ලංකාවේ උපායමාර්ගික විදෙස් ප්‍රතිපත්තිය


ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ තෙදින නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව ගියේය. එය පසුගියදා නවදිල්ලි නුවරට කළ සංචාරයෙන් පසු ඔහුගේ දෙවැනි ජාත්‍යන්තර සංචාරය වේ. දිසානායක මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමෙන් සති කිහිපයකට පසුව සිදුකරන මෙම සංචාරයෙන් පැහැදිලි වන්නේ කලාපීය බලවතුන් දෙදෙනා සමගම ශක්තිමත් සබඳතා වර්ධනය කිරීම සඳහා ඔහුගේ පරිපාලනයේ ඇති කැපවීමයි. 

තම ජනතාවට ක්ෂණික ප්‍රතිලාභ ලබාදීම සඳහා ක්‍රමයෙන් උත්සන්න වන පීඩනයට මුහුණ දෙන බැවින්, අනුර කුමාර දිසානායක ඔහුගේ චීන සංචාරයෙන් ඵලදායී සහයෝගීතාවක් සහ ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල බලාපොරොත්තු වන බවක් අපේක්ෂා කෙරේ. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේදී ඔහු ලබා දුන් පොරොන්දු බොහෝමයක් ඉටු නොවූ අතර, ඒවා මෙතෙක් වචනවලට පමණක් වී ඇත. අනුර කුමාර දිසානායකගේ ආණ්ඩුවට ඡන්දය දුන් බහුතරයකගේ අපේක්ෂාව වූයේ ඉහළ යන ජීවන වියදමට ආණ්ඩුව විසඳුම් ලබා දෙනු ඇති බවයි. කෙසේ වෙතත්, මෙම ඉහළ අපේක්ෂා තිබියදීත්, අඩු මිල ගණන් සහ අඩු ජීවන වියදම් වැනි ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ තවමත් සාක්ෂාත් කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නොමැත.

මෑතකදී නවදිල්ලි නුවරට කළ සංචාරයෙන් අනුර කුමාර දිසානායක අපේක්ෂිත ප්‍රතිඵල අත්කර නොගත් බව පෙනෙන්නට තිබේ. ඔහු බලාපොරොත්තු වන්නට ඇත්තේ ජාතික අයවැයට සහාය වීම සහ ජීවන වියදම සමනය කිරීම සඳහා ප්‍රදාන ලබා ගැනීම විය හැකිය. කෙසේ වෙතත්, අද්දැකීම් අඩු ජනාධිපතිවරයා පිළිගත යුතු කාරණයක් වන්නේ ස්ථිර ගිවිසුම් හෝ ගනුදෙනු නොමැතිව ප්‍රදාන පිරිනැමෙන්නේ කලාතුරකින් බවයි.

ශ්‍රී ලංකා ආණ්ඩු ඓතිහාසිකව, සහල්, ඉන්ධන, ඖෂධ සහ පොහොර වැනි නොමිලේ හෝ සහනාධාර සහිත භාණ්ඩ සැපයීම මත විශ්වාසය තබා ඇති අතර, එවැනි දීමනා අත්‍යවශ්‍ය යැයි සලකන සංස්කෘතියක් නිර්මාණය කර ඇත. මෙය ක්ෂණික සහන අපේක්ෂා කළ සමහර පුරවැසියන් අතර කලකිරීමක් ඇති වීමට හේතුවක් වී තිබේ.

සහල් සහ ලුණු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල අඛණ්ඩ හිඟය නිසා රජයට ලැබී ඇති පැහැදිලි පණිවිඩය වන්නේ දශක ගණනාවක් තිස්සේ ඔවුන් සිතූ ආකාරයට රටක් කළමනාකරණය කළ නොහැකි බවයි. මිල පාලනය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් විසඳුමක් නොවන අතර ඒ හරහා අපේක්ෂිත ප්‍රතිඵල අත්කර කරගැනීමට නොහැක. ක්ෂණික ගැටලු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, ආර්ථිකය ස්ථාවර කිරීම සහ මෙම අභියෝගවල මූල හේතු විසඳීම සඳහා ආණ්ඩුව වහාම කළ යුත්තේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛත්වය ලබාදීමයි. 

 

ආවරණය කළ යුතු මූලික වැඩ

මෙයින් පෙනී යන්නේ අත්දැකීම් අඩු රජයට, ආවරණය කිරීමට සැලකිය යුතු මූලික වැඩ ඇති බවයි. වත්මන් පරිපාලනය දිගුකාලීන උපායමාර්ගික දැක්මක් කෙරෙහි අවධානය යොමු නොකර අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සහනාධාර ලබා දීමේ සහ බදු කප්පාදු ක්‍රියාත්මක කිරීමේ මාවතේම ඉදිරියට ගියහොත්, ගෝඨාභය රාජපක්ෂ පරිපාලනයේ වැරදි නැවත කිරීමේ අවදානමක් ඇත. අතෘප්තිමත් ජනගහනයකට මුහුණ දෙන විට පාර්ලිමේන්තු බහුතරයක ශක්තිය මත පමණක් විශ්වාසය තැබීමෙන් ලැබෙන්නේ සුළු වටිනාකමක් පමණකි.

අනුර කුමාර දිසානායකගේ රජය පළමු දිනයේ සිටම ජීවන වියදම පාලනය කිරීමට සිය මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු විය. ඒ නිසා වත්මන් තත්වය පාලනය පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම් අඩුකම හෝ ඡන්ද ලබා ගැනීම සඳහා ලබා දුන් යථාර්ථවාදී නොවන පොරොන්දුවල ප්‍රතිඵලයක් විය හැකිය. මෙය මහජනතාව අතර තවදුරටත් කලකිරීමක් ඇතිවීමට හේතු වී තිබේ. කෙසේ වෙතත්, වැදගත් වන්නේ ඉවසිලිවන්තව සිටීම සහ මෙම අභියෝගවලට මුහුණ දීමට රජයට යම් කාලයක් ලබා දීමයි.

දැන් ඉතා වැදගත් වන්නේ රජය ජනතාව සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීම, දුෂ්කරතා පිළිගැනීම සහ තිරසාර අනාගතයක් සඳහා පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කිරීමයි. ඌනතා සමගින් රට පවත්වාගෙන යාම දිගුකාලීන උපාය මාර්ගයක් නොවන අතර, ශ්‍රී ලංකාවට අතීතයේ වැරැදි නැවත කිරීමට ඉඩ දිය නොහැක.

චීන සංචාරයේදී, අනුර කුමාර දිසානායකගේ අවධානය යොමුවනු ඇත්තේ ආර්ථික බිඳවැටීම හේතුවෙන් ඇනහිට ඇති යටිතල පහසුකම්වල ආයෝජන සුරක්ෂිත කිරීම මෙන්ම දශක ගණනාවක් තිස්සේ විවිධාංගීකරණය වී නොමැති නිෂ්පාදන අංශය කෙරෙහිය. මීට අමතරව, කෘෂිකර්මාන්තය, ජලජීවී වගාව සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSMEs) වැනි ක්ෂේත්‍රවල චීනය දක්වන විශේෂඥතාව ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකිය.

කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ සංචාරක ව්‍යාපාරය ඇතුළු දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා චීනයේ තාක්ෂණය හා නවෝත්පාදන දැනුම උපයෝගී කර ගැනීම ද රජයේ තවත් අරමුණකි. නිවැරැදි උපාය මාර්ග ක්‍රියාත්මක වීමත් සමග, තීරයක් සහ මාවතක් මුලපිරීම (BRI) ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ මූලික ගලක් ලෙස දිගටම පැවතිය හැකි අතර, එමගින් රටට එහි මෑත කාලීන අභියෝග ජය ගැනීමට සහ සමෘද්ධිමත් අනාගතයක් සඳහා අඩිතාලම දැමීමට උපකාරී වනු ඇත.

කෘෂිකාර්මික අපනයන වැඩි කිරීමට සැලකිය යුතු විභවයක් ශ්‍රී ලංකාවට ඇත. එහෙත් මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා කෘෂිකාර්මික තාක්ෂණයේ දියුණුවක් අවශ්‍ය වන අතර, මෙම විභවය සාක්ෂාත් කර ගැනීම සහ ආර්ථික වර්ධනය මෙහෙයවීම සඳහා මෙම අංශයේදී චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකිය.

සාර්ථක චීන ආයෝජන සම්බන්ධයෙන් මෑත කාලීන කැපී පෙනෙන උදාහරණයක් වන්නේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කාර්මික උද්‍යානයේ Comfort Mattress Lanka සිදුකළ ඩොලර් මිලියන 25 ක ආයෝජනයයි. ස්පොන්ජ් මෙට්ට නිෂ්පාදනය සහ සැකසීම සඳහාම වෙන්වූ වර්ග මීටර් 62,000 ක කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. මීට අමතරව, හම්බන්තොට ජාත්‍යන්තර වරායේ දොඹකර තාක්ෂණය සඳහා ඩොලර් මිලියන 41 ක ආයෝජනයක් සමගින් වරායේ ධාරිතාව අඩි විස්සක සමාන ඒකක (TEU) මිලියන 1 දක්වා හැසිරවිය හැකි ආකාරයෙන් පුළුල් කරනු ඇත. මෙම ආයෝජන සැලකිය යුතු එකක් වන අතර, ශ්‍රී ලංකාව වඩාත් තිරසාර කිරීමට සහ එහි අයවැය හිඟය අඩු කිරීමට උපකාරී වන පරිදි අනුර කුමාර දිසානායක තවදුරටත් ඒ සමාන ආයෝජන අපේක්ෂා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

2025 වසර වෙනුවෙන් පාසල් නිල ඇඳුම් සැපයීම සඳහා චීනයෙන් රෙදි මීටර් මිලියන 11.28 ක ප්‍රදානයක් ද ශ්‍රී ලංකාවට ලැබී තිබේ. තවද, චීන මූල්‍ය ආධාර යටතේ අරමුදල් සපයන රුපියල් බිලියන 22 ක නිවාස ව්‍යාපෘතියක පළමු අදියර මේ වන විටත් ආරම්භ කර ඇත.

2013 වසරේදී චීනයේ “එක් තීරයක්, එක් මාවතක් මුලපිරීම” Belt and Road Initiative - BRI දියත් කරන විට, ශ්‍රී ලංකාව ඊට විවෘතව සහාය දුන් පළමු රටවලින් එකකි. මෙම හවුල්කාරිත්වය හරහා දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය, විදේශ ආයෝජන සහ රැකියා උත්පාදනයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි සන්ධිස්ථාන ව්‍යාපෘති, රට තුළ “එක් තීරයක්, එක් මාවතක් මුලපිරීම” පරිවර්තනීය බලපෑම පිළිබඳ ප්‍රධාන උදාහරණ වේ.

තිරසාර සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කිරීම.

නව රජය, ශ්‍රී ලංකාවේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ සංවර්ධනය තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාව හඳුනා ගනිමින්, “එක් තීරයක්, එක් මාවතක් මුලපිරීම” රාමුව යටතේ චීනය සමග ඇති හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට කැපවී සිටියි. තිරසාර සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කිරීමෙන්, විශේෂයෙන් ප්‍රවාහනය, බලශක්තිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි අංශවල ජාතියේ දිගුකාලීන ඉලක්ක සමඟ සමපාත වන “එක් තීරයක්, එක් මාවතක් මුලපිරීම” ආශ්‍රිත ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම රජය අරමුණු කරයි.

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව චීනය ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකාව සමඟ ඇති ඉහළ මට්ටමේ අන්තර්ක්‍රියාවල ගම්‍යතාව පවත්වා ගැනීමට, සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට සහ ජාතීන් දෙකටම වඩාත් ප්‍රත්‍යක්ෂ ප්‍රතිලාභ ලබා දීම සඳහා විවිධ ක්ෂේත්‍රවල හුවමාරුව සහ සහයෝගීතාව පුළුල් කිරීමට චීනය සූදානම්ය.

කිසිදු ජාතියකට විශේෂ සැලකිල්ලක් ලබා නොදෙන බව නැවත තහවුරු කරමින්, සියලුම රටවල් සමග සමබර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ අරමුණ බව රජය අවධාරණය කර ඇත. අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ චීනය සහ ඉන්දියාව යන රටවල් දෙකම සමග ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකි නම්, සමබර සබඳතා පවත්වා ගැනීමේ ක්‍රීඩාව වෙනස් කරන්නකු විය හැකිය.

අද පවතින සංකීර්ණ භූ දේශපාලනික පරිසරය තුළ ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සඳහා මෙම ප්‍රවේශය ඉතා වැදගත් වේ. කෙසේ වෙතත්, ප්‍රශ්නය තවමත් පවතී. ඒ මෙම අත්දැකීම් අඩු රජයට සහ එහි ජනාධිපතිවරයාට බලවත් ජාතීන්ගේ පීඩනයට කොතරම් දුරට ඔරොත්තු දිය හැකිද? යන්නයි. 

මෙම අභියෝගාත්මක භූ දේශපාලනික වාතාවරණය තුළ, ශ්‍රී ලංකාව ගෝලීය බලවතුන් සමග තිරසාර සංවර්ධනයක් සහ සමබර සබඳතා පවත්වා ගනිමින් තම ස්වෛරීභාවය පරෙස්සමෙන් ආරක්ෂා කර ගත යුතුය. ශ්‍රී ලංකාවේ අතීත ක්‍රියාමාර්ග එවැනි සමතුලිතතාවක් පවත්වා ගැනීමේ අභියෝග ඉස්මතු කරයි. නිදසුනක් වශයෙන්, තෙවැනි පාර්ශවයක් විසින් මතු කරන ලද “ආරක්ෂක ගැටලු” හේතුවෙන් යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි දූපත් තුනක් සඳහා සැලසුම් කර ඇති දෙමුහුන් බලශක්ති ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කිරීම වැනි මතභේදාත්මක තීරණ රජය මීට පෙර ගෙන තිබුණි. ඒ හා සමානව, චීන පර්ෙ ය්ෂණ යාත්‍රාවලට ශ්‍රී ලංකා වරායවලට ඇතුළුවීම තහනම් කර ඇති බවක්ද වාර්තා වේ.

ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට සහ අනුබද්ධ නව සංවර්ධන බැංකුවට (NDB) සම්බන්ධ වීමට අදහස් කරන බව රජය මෑතකදී නිවේදනය කළේය. මේවා පොරොන්දු වූ වර්ධන වන නමුත්, එවැනි තීරණ රටට ප්‍රයෝජනවත් නොවිය හැකි වුවද, ඔවුන්ගේ අවශ්‍යතා සමග පෙළගැස්වීමට ශ්‍රී ලංකාව තල්ලු කරන එක්සත් ජනපදය සහ එහි බටහිර මිත්‍ර රටවලින් සැලකිය යුතු පීඩනයක් එල්ල වීමට ඉඩ තිබේ.

උදාහරණයක් ලෙස, පසුගිය වසරේ, ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපොළ කළමනාකරණය කරන රුසියානු සමාගමක් සමග ඒකාබද්ධ ගිවිසුමක කොටසක් වූ ඉන්දියානු සමාගමකට ඇමරිකා එක්සත් ජනපදය විසින් සම්බාධක පැනවීය. මෑතකදී, කොළඹ වරායේ කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ඉදිකිරීම සඳහා එක්සත් ජනපද රජයේ අනුග්‍රහය ලත් ණයක් සඳහා වූ ඉල්ලීම ඉන්දියාවේ අදානි සමූහය විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී. ඒ අදානි ග්‍රීන් එනර්ජි හි අනුකූලතා පිළිවෙත් සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් චෝදනා එල්ල වීමෙන් පසුවය. එම චෝදනා “පදනම් විරහිත” ලෙස පවසමින් අදානි සමූහය ඒවා ප්‍රතික්ෂේප කර ඇත. වාසනාවකට මෙන්, අභ්‍යන්තර මූල්‍යකරණය භාවිත කරමින් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට අදානි සමූහය තීරණය කළේය.

චීන-ඉන්දියානු සබඳතාවල මෑත කාලීන ධනාත්මක වර්ධනයන් ශ්‍රී ලංකාව වැනි කුඩා ගෝලීය දකුණු රටවලට විශේෂයෙන් වැදගත් වේ. ශ්‍රී ලංකාවට චීනය සහ ඉන්දියාව යන දෙකම සමග ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කළ හැකි නම්, සමබර සබඳතා පවත්වා ගැනීම ක්‍රීඩාව වෙනස් කරන්නකු විය හැකිය. ඒ සමඟම, බටහිර රටවල සැඟවුණු න්‍යාය පත්‍ර හරහා ගමන් කිරීමේදී, ශ්‍රී ලංකාවට සහාය වීමේ ඇති වැදගත්කම චීනය සහ ඉන්දියාව යන දෙකම හඳුනා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ සහයෝගය ගෝලීය දකුණු ජාතීන් අතර එහි නායකත්ව භූමිකාව ශක්තිමත් කිරීමක් වනු ඇත.

චීනයට සහ ඉන්දියාවට එකට එක්ව ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීමට උදව් කළ හැකිය. චීන-ඉන්දියානු සබඳතා වැඩිදියුණු කිරීම එම ජාතීන් දෙකට පමණක් නොව පුළුල් වූ BRICS සාමාජිකයන්ට සහ සමස්තයක් ලෙස ගෝලීය දකුණට ද ජයග්‍රහණයකි.
කෙසේ වෙතත්, මෙම අද්දැකීම් අඩු රජය සැබවින්ම මෙම කාර්යය සඳහා සුදුසුදැයි අප බලා සිටිය යුතුය. ජීවන වියදම අඩු කිරීමට අපොහොසත් වීම දැනටමත් ජනප්‍රියත්වය පහළ බැසීමට හේතු වෙමින් පවතින අතර, මෙම ප්‍රවණතාව රජයේ කීර්තිය තවදුරටත් අඩු කරනු ඇත.


“ඩේලි එෆ්ටි” පුවත්පතේ පළවූ ලිපිය 
සිංහලට පරිවර්තනය කළේ 
අනිල් කරුණාරත්න