(කාංචන කුමාර ආරියදාස)
වසර ගණනාවකට පසු දේශීය ලොකු ලූනු ගොවියාට තම අස්වනු සඳහා කිලෝවකට රුපියල් 300 ක මිලක් ලැබෙන බව ගොවීහු සතුටින් පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (30) දේශීය ලොකු ලූනු කිලෝවක ගැණුම් මිල රුපියල් 250 සිට 300 දක්වා වූ මිල ගණනක් පැවති බව වෙළෙන්දෝ කියති.
ඉන්දියාවෙන් මෙරටට ලොකු ලූනූ ගෙන්වීම නැවැත්වීමත් සමග විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූනු ප්‍රමාණය ද අවම වීම, රජය විසින් ආනයනික ලොකු ලූනු වලට බදු මුදල් පැනවීම, වගා කිරීම අඩුවීම ආදී කරුණු හේතුවෙන් දේශීය ලොකු ලූනු සඳහා ඉහළ මිලක් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.
එමෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති යු.බී. ඒකනායක මහතා සහ ව්‍යාපාරිකයන් පිරිසක් කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික අමාත්‍ය පී හැරිසන් මහතා හමුවී දේශීය ලොකු ලූනු වගාව ආරම්භ වී මසක් ඇතුළත විදේශීය ලොකු ලූනූ ගෙන්වීම සඳහා බදු පනවන ලෙස සිදු කළ ඉල්ලීමකින් පසු බදු මුදල් පැනවීමත් සමඟ මිල ඉහළ යෑම විශේෂත්වයක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (30) උදෑසන ගොවීන් තම දේශීය ලොකු ලූනු අස්වැන්න සිනහමුසු මුහුණින් රැගෙන එන අයුරු දැක ගැනීමට හැකි විය.
වෙළඳපොළට පැමිණි ගොවීන් කියා සිටියේ වසර ගණනාවක සිට දේශීය ලොකු ලූනු ගොවියා දැඩි ලෙස පාඩුවට පත්වෙමින් ගොවිතැන සිදුකළ බවත් ඉතා සීමිත ගොවිතැන් ප්‍රමාණයක් මෙවර වගා කිරීම නිසා සාර්ථක මිලක් ලැබුණු බවයි.
වගා කළ අස්වැන්න රැගෙන ආ ගොවීන් වෙළෙඳපොළ තුළ දැඩි ප්‍රබෝධයකින් සිටින බවත් ඇතැම් වෙළෙන්දෝ දේශීය ලොකු ලූනු රැගෙන එන කුඩා ටැක්ටර් රථ ත්‍රිරෝද රථ පැමිණෙද්දී වල්ලාපට්ට ලොරි එනවා යැයි පැවසීම විශේෂත්වයකි.