මේ වසරේදී රුපියල සියයට 3.4 කින් අවප්‍රමාණය වෙලා


(හර්ෂණ තුෂාර සිල්වා)
 
මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මැයි 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 3.4කින් අවප්‍රමාණය වී ඇත.
 
එම කාලයේදී ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 3.9කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 2.2කින් ද ජපානයේ යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 4.6කින් ද ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇත.
 
මාස එකහාමාරකට පසු ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලට ගෙවන අගය පසුගිය සිකුරාදා (15) 190න් මෙපිටට පැමිණියේ ය. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව සිකුරාදා (15) ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 184.89ක් ලෙසත් විකුණුම් මිල 189.99ක් ලෙසත් දැක්විණි.
 
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉකුත් අප්‍රේල් 8 වැනිදා 200 සීමාව ද ඉක්මවා ගියේ ය. ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොවපුරා මුදල් ඒකක රැසක් අවප්‍රමාණය විය. මෙලෙස ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල 190 සීමාවෙන් මෙපිටට පැමිණියේ මාර්තු 20 වැනිදායින් පසුව ය.
 
මේ අතර මාර්තු මස 31 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් වූ මෙරට නිල සංචිත ප්‍රමාණය අප්‍රේල් 30 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.1ක් දක්වා අඩු වී ඇත. මේ වසරේ පෙබරවාරි මාසය අවසානයේදී මෙරට දළ නිල සංචිත ය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් විය.