(මොහොමඩ් ආසික්)
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ පිහිටි මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සාම්ප්‍රදායික කුළුබඩු බෝගවලට අමතරව වාණිජ වටිනාකමින් යුතු නව ඖෂධීය භෝග 33ක් හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි එම ආයතනයේ අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා පවසයි.
මෙම භෝග අතර වල්ලපට්ටා , කොතල හිඹුටු , බිං කොහොඹ වැනි ඖෂධීය වාණිජ බෝග ද කෝමාරිකා, ඉඟුරු පියළි, ඉරමුසු, අමුක්කරා, පාවට්ටා, කටුපිල , කටුවැල්බටු ආදී වෙනත් වටිනා ඖෂධීය භෝග වර්ග 30ක්ද ඇතුලත් වේ.
මෙම ඖෂධීය භෝග ආනයනය සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වන අතර ඒවා අපනයනය කිරීමේ හැකියාවක්ද පවතී. මෙම ඖෂධීය භෝග වගාව ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ උපදෙස් මත අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය මඟින් මේ පිළිබඳ පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය.
වල්ලාපට්ටා , කෝමාරිකා , කොතලහිඹුටු, බිංකොහොඹ වැනි ශාක වගා කිරීමෙන් ඉහළ ආදායමක් ලබාගත හැකි බවත් ස්වභාවික වන රක්ෂිතවලින් අනවසරයෙන් මෙම ඖෂධ ලබා ගැනීම අවම කිරීමට මෙමඟින් හැකිවන බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය. ලාංකේය පාරම්පරික වෙදකමේ තිබු බොහොමයක් අත්බෙහෙත් වර්තමානයේ නවීන තාක්ෂණයට මුසු වී ආකර්ෂනීය ලෙස ඇසුරුම්වල බහා වෙළඳපළේ ඉහළ මිල ගණන්වලට අලෙවි වන බවද හෙතෙම සඳහන් කළේය.
එබැවින් මෙම භෝග හා ඒ ආශ්‍රිත නිෂ්පාදන විධිමත්ව සිදුකිරීමෙන් අනාගතයේ දේශීය වශයෙන් පමණක් නොව විශාල විදේශ විනිමය ප්‍රමාණයක්ද ලබා ගත හැකිවේ. මෙම භෝග පිළිබඳ ආදර්ශ වගා ඇති කිරීමට බලාපොරොත්තු වන්නන් සඳහා නොමිලේ පැළ සුළු ප්‍රමාණ වශයෙන් ලබාදිය හැකි බවත් සරත්චන්ද්‍ර ධර්මපරාක්‍රම මහතා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳ වැඩි විස්තර මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ 066 -2222822 දුරකථන අංකය අමතාද ලබා ගත හැකිය.
(කෝමාරිකා)
(කොතළ හිඹුටු)
(වල්ලාපට්ටා)