|
වසර පහකට පසු වාහන ආනයනයට අවසර ලැබෙන බව රජය නිකුත් කරන ලද ගැසට් නිවේදනයෙහි දැක්වේ. ඉකුත් ජනවාරි එකොළොස්වැනි දා නිකුත් කළ එම නිවේදනය පරිදි වසර දහයකට වඩා කල් නොඉක්මවන ලද වාහන ආනයනයට ඉඩ ලැබේ. පොදු මගී ප්‍රවාහනය, සංචාරක කටයුතු හා හදිසි අවශ්‍යතා මත පමණක් වාහන ආනයනයට දැනට ඉඩ දී තිබේ. වසර තුනකට වඩා පැරණි වාහන ගෙන්වන්නට ඉඩ නොදෙන බව කලින් ප්‍රකාශ වී තිබුණි. එහෙත් වාහන ආනයනකරුවන් සිය අභිමතය විවිධ ආකාරයට රජයට ඇඟවීය. දැනට දැක්වෙන පරිදි වසර දහයකට වඩා පැරැණි වාහන ආනයනය කළ නොහැක.
වාහනයේ ධාරිතාව අනුව බදු නියම කෙරෙන බව අනාවරණය වේ. ගෙන්වන වාහන මාස තුනක් ඇතුළත අලෙවි නොකළහොත් වටිනාකම අනුව සියයට තුනක බද්දක් ගෙවන්නට සිදුවන බව ද අභ්‍යන්තර වාර්තා දක්වයි. අනෙක් අතට වාහනවල අතිරේක උපාංග අනුව අයකරන බදු ප්‍රතිශත වෙනස් විය හැකි බව දැක්වේ. මෑත ඉතිහාසයේ දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වී සිටි ශ්‍රී ලංකාව තාවකාලික ස්ථාවරභාවයක් කරා පැමිණ තිබේ. විනිමය හිඟය හේතුකොටගෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට පවා බාධා පැන නැගිණ. මෙරට විදේශ වෙළෙඳාම බිඳ දමන්නට සමත්විය. පසුගිය මැතිවරණ වේදිකාවල දී නැවත වාහන ආනයනයට ඉඩ දෙන අතර, වාහන මිලදී ගැනීමට අපේක්ෂා කරන අයවලුන්ට පහසු මිලකට ලබාගත හැකි පරිදි අවකාශය සැලසෙන බව කියැවිණ.
වෙනත් රටක වසර දහයක් භාවිත කළ තාක්ෂණය
පුරසාරම් අනුව නම් ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් කිසිම රටකට නොදෙවෙනිය. අභිමානවත් නාමය කෙසේ නමුත්, ක්‍රියාවේදී එහි අනෙක් පැත්ත බව පෙනේ. පවසර දහයක් භාවිත කළ වාහනයක උපාංගයක් පවා නවීකරණයක් සේ සලකන්නට මෙරට රේගුව සමත් වනු ඇත. නිකුත් කළ නිවේදනයට අනුව නවීකරණ අංගවලට වෙනම බදු ප්‍රතිශත නියම කර තිබේ. ලෝකයේ අලුත් වාහනවල උපාංග තාක්ෂණයෙන් දියුණුය. මගී පහසුව සහ ආරක්ෂාව තර කෙරේ. වාහනය පදවන පුද්ගලයාට ඉක්මනින් හැසිරවියහැකි මෙවලම් අඩංගු කර තිබේ. තොරතුරු තාක්ෂණය මගින් සංවේදී පද්ධතිවලට යොමුකළ හැකි වන අතර, අවශ්‍යනම් මාර්ග සිතියම් අනුව මග හඳුනාගැනීමට ද, හදිසි අවස්ථාවක ආසන්නයේ ඇති පොලිස් ස්ථානයකට සංඥා යවන්නට ද හැකියාව තිබේ. මෙකී අංග මෙරටට වාහන ගෙන්වන පසු මැජික් බවට පත් විය හැකිය. උපාංග ඇත් ද යන්න පරීක්ෂා කරනු සඳහා නිලධාරීන් සෑහෙන කාලයක් ගත කරන්නට ඉඩ ඇති අතර අධික බදු පනවනු අඇති බවට සැක කළ හැකිය.
පසුගිය දින කිහිපය තුළ කන්ටේනර් නිෂ්කාෂණය සම්බන්ධයෙන් බරපතළ තත්වයක් නිර්මාණය කළේය. දින ගණන් මහ මග දිග පෝලිම්වල කන්ටේනර් තිබුණ අතර, එයට හේතුව නිශ්කාෂණ ප්‍රමාදය බව කියැවුණි. ජනාධිපති අනුර දිසානායක මහතාට පවා මැදිහත්වීමට සිදුවිය. මෙහි වරද නිලධාරීන්ට පටවන ලද කන්ටේනර් මෙහෙයුම්කරුවන් ගේ චෝදනා නොපිළිගත් නිලධාරීන්, නිවාඩු කාලයේදී ප්‍රශ්න ඇතිකරගෙන ඇති බව ප්‍රසිද්ධියේ දැක්වීය.
මෙවැනි පසුබිමක් තිබිය දී වාහන ලක්ෂ ගණනක් රටට ගෙන්වන විට රේගුවේ ඇති වියහැකි තදබදය ගැන අවධානයක් අවශ්‍යය. අලුත් වාහනවල උපාංග පිරික්සා ඒවාට නියම කරන බදු ප්‍රතිශත ගණන් බලා රජයට උපරිම ආදායමක් අරමුණ විය හැකිය. එහෙත් ආර්ථිකයේ නිර්මාණය විය හැකි කැළඹීම සුළු පටු නොවේ. වාහන ආනයන තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සමග රට තුළ ඇති කරන විභවය මෙම ස්වභාවය වටහා ගැනීමට හොඳ පදනමකි.
පොදු ප්‍රවාහනයේ දුබලතා ක්ලීන් ශ්‍රී ලංකා දක්වයි
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වාහන ගෙන්වන අවසරය නිකුත් කරන මෙන් අවස්ථා ගණනාවක දී නිර්දේශ කර තිබේ. එහි දී ලැබෙන ආදායම අය වැය හිඟය අඩු කරන සාධකයකි. විදේශ වෙළෙදාමේ දී දෙපැත්තක් ඇත. රටකින් භාණ්ඩ මිල දී නොගන්නා අවස්ථාවක එම රට ශ්‍රී ලංකාවෙන් මිල දී ගන්නා භාණ්ඩවලට ද බාධා කරයි. ඇමරිකාවේ හාලි ඩේවිඩ්සන් යතුරුපැදි ඉන්දියාව ගෙන්වීම එක් අවස්ථාවක දුර්මුඛ කරන ලද අතර එහිදී එවට සිය පළමු ධුර කාලය හොබවමින් සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් එහි වරදක් ඇති අතර, තමන් ද ඉන්දීය භාණ්ඩ ආනයනයේ දී බදු පනවන බව අනියමින් ඇඟවීය. පසුව නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා එම අධික බදු සීමා කරන පියවර ගත් බව මතක් කළ යුතුවේ. ශ්‍රී ලංකාවට ද විදේශ රටවල් සමග කරන ගනුදෙනුවල දී දෙපැත්ත සමබර කරන විලාසය ඉතා වැදගත්ය. ඉන්දියාව, ජපානය හෝ කොරියාව වැනි රටවලින් වාහන ආනයනය නතර කරන පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන භූ දේශපාලනය ද පසෙකට තැබිය නොහැකි අංශයකි.
කෙසේ වෙතත් වාහන ආනයනයට ඉඩ දෙන අවකාශය තුළ රජයට බදු පමණක් අපේක්ෂා කළ යුතු නැත. සාමාන්‍ය ජනතාව වාහනයක අයිතිකාරත්වයක් සඳහා බලපවත්වන බලවත් හැඟීම පසෙක තැබිය යුතු නැත. රට තුළ පොදු ප්‍රවාහනය ශක්ති නම් ජනතාව තමන්ගේ ගමන් බිමන් සඳහා පෞද්ගලික වාහන භාවික කරන්නේ නැත. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොදු ප්‍රවාහනයේ ඇතැම් අංශ වහාම නිවැරැදි කරන්නට සිදුවීමෙන් පවා පොදු ජනතාව එදිනෙදා මුහුණ දෙන අතවරය හඳුනාගත හැකිය. මෙවැනි පසුබිමක් තුළ තමන්ගේම වාහනයක් සඳහා අපේක්ෂා ගොඩනගාගැනීම අසාධාරණ තත්වයක් නොවේ.
මහජනතාවගේ බලාපොරොත්තුවලින් ආණ්ඩුවේ ආදායම තර කර ගැනීම වරදකි. අලුත් බදු අනුව වාහනයක් මෙරටට ගෙන්වූ පසු අය කරන බදු සියයට දෙසියයක සිට සියයට හාරසියය දක්වා වැඩිවිය හැකි බව පළවේ. සමහර අවස්ථාවල තවත් සියයට හය සියයක් දක්වා බදු ඉහළ යා හැකි බව ඇඟවේ. වාහනයක් නිෂ්පාදනය කරන රටකට වඩා ආදායමක් වාහනයක් ගෙන්වන අවස්ථාවක තවත් රටක් උපයා ගන්නා තැනට මෙරට රථ වාහන වෙළෙඳාම පත්ව ඇත.
බදු ගෙවන්නේ වාහන ආනයනයකරුවන් නොවේ
වාහනයක් ආනයනයේ දී අය කරන බදු කෙළින්ම එය මිල දී ගත හැකි පාර්ශ්වයට උහුලන්නට වන බව කල්පනා කරන්නේ නම් වරදකි. අවසානයේ දී එම පිරිවැය පාරිභෝගිකයන් අතට පත්වේ. පාසල් බස්රථයක, කුලී වාහනයක ගාස්තු ගෙවන්නේ එදිනෙදා ජීවන වියදම සමග ගැටෙන පොදු ජනතාව හැර අනෙකකු නොවේ. විශාල සමාගමකට ගෙන්වන අලුත් වාහන ඔවුන්ට පිරිවැයකි. එය පියැවීම සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩවල හෝ සේවාවල ගාස්තු වැඩි කෙරේ. ඒවා ගෙවන්නෝ පාරිභෝගිකයෝය. සහල් මිල ගැන චෝදනා කරන පාර්ශ්ව මෙම කර්මාන්තයෙහි නියැළී පිරිස් අලුත් සහල් ප්‍රවාහන ලොරි මිල දී ගතහොත් සහල් කිලෝවකට එකතු කරන මිල ගැන සැලකිල්ල යොමු කිරීම සුදුසුය. අතිවිශාල මිලක් ගෙවා වාහන මිල දී ගැනීමට නොහැකිවන අතර, අවසානයේ දී බැංකු හෝ ලීසිං සමාගම්වල සහාය ලබා ගැනේ. ඒවායේ පොලිය හා සේවා ගාස්තු ද ආර්ථිකයකට එකතුවන වියදමකි. මේවා සුළු කොට තැකීම සුදුසු නැත. ආර්ථිකය දියුණු කරන අතර, වාහන ගෙන්වීමේ දී අය කරන බදුවලින් මහජනතාවට සේවා සම්පාදනය කරන්නට අරමුණු කරන ආණ්ඩුවක් වශයෙන් මෙම පැති ගැන ගවේෂණය කළ යුතුවේ. අවසානයේ දී පාරිභෝගිකයන්ටම පවරන බදුවලින් ඔවුන්ටම සහන සැලකීම ක්‍රමය විය යුතු නැත.
වාහන ආනයනයේ දී අය කරන බදු දේශීය ආර්ථිකයට පමණක් විහිදෙන්නේ නැත. රටට අපනයන අවශ්‍යම කාලයකි. මෙරටින් යැවෙන දේ සඳහා ප්‍රවාහනය බලවත් සාධකයකි. අවුරුදු පහකට පසු අලුතින් ගන්නා වාහනවලට ගෙවන බදු අපනයනය ඉලක්ක කරගෙන නිපදවන ඇගලුම්, තේ හෝ වෙනත් නිපැයුමකට එකතුවුවහොත් අපනයන තරගකාරීත්වය ඇති කරයි. සංචාරක කර්මාන්තයට ඇති කරන බාධා ගැන ද සැලකිල්ල යොමු කළ යුතුවේ. වාර්තා දක්වන පරිදි සිනමන් එයාර් ඇතුළු අභ්‍යන්තර ගුවන් සේවා ඇත. කටුනායක සිට නුවර බලා ගුවනින් ගමන් කරන්නට වැය කරන මුදලට වඩා මිලක් මහා මාර්ගය ඔස්සේ ධාවනය කරන වාහනයකට අය කරන බව දැනටමත් නිරීක්ෂණය කළ හැකිය. ඉදිරියේ දී ප්‍රවාහන පිරිවැය තවත් වැඩිවුවහොත් මාලදිවයින හෝ තායිලන්තය සමග පිරිවැය ඉහළ සාචාරක ව්‍යාපාරයකට අවතීර්ණවීමට සිදුවේ.
රථ වාහන කර්මාන්තයේ අනෙක් පැතිකඩ
ශ්‍රී ලංකාවේ ධාවන තත්වයේ ඇති වාහන ප්‍රමාණය ලක්ෂ අසූ තුනක් බව දැක්වේ. 2019 වසරේ රජයේ ආදායම සලකා බලන පසු රුපියල් මිලියන 13,900 ක් රථ වාහන මගින් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය දක්වයි. සුපිරි වාහන ගෙන්වීම හේතු කොටගෙන බද්ද රුපියල් මිලියන 1,331 ක් වන අතර තිබෙන වාහන සඳහා මෝටර් රථවාහන පනතට අනුව ගෙවන බදු, බලපත්‍ර ගාස්තුව හා කාබන් බද්ද රු. මිලියන 6,730 කි. වාහන ගෙන්වීම නතර කිරීමෙන් පසු මෙම ආදායම රු. මිලියන පන් දහසකින් පමණ පහත වැටී ඇත. කර්මාන්තය ආශ්‍රිතව යැපෙන ශ්‍රම බලකාය ලක්ෂය ඉක්මවන බව දැක්වේ.
දැනට පවතින වාහන තොගය හා අලුතින් එකතුවන වාහන ප්‍රමාණය සලකා බලන පසු නගර තුළ දැවැන්ත තදබදයක් ඇති විය හැකිය. වාහන ගමන් කිරීමේ සාමාන්‍ය වේගය අඩු වූ පසු ඉන්ධන දහනය ඉහළ යයි. ශ්‍රී ලංකාව ආනයනය කරන ද්‍රව්‍යවලින් තුනෙන් එකක් ඉන්ධන වන අතර, එම ඉන්ධන තොගයෙන් සියයට හැත්තෑවක් ප්‍රවාහනය සඳහා බව අමතක කළ යුතු නැත. ආර්ථික බලපෑම කෙසේ වෙතත් තවත් වැඩිපුර ඉන්ධන ආනයනය කළහොත් රජයට ලැබෙන බදු තවත් වටයකින් ආදායමක් වනු ඇත. පෙට්‍රල් හා ඩීසල් සෑම ලීටරයකින්ම අය කරන බදු ප්‍රතිශතයක් තිබේ. ඒවා වරායට ගෙන්වීමේ සිට සිල්ලරට අලෙවි කිරීම දක්වා වට ගණනාවක දී විවිධ බදු ක්‍රමවලට යටත්වේ.
නූතන රථවාහන බොහොමයක් විදුලියෙන් ධාවනය වෙයි. ඒවායේ දියුණු තාක්ෂණික උපකරණ තිබේ. ඇමරිකාවේ හා චීනයේ රියැදුරුන් රහිත වාහන මගී ප්‍රවාහන ටැක්සිවලට භාවිත කෙරේ. ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදකයන් පැරැණි වාහන ආකෘති හා අමතර කොටස් නිෂ්පාදනය අත්හැර දමා ඇත. ශ්‍රී ලංකාව වාහන ගෙන්වන තීරණයට ඇතුළුවන විට මෙම පසුබිම අවබෝධ කරගෙන සිටිය යුතුය. වසර දහයක් පැරණි වාහන ගෙන්වූ පසු ඒවායේ අමතර කොටස් පවා හිඟ විය හැක. පැරණි ආකෘතියට වඩා අලුත් පැත්තක් දෙස අවධානය යොමු කළ වැදගත් වන්නේ එබැවිනි.
ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා අවසර නිකුත් කෙරෙන යෝජනාව තුළ ගැබ්ව ඇති වෙනස්ම පැති ගැඹුරෙන් අධ්‍ය්‍යනය කිරීම සුදුසුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හෝ ආණ්ඩුවේ සැලැස්මට අනුව වාහන ගෙන්වීමට අවසර නිකුත් කිරීම භාණ්ඩාගාරයට ධනය ලැබෙන ක්‍රමයක් පමණකි. ගෙන්වන පිරිවැය පමණක් නොව ඉන්ධන වියදම ද සලකා බැලීමෙන් පසු ආණ්ඩුව තරවන නමුත් ජන සමාජය තවත් වටයකින් දුප්පත් වේ.
සාරා කන්දෙගොඩ