- ස්වයං රැකියාවට වෙළෙඳාම් කළ සියලු දෙනා මහපාරට වැටිලා
- නිලධාරීන් හරියට වැඩ කළා නම් මෙහෙම වෙන්නේ නෑ
- මේ මධ්‍යස්ථානය වැසී නොගියා නම් මුළු ඉඳුරුවටම සම්පතක්
- මෙතැනින් බඩු ගත්ත විදෙස් සංචාරකයන් අදටත් මෙතෙන්ට අැවිත් හැරී යනවා
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ බෙන්තොට ජේ.ඉදුරුවගේ
ඉඳුරුව මහ ඉඳුරුව ඉදිකරන ලද බෙන්තොට තුරු සෙවණ අලෙවි ප්‍රවර්ධන මධයස්ථානය කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම හේතුවෙන් කැලෑවකින් වැසී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු කියති.
එම මධ්‍යස්ථානය මහා රුක්ෂ සෙවණින් යුත් කැලෑවකින් වැසී ගොස් ඇත්තේ එහි වෙළෙදාම් කළ ස්වයං රැකියාලාභීන් සියල්ලම මහ පාරට ඇද දමමිනි. ඔවුනට යන එන මං නැති කරමිනි. ඔවුන්ගෙන් යැපුණු සිය ගණනක් අනාථ කරමිනි.
ඒ මෙහි ස්වයං රැකියාව කළවුන්ගේ ක්‍රියාකලාපය නිසා නොව අදාළ බලධාරීන්ගේ ඔලමොට්ටලකම් නිසාවෙනි. අදාළ බලධාරීන් වගකීම් පැහැර හැරීමෙන් මේ තත්වය උද්ගතව ඇති බව පැහැදිලිය. ඔවුන් නිසියාකාරව මේ මධයස්ථානය පිළිබඳව සොයා බැලුවේනම් ක්‍රියා කළේනම් අදටත් මහ ඉඳුරුව පිහිටි බෙන්තොට තුරු සෙවණ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානයෙන් සේවය ලබා ගැනීමට සතර දිසාවෙන් පැමිණෙන පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී යනු නොඅනුමානය. එය සක්සුදක් සේ පැහැදිලිය.
මීට විසිදෙවසරකට පෙර මේ මධ්‍යස්ථානයේ තිබූ තත්වය අනුව මෙය වැසී නොගියේ නම් අද එය මුළු ඉඳුරුවටම ඉඳුරාම බලවත් සම්පතක් වනු නොඅනුමානය.
2003 මාර්තු 18 වැනිදා ඉඳුරුව තුරු සෙවණ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය විවෘත කෙරුණේ එවක ආර්ථිකය පිළිබද කැබිනට් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. එවක සිටි ගාලු දිසා පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීම මතය.මෙසේ විවෘත කෙරුණු මේ තුරු සෙවණ මධ්‍යස්ථානය කිසිදු කරදරයකින් තොරව පාරිභෝගිකයන්ගේ කරමතින් දෑඅවුරුද්දක් යෙහෙන් වැජඹුණේය. එසේ යෙහෙන් වැජඹුණ මේ මධයස්ථානයට දෑ අවුරුද්දකින් පසූ වැසී යාමට පාර කැපූවෝ කවරහුද? මේ ඒ ගැන මේ අලෙවි මධයස්ථානයේ ස්වයං රැකියා කළ හා ප්‍රදේශවාසීන් කළ හෙළි දරව්වය
එම්.එම්.සී.කමල් මහතා:-
මේ තුරු සෙවණ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ කඩ කාමර තිහක් පමණ තිබුණා. එක කඩ කාමරයකට එදා නොගෙවන ලද තැන්පතු වශයෙන් රුපියල් 10000 බැගින් අපි ඇප බැන්දා. මම ස්වයං රැකියාවක් ලෙස එහි කළේ ගල්වල අකුරු කෙටිමයි. හොඳ ආදායමක් තිබුණා. ඒ තුළින් අපි දරුවන්ට හොඳට කැව්ව පෙව්වා ඉගැන්නුවා. අනෙක් වෙළෙඳ කුටිවලත් එහේමයි. හොඳට සෙනග ආවා. බස් පිටින් ආවා. ආපු සෙනග අතකට පිරෙන්න අපේ ස්වයං රැකියා නිෂ්පාදන අරගෙන ගියා. ඒ වගේම මේ වෙළෙද කුටි කිහිපයක පවත්වාගෙන ගිය දේශීය කෑම වර්ගවලට හොඳ ඉල්ලුමක් තිබුණා. මෙහේ ආපු සෙනග එම වෙළෙඳ කුටිවල ඒ අවස්ථාවේදීම නිෂ්පාදනය කෙරුණු දේශීය ආහාරපාන භුක්ති විඳලා සතුටින් ගියා.
මේ ආකාරයට දෑඅවුරුද්දක්ම ඉතාම හොඳට මේ මධ්‍යස්ථානය පවත්වාගෙන ගියා. මේ නිසාම ලංකාව පුරාම මහ ඉඳුරුව ජනප්‍රිය වුණා. මේ මධ්‍යස්ථානයේ සේවය ගැනීමට මෙරට අය පමණක් නොව පිටරැටියන් ද ආවා ගියා. ඒ නිසා මේ මධ්‍යස්ථානය ලංකාවට ඩොලර් අද්දන ඉඳුරුවේ තැනක් බවට පත්වුණා. රැයක් දවාලක් බැලුවේ නැහැ. අපි ළගට ආ සියලු දෙනාටම අපේ සේවය නොපිරිහෙළා ලබලා දුන්නා. ඒ විතරක්ම නෙමෙයි අපි අපේ ශ්‍රමයට සරිලන ගාස්තුත් ගත්තා. එතනදී අපිත් සතුටු වුණා. පාරිභෝගිකයනුත් සතුටු වුණා.
මේ තරම් සාර්ථකව ක්‍රියාත්මක කෙරුණු මේ තුරු සෙවණ අලෙවි ප්‍රවර්ධන මධ්‍යස්ථානය හදිසියේ වැසුණේ වෙළෙඳසල්වල හිටිය අපේ වරදින් නම් නොවේ. බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එවකට සිටි අදාළ බලධාරීන් නිසයි. අප ඉතා සාර්ථක අයුරින් කරන් ආ ස්වයං රැකියා ඔවුන් නිසා නැතිවුණා. ඒ සමගම රජයට ලැබුණු හොඳ ආදායමකුත් නැතිවුණා. මේ තත්වයට හේතු කිහිපයක්ම තිබුණා.
එම්.එස්. ප්‍රේමරත්න මහතා:-
කියන්න කණගාටුයි මේ මධ්‍යස්ථානයේ අපි හොඳට වෙළහෙළදාම් කළා. කාලාබීලා දරුවන් සමග සංතෝෂයෙන් ජීවත්වුණා. මේ මධ්‍යස්ථානයේ වෙළෙඳ කුටි දුන්නේ ඉඳුරුව පහලගම්හය ප්‍රදේශයේ අයට පමණයි. මේ හැම වෙළෙඳ කුටියකටම විදුලිය ලබා දුන්නේ එකම මීටරයකින් වෙළෙඳ කුටියෙන් කුටියට නෙමෙයි. අපෙන් අය කළ වෙළෙඳ කුටි බදු මුදලින් විදුලි බිල ගෙවනවයි කිව්වා. අපෙන් බදු මුදල් එකතු කළේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. වසරක් පමණ ගෙවී ගියා විදුලි බල මණ්ඩලයෙන් ඇවිල්ලා කිව්වා රුපියල් ලක්ෂ ගණනක හිඟ විදුලි බිලක් තියෙනවා ඒක නොගෙව්වොත් විදුලිය කපනවා කියලා. අපි විදුලි බල මණ්ඩලයට කිව්වා අපි විදුලි බිලට සල්ලි දීලයි කියලා තියෙන්නේ. අපි මේ ගැන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් කිව්වා. එහෙත් හිඟ විදුලි බිල ගෙව්වේ නැහැ. විදුලිය කැපුණා. කඩ වැහුණා. විදුලිය නැතිව කොහොමද වෙළෙඳාමක් කරන්නේ. අපිට රුපියල් ලක්ෂ ගණනක හිඟ විදුලි බිලක් ගෙවන්න වත් කමක් තිබුණේ නැහැ.
මේ විදුලිය කැපීම නිසා මෙහි වෙළෙඳාම් කළ අපි සියලු දෙනාටම පාරට බහින්න වුණා. වෙළෙඳ කුටි කැලෑවට යට වෙලා. සමහර වෙළෙඳ කුටි වල ඇතැම් කොටස් සමහරු ගලවා ගෙන ගිහින්. ඒ එක්කම ලක්ෂ ගණන් වියදම් කරපු වෙළෙඳ කුටි විනාශ වෙලා ගියා. අපි අනාථ වුණා.
යූ.කේ.දිල්හානි මහත්මිය:-
අනේ මේ අපරාධය කළ අය පිළිබඳව දෙයියෝ බලා ගන්න ඕන. මමත් මේ තුරු සෙවණ මධ්‍යස්ථානයේ ස්වයං රැකියාවක් කළා. හොඳ ආදායමක් තිබුණා. සෙනග මේ මධ්‍යස්ථානයට ආවා ගියා. අපිට වාසි වුණා. රටක් දියුණු කරන්න පුළුවන් මේ වගේ ව්‍යාපෘති ආරම්භ කරන්න ඕන කාලෙක ආරම්භ කරපු ව්‍යාපෘතිත් වහන තැනට කටයුතු කරන බලධාරීන් ඉන්න රටක් දියුණු කරන්නේ කොහොමද. මේ ව්‍යාපෘතියෙන් මුළු ඉඳුරුවම බැබලුණා. අපේ ගම් දනව්වල පවුල් සිය දහස් ගණනක බඩකට පිරුණා. මේ විනාශ වෙන්නේ ජාතික ධනය. පිට රටවලින් ණය අරන් හදපු ජාතික සම්පත්. අපේ රටේ ඩොලර් නැතිවුණේ මේ වගේ ආරම්භ කරලා අතරමග නතර කරපු ව්‍යාපෘති නිසා තමයි.
දෙස් විදෙස් සංචාරකයන්ට දේශීය කර්මාන්ත නිෂ්පාදන විකුණන්න හොඳම තැන ගාලු පාරේ ඉඳුරුවේ මේ ස්ථානයයි. එහෙම එකේ මේ වගේ ස්ථානයක මේ වගේ මධ්‍යස්ථානයක් වහන්න කටයුතු කරපු එක නම් සමාව දෙන්න පුළුවන් වරදක් නෙමෙයි. අඩු ගානේ මේ ව්‍යාපෘතියට වැය කළ ආණ්ඩුවේ මුදල් ටික පියවන්නකම්වත් තියා ගත්ත නම් නේ වටින්නේ. මේ වට කවුද වගකියන්නේ. මේවා මහ පොළව නුහුලන අපරාද.
පියල් ගාමිණී විජේසිංහ මහතා:-
බෙන්තොට මේ තුරු සෙවණ වෙළෙද මධ්‍යස්ථානය ආරම්භ කළදා සිට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් මේ මධ්‍යස්ථානය වැසූ පසුවත් මෙහි ආවා. ඒ එය විවෘතව ඇතැයි සිතලා. මෙහි පැමිණි ඔවුන් ගියේ මේ මධ්‍යස්ථානය වසා දැමීම ගැන එවක සිටි ආණ්ඩුවට දොස් කිය කියයි. ඒ අය මේ මධ්‍යස්ථානයට පුරුදු වෙලයි සිටියේ. එහෙම මධ්‍යස්ථානයක් තමයි මේ අය වහන්න කටයුතු කළේ.
මේ මධ්‍යස්ථානය වහන්න නෙමෙයි තිබුණේ. එහි තිබුණු අඩුපාඩු ටික නැති කිරීමයි. වර්ෂාවකදී මේ මධ්‍යස්ථානය පහතින් තියෙන නිසා ජලයෙන් යටවුණා. ඒක උස් කරානම් කිසිම ප්‍රශ්නයක් නැතිව වෙළෙදාම් කරන්න තිබ්බා. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ එක එක කුටියකට එක විදුලි මීටරය බැගින් සවි කළා නම්. එහෙනම් වෙළෙඳ කුටිවල ඉන්න අය විදුලි බිල ගෙවල දානවා.රජයේ ඔළමොට්ටලයන්ගේ වැඩ කියන්නේ මේ හැම වෙළෙද කුටියකටම විදුලිය දීලා තිබුණේ එක විදුලි මීටරයෙන් .ඒක වෙනම කතාවක්. විදුලි බිලටත් එක්ක කියලා එකතු කරපු බදු මුදල්වලට මොකද වුණේ. ඇයි මේ ගැන සොයන්නේ නැත්තේ. ඒවා ප්‍රශ්න කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි.
අපි මේ රජයෙන්වත් බලාපොරොත්තු වන්නේ මේ වගේ සාර්ථක වෙළෙඳ ව්‍යාපෘතියක් වහන්න කටයුතු කළ එකගැන වහාම සොයන්න කියලා.මොකද මේකට වගකියන්න ඕන රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම යන්නට කලියෙන් සොයා බලා අවශ්‍ය කටයුතු කරන්න ඕන. මෙහි වෙළෙඳාම කරන අයට පමණක් නෙමෙයි පාරිභෝගිකයන්ට ගිමන් හැරලා වැසිකිළි කැසිකිළි පහසුකම් මෙන්ම මුහුණ කට සෝදා ගැනීමේ ස්ථානයකුත් ස්ථාපිත කරලයි තිබුණේ. අද ඒ සියල්ලම විනාශවෙලා ගිහිල්ලා. කාටද මේවා කියන්නේ.
අද මේ මධ්‍යස්ථානයේ වෙළෙඳ කුටි අනාචාරයේ හැසිරෙන්නන්ගේ පාරාදීසයක් වෙලා. සමහරු මේ මධ්‍යස්ථායේ කුටි ගණිකා මඩම් බවට පත් කරගෙන. සමහරු තැබෑරුම් බවට පත් කරගෙන. කුඩු උරන අයත් මේ තැන ප්‍රයෝජනයට ගන්නවා. මේ වෙළෙදකුටි කැලෑවට යටවෙලා තිබීම ඔවුන්ට හොද පාරාදීසයක් වෙලා.
අපි මේ පිළිබඳව බෙන්තොට සම්බන්ධීකරණ කමිටු සභාපති නිශාන්ත පෙරේරා මහතාගෙන් විමසූවෙමු. එහිදී ඒ මහතා කීවේ මේ සම්බන්ධයෙන් සොයා බලා ඊට අවශ්‍ය පියවර ගන්නා බවය.
කැලෑවට යන වෙළෙඳ කුටි