම අබලන් වෙලා. වහලේ නිරාවරණය වී ඇති ඇතැම් කොන්ක්‍රීට් කොටස්වල කෑලි බිමට කඩාවැටිලා. යකඩ මතුවෙලා. යම් හෙයකින් සංචාරකයකු මේ ස්ථානයෙන් ගමන් ගන්නා විට කොන්ක්‍රීට් කෑල්ලක් හිස මතට කඩා වැටුණොත් එහි වගකීම ගන්නේ කවුද. එමගින් බෙන්තොට සංචාරක පුරවරයට වන කළු පැල්ලම මකන්න පුළුවන් කාටද?.
මේ දුම්රිය නැවතුමේම තවත් මරු කපොල්ලක් තියෙනවා. ඒ දුම්රිය නැවතුම්පොළේ දුම්රිය මාර්ගය හරහා දමා ඇති ගුවන් පාලමේ යට. එම ස්ථානයෙන් බොහෝ අය වෙරළට යන්න උත්සාහ දරනවා. මේ ළගදී අලුත් අවුරුදු උදාවට බෙන්තොට වෙරළේ පත්තුකරන මල් වෙඩි බලන්න ගිය මවක් සහ දරුවෙක් මේ ස්ථානයෙන් දුම්රිය මාර්ගය හරහා යන්න ගිහිල්ලා දුම්රියේ හැපිලා මිය ගියා. මෙතනින් පනින අයට රේල් පාරේ කෝච්චියක් එනවා පේන්නේ නැහැ. මෙහේ අය විතරක් නෙමෙයි දෙස් විදෙස් සංචාරකයනුත් වෙරළට යන්න රේල් පාර පනින්නේ මෙතනින්. යම් හෙයකින් බෙන්තොටට එන සංචාරකයකුට එහෙම අනතුරක් වුණොත් කවුද ඒකට වගකියන්නේ. අපි කරුණාකර ඉල්ලන්නේ මේ මරු කට වහලා දාන්න කියලයි.
ඒ වගේම තමයි මේ දුම්රිය නැවතුම් පොළේ කාමරයක් ප්‍රයෝජනයට අරගෙන තියෙන්නේ අබලි ද්‍රව්‍ය දමන්න. එහි දොර විවෘතව තියෙන්නේ සංචාරකයන්ට දුම්රිය පොළම එපා වන විදිහට. එය දුම්රිය පොළට අමුතුම අවලස්සනක් ගෙන ආපු තැනක් වෙලා.
එම්.එම්.සී.කමල් මහතා:-
දෙස්විදෙස් සංචාරකයන් බෙන්තොටට එන්නේ නගරයේ සිරි අසිරිය විඳගෙන නෙත්සිත් පිනව ගන්නයි. එහෙම බෙන්තොටට එන සංචාරකයා බෙන්තොට නෑවිදින තැනක් නැහැ. බෙන්තොට අලුත් මහ පාලම, පැරණි පාලම වැනි මෙකී නොකී හැමතැනම ඔවුන් යනවා. රැයක් දවාලක් ඔවුනට නැහැ. බෙන්තර පැරණි පාලම ළග මහා පාරේ නොවැසුණු ගැඹුරු වළ සංචාරකයන්ට තවත් මරු කපොල්ලක් වෙලා. මේ ස්ථානය නිර්මාණය කර තිබෙන්නේ බෙන්තර ගඟ බලන්න ගං ඉවුරේ ගහ කොළ නිදහසේ බලන්න පුළුවන් විදිහටයි. ඒ නිසා මෙතනට සංචාරකයන් එනවා.
ඒ වගේම තමයි මේ ස්ථානයට එන අයට වාඩිවීමට සිමෙන්තියෙන් නිර්මාණය කරන ලද පොඩි පොඩි බංකු තිබෙනවා. මේ වනවිට ඒ සියල්ලම විනාශ වෙලා. මෙතනට එන සමහර අය බීමතින් මේවා විනාශ කරනවා.
කොළඹ අන්තයේ සිට බෙන්තොට ආරම්භ වන ස්ථානීය බිම් කඩ බෙන්තොටටම දැකුම් කළු ස්ථානයක් ලෙස පෙන්වීමට මල් පෝච්චි ස්ථාපිත කරලා මල් පැළ සිටෙව්වා. අද එම පෝච්චිවල මල් පැළ පරයා වල් පැළ වැවිලා. ක්ලීනින් ශ්‍රී ලංකා යටතේ මේ ස්ථානය ශුද්ධ පවිත්‍ර කළේ නැත්නම් එම ස්ථානය අදටත් ජරාවෙලා.
බෙන්තොට සංචාරක තොරතුරු මධ්‍යස්ථාන ගොඩනැගිල්ල අද සුදු අලියෙක් වෙලා. එදා මේ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ කාමර සංචාරකයන්ට අවශ්‍ය බඩු භාණ්ඩවලින් පිරී තිබුණා. බතික් නිෂ්පාදන ,පන් නිෂ්පාදන අද ඒ එකක්වත් නැහැ. එම මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ කාමර සියල්ලම පාහේ වසා දමලා. අපරාදේ රජයට ආදායමක් ගන්න පුළුවන් තැනක්. දැන් එම කාමර සියල්ලම පාහේ පාලුවට යමින් තිබෙනවා.
කැළි කසළ එකතු කිරීමේ මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ නගර මධ්‍යයේ. මේ කැළි කසළ මධ්‍යස්ථානය නගරයටම මැසි මදුරුවෝ බෝ කරනවා. ඒ අවට සංචාරක ලැගුම්හල් තිබෙනවා. මේ කැළි කසළ මධ්‍යස්ථානයත් සමග දැන් ඒ අවට සංචාරකයන් ලැගුම් ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. ලැගුම් ගැනීමට පැමිණි සංචාරකයන් ඒ අවටින් යන්න ගියා. මේ කැළි කසළ එකතු කිරීමේ මධ්‍යස්ථානය සංචාරක පුරවරයක මධ්‍යයේ තිබීම සංචාරක ව්‍යාපාරයකට ගැළපෙන්නේ නැහැ. මේ වගේ මධ්‍යස්ථානයක් තියෙන්න ඕන නගරයේ අන්තිම කෙළවරක. සංචාරක පුරවරයක් මැද මේ වගේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම අනුමත කළ හැකි දෙයක් නෙමෙයි.
නන්දන පෙරේරා මහතා:
බෙන්තොටට අසිරියක් ගෙන ආ බෙන්තර ගඟ සංචාරකයන්ගේ පාරා- දීසයක්. අපි බෙන්තර ගඟ ආරක්ෂා කර ගන්න ඕන. එහෙත් බෙන්තර ගඟට ඇතැම් අය අපද්‍රව්‍ය දානවා. ගං ඉවුරුවල කඩොලාන කපා දරට ගන්නවා. සමහර අය ඉතා හොර රහසේම තමන්ගේ ආයතනවල, නිවෙස්වල වැසිකිළි කැසිකිළි වල අපද්‍රව්‍ය ගඟට හරවලා. මේක වැඩියෙන්ම වෙන්නේ ගං ඉවුරු පාදක කරගෙන ඉදිකරනු ලැබූ සංචාරක නිවාඩු නිකේතනවලින් සහ ගං ඉවුරු ආසන්නයේ ඉදිකර ඇති නිවාස වලින්. බෙන්තොට ගගේ මේ මහා පාරිසරික දූෂණය වළක්වන්න ආයතන මට්ටමින් අමාරුයි. මොකද මේක සිද්ධ වෙන්නේ ඉතාම හොර රහසේ ඉතාම සූක්ෂම විදිහට. ඒක නිසා නිලධාරීන්ට බැහැ ආයතනයක් ආයතනයක් ගානේ වැසිකිළි කැසිකිළි ගඟට හරවලාද කියලා පොළව හාරලා බලන්න. කරන්න තියෙන්නේ බෙන්තොට ගඟෙන් බෙන්තොටට සිදුවන පොදුවේ පරිසරයට සිදුවන අනූපමේය සේවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමයි.
බෙන්තර ගඟේ මේ මහා පරිසර දූෂණය බොහෝ විට සිද්ධ වෙන්නේ නගරය ආශ්‍රිතව නොවෙයි. නගරයෙන් ඔබ්බට වෙන්නයි. ඒ අය ඉවතලන අපද්‍රව්‍ය දාන්නේ බෙන්තර ගඟට. නගරයේ සංචාරක ව්‍යාපාරයේ නියුතු අය බෙන්තර ගඟ ආරක්ෂා කරන බවත් අපි දන්නවා. අපි මේ කතා කරන්නේ ඒ අය ගැන නෙමෙයි.
නව රජය සංචාරක ව්‍යාපාරය ප්‍රධාන ආදායමක් බවට පත් කර ගැනීමට තීරණය කොට තිබේ. ඒ සඳහා මේ වසරේ ඉලක්කය සංචාරකයන් ලක්ෂ තිහකි. මේ වෑයමේදී බෙන්තොට සංචාරක පුරවරයත් සංචාරකයන්ගෙන් පිරවීමට නම් සංචාරක කර්මාන්තයට හානිවන දෑ බෙන්තොට සංචාරක පුරවරයෙන් කඩිනමින්ම ඉවත් කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.