වල් වැදුණු ඇලයාපත්තුවේ උළු කම්හල


වල්වැදි විනාශයට පත් වෙමින් තිබෙන ඇලයාපත්තුව උළු කම්හල


අනුරාධපුර-දයාරත්න ඇඹෝගම


  • කෝටි ගණනක යන්ත්‍රෝපකරණ දිරායමින් පවතිනවා
  • දහසකට පමණ රැකියා අහිමිවෙලා

හිටපු විකුණුම් නිලධාරි ජේ.කේ. මුණසිංහ
විනාශ වෙමින් තිබෙන යන්ත්‍රෝපකරණ

දීර්ඝ කාලයක් තිස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයට මෙන්ම දිවයිනේ පළාත් රැසකට ප්‍රමිතියෙන් යුක්ත උළු හා ගඩොල් බේදා හරින ලද අනුරාධපුර, ඇලයාපත්තුවේ පිහිටි උළු කර්මාන්ත ශාලාව රුපියල් කෝටි ගාණනක් වටිනා යන්ත්‍රෝපකරණ සමග වල්වැදි විනාශයට ලක්ව තිබේ.
අක්කර තිහකට අධික භුමි භාගයකින් සමන්විත මෙම උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව ගම් දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ 1964 වසරේදී ආරම්භ කර තිබුණි.
උළු හා ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඇලයාපත්තුව ප්‍රදේශයේ බහුල වශයෙන් තිබීම හේතුවෙන් මෙම කර්මාන්ත ශාලාව එම ප්‍රදේශයේ ඉදිකිරීමට කටයුතු කර ඇත.
ඇලයාපත්තුව ප්‍රදේශයේ පිහිටි වැව්වල මැටි හා එම ප්‍රදේශයේ පිහිටි කැලෑවල දර බහුලව තිබීම ද මීට හේතු විය.
මෙම අමුද්‍රව්‍ය කර්මාන්ත ශලාවට සැපයීමෙන් ඇලයාපත්තුව ප්‍රදේශයේ දහසකට අධික පිරිසකට රැකියා අවස්ථා උදාවීමෙන් ඔවුන්ගේ අතමිට ද සරුවිය. එම කර්මාන්ත ශාලාව අවට ආපණ ශාලා මෙන්ම සිල්ලර කඩ ද රැසක් විවෘත විය.
සේවකයන් 150 කට අධික පිරිසක් සේවය කළ මෙම කර්මාන්ත ශාලාවෙන් දිනකට උළුකැට එකළොස් දහස් දෙසීයක් (11,200)ක්ද ගඩොල් දාසය දහස් අටසීයක් (16,800) නිෂ්පාදනය කෙරුණි.
එහෙත් නිසි කළමනාකරණයක් නොවීමත් හේතු කරගෙන ලංකා පිඟන් සංස්ථාව යටතේ පාලනය වෙමින් තිබූ මෙම උළු කර්මාන්ත ශාලාව 2011 වසරේදී වසා දැමුණි.
මෙරට උළු කර්මාන්තයට හොඳ කලක් උදා වූයේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ යුගයේ “ගම්උදාව” වැඩසටහන මගිනි. එවකට ගම්උදාවේ නිවාස මෙන්ම රජයේ පාසල් ගොඩනැගිලි, ආගමික සිද්ධස්ථාන, රෝහල් ආදියට උළු පමණක් සෙවිලි කළ යුතු බවට ප්‍රේමදාස ජනාධිපතිවරයා නියම කර තිබුණි.
එහෙත් මේ වන විට “ගම්උදාව” නිවාසවලට මෙන්ම රජයේ බහුතරයක් ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් හා විකල්ප වහළ සෙවිළි කිරීම් ද ඇලයාපත්තුව උළු කම්හල වැසීයාමට තවත් එක් හේතුවක්ව තිබුණි.
ඇලයාපත්තුව උළු කම්හලේ විකුණුම් නිලධාරියකු ලෙස දීර්ඝ කාලයක් සේවයේ නිරතව සිට විශ්‍රාම ලබා සිටින අනුරාධපුරයේ පදිංචි ජේ.කේ. මුණසිංහ මහතා ඇලයාපත්තුව උළු කම්හලට අත් වූ ඉරණම සමබන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“හිටපු අමාත්‍යවරයකු වන, මෛත්‍රීපාල සේනානායක මහතාගේ සංකල්පයකට අනුව ගම් දියුණු කිරීමේ වැඩසටහන් යටතේ තමයි මෙම උළු කර්මාන්ත ශාලාව ඇලයාපත්තුවේ 1964 වසරේ ද ආරම්භ කළේ, ඇලයාපත්තුව ප්‍රදේශයේ වැව්වල උළු හා ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු තත්වයේ මැටි තිබුණා. ඒ වාගේම කැලැවල දරත් තිබුණා. අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මුදල් ලබාදී ගස් ලබාගෙන ප්‍රදේශයේ පදිංචිකරුවන්ට කියලා දර කපා ගත්තා. අනෙකුත් අමුද්‍රව්‍යත් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තිබුණා.”
“මුල් කාලයේ ඇලයාපත්තුව කර්මාන්ත ශාලාවෙන් නිපදවූ මේ උළුවලටත් ගඩොල්වලටත් හොඳ ඉල්ලු‍මක් තිබුණා. නිවාස සංවර්ධන අධිකාරියේ ගම්උදාව වැඩසටහන යටතේ ඉදිකළ නිවාසවලට අපෙන් තමයි උළු ලබා ගත්තේ. ඒ කාලේ මම වවුනියාව ප්‍රදේශයේ හදපු උදාගම් ගෙවල්වලට උළුකැට දාහ (1000) බැගින් මම ඒ ප්‍රදේශයට ගිහින් දුන්නා. අපට ඒ සඳහා මුදල් නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දුන්නා. ඒ වගේම අනුරාධපුර නගරයේත් අපේ ප්‍රදර්ශනාගාරයක් තිබුණා. එහිදී උළු ගඩොල් වික්කා. මිරිසවැටිය චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය ගඩොල් කපලා දුන්නෙත් අපි තමයි.”
“කාලෙකට පස්සේ මිනිස්සු බොහෝ දෙනෙක් උළු වෙනුවට ඇස්බැස්ටස් වහන්න පටන් ගත්තාම අපේ උළු අලෙවිය පහත වැටුණා. උළු තොග ඉතිරි වුණා. පසුව කාලයාගේ ඇවෑමෙන් අමුද්‍රව්‍ය හිඟවීමත්, අලෙවිය පහළ වැටීමත් නිසා 2011 වසරේ දී ෆැක්ටරිය වහලා දැම්මා. ඒ වේලාවෙත් සේවකයන් එකසිය පනහක් වගේ වැඩ කළා. ඔවුන්ට වන්දි මුදල් ලබාදීලා සේවයෙන් ඉවත් කළා.” පසුව යුද හමුදාව විසින් සඳහිරු සෑය හදන්න ගඩොල් හා උළු නිෂ්පාදනය කිරීම මෙහි දී ආරම්භ කළ බව ද මුණසිංහ මහතා පැවසීය.
මේවන විට ඇලයාපත්තුව උළු කම්හල වැසී වසර ගණනාවක්ව ගතව තිබේ. උළු හා ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකරන ලද ගොඩනැගිලි කැලෑවෙන් යටවී විනාශයට පත්ව තිබේ. ස්ථාපිත කර තිබෙන රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍රෝපකරණ ද මළකඩ කමින් දිරාපත් වෙමින් තිබේ.
උළු කර්මාන්ත ශාලාව වැසී යාමත් සමග එම කර්මාන්ත ශාලාවට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයු ප්‍රදේශයේ දහසකට ආසන්න පිරිසක් ද යන එන මං නොමැතිව සිටිති. අක්කර තිහකට අධික ප්‍රමාණයක පිහිටි මෙම කර්මාන්ත ශාලාව විනාශ වී යාමට ඊට නොදී තමන්ට ද යහපතක් වන ආකාරයට වෙනත් කර්මාන්ත ශාලාවක් හෝ ඉදිකර මෙම ස්ථානය සංවර්ධනය කර දෙන ලෙසට ප්‍රදේශවාසීහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.