රුපියල පහළට


හර්ෂණ තුෂාර සිල්වා

මේ වසරේ මුල් මාස හතරේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 5.8% කින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ලොව පුරා පැතිර ගොස් තිබෙන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් ලොව මුදල් ඒකක රැසක් මේ වනවිට අවප්‍රමාණය වී ඇති ආර්ථික රැසක් කඩා වැටී ඇත.

‘කොවිඩ්-19’ වසංගතයෙන් සිදු වූ බලපෑම නිසා මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමටත් පොළී අනුපාත අඩු කිරීමටත් ලොවපුරා මහ බැංකු පියවර ගත්තේය. ඇතැම් මහ බැංකු පොළී අනුපාත කපා හැරියේය.

කොරෝනා වසංගතයේ බලපෑම නිසා ඉතිහාසයේ පළමු වරට අප්‍රේල් 08 වැනිදා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂාව ශ්‍රී ලංකා රුපියලේ අගය 200 සීමාව ඉක්මවා ගියේය.

පෙබරවාරි මස 28 වැනිදා වනවිට මෙරට දළ නිල විදෙස් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.9ක් විය. මාර්තු 31 වැනිදා වනවිට එය ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් ලෙස ඇස්තමේන්තු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මේ අතර කොරෝනා වයිරසය නිසා රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් මාර්තු 20 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාත්මක නොවුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන වාර්තාවේ දැක්වේ.