වාර්ෂික තෙල් භාවිතය පහළ වැටීමේ අවදානමක


කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තියත් සමඟ දශකයකට පසු වාර්ෂික තෙල් භාවිතය මේ වසරේදී පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ආයතනය අද (9) ප්‍රකාශ කළේය.

සිය නවතම වාර්තාව ප්‍රකාශයට පත් කරමින් ජාත්‍යන්තර බලශක්ති ආයතනය ඒ බව සඳහන් කර තිබෙන අතර එහිදි බොරතෙල් මිල ගණන් සම්බන්ධයෙන් සෞදි අරාබිය සහ රුසියාව අතර ඇති වී තිබෙන අර්බුදය සැලකිල්ලට ගෙන නැත. නිෂ්පාදනය සීමා කිරීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම නිසා සෞදි අරාබිය සහ රුසියාව අතර බොරතෙල් මිල ගණන් සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී තිබේ.

කොරෝනා වයිරසය තවදුරටත් ලෝකය පුරා ව්‍යාප්ත වුවහොත් යන පදනම මත පිහිටා දැනට තිබෙන ඉල්ලුම දිනකට තෙල් බැරල් මිලියන 1.1කින් අඩු කිරීමට අන්තර්ජාතික බලශක්ති ආයතනය පියවර ගෙන ඇත.

ඒ අනුව 2009 වසරෙන් පසුව මේ වසරේදී වාර්ෂික තෙල් බැරල් ඉල්ලුම 90,000කින් අඩුවනු ඇතැයි පැවසේ.

මෙම නිගමනවලට එළැඹීමේදී මේ මාසය අවසන් වෙද්දි චීනය නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරනු ඇතැයි ද අනෙක් රටවල් ද ගන්නා පියවර ඉල්ලුමට අඩු බලපෑමක් කරනු ඇතැයි ද යන උපකල්පන සැලකිල්ලට ගෙන ඇත.

පෙබරවාරි මාසයේදී තෙල් පරිභෝජනය ඉහළ ගිය නමුත් පසුගිය වසර හා සැසඳීමේදී එය දිනකට තෙල් බැරල් මිලියන 4.2කින් පහත වැටුණේ යැයි ද ජාත්‍යන්තර බලශක්ති ආයතනය සඳහන් කළේය. එයින්, දිනකට තෙල් බැරල් මිලියන 3.6කින් පහත වැටී ඇත්තේ චීනයේය.

කෙසේ නමුත් ජාත්‍යන්තර බලශක්ති ආයතනය නිශ්චිත මාසික පරිභෝජන සංඛ්‍යා දත්ත ඉදිරිපත් නොකළ අතර මාසික පරිභෝජනය සියයට 4.5කින් පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වාදුන්හ.

‘‘කොරෝනා වයිරසය නිසා ඇති වූ අර්බුදය බලශක්ති වෙළෙඳපොළ රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. ගල් අඟුරු, ගෑස් සහ පුනර්ජනනීය බලශක්ති වෙළෙඳපොළ ආදී රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් වයිරසයෙන් තෙල් වෙළෙඳපොළට එල්ල වී තිබෙන බලපෑම ඒ සියල්ලට වඩා දරුණුයි. කොරෝනා වයිරසය හේතුවෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු සීමා වීමත් භාණ්ඩ ප්‍රවාහනය සීමා වීමත් නිසා ප්‍රවාහන කටයුතුවලට යොදාගන්නා ඉන්ධනවලට තිබෙන ඉල්ලුම අඩුවෙලා’’ යැයි අන්තර්ජාතික බලශක්ති ආයතනයේ ප්‍රධානී ෆාටි බිරෝ පැවැසීය.

‘‘මේ තත්ත්වය චීනයේ හැමතැනම දකින්න පුළුවන්. ලොව වැඩියෙන්ම බලශක්ති පරිභෝජනය කර රට චීනයයි. පසුගිය වසරේ ගෝලීය තෙල් ඉල්ලුමෙන් සියයට 80කට හිමිකම් කීවේ චීනය’’ යැයි ද හෙතෙම කීය.

චීනය එරට බොහෝ ස්ථානවල ගමන්බිමන් සීමා කරමින් නගර දැවැන්ත නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර ඇති අතර කර්මාන්තශාලා රැසක් වසා දමා ඇත. 

(ඒ.එෆ්.පී.)

055