විනීතා එම් ගමගේ
වාරි ව්‍යාපෘති ආශ්‍රිතව විශේෂ සංචාරක කලාප පිහිටුවීමට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය තීරණය කොට ඇත.
එහි නියාමන ව්‍යාපෘති ලෙස තබ්බෝව ජලාශය හා පොල්පිතිගම හක්වටුනාඔය යන ජලාශ ආශ්‍රිතව සංචාරක කළාප පිහිටුවන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
වී අස්වැන්න නෙලීම වසරකට දෙවරක් පමණක් සිදු වන බැවින් ජනාතාවට ආදායම් ලැබෙන තවත් ව්‍යාපෘති වෙත අවතීර්ණ වීමට අවස්ථාව උදා කළ යුතු බැවින් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට තීරණය කළ බවත් හෙතෙම සඳහන් කළේය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රධාන වාරි ව්‍යාපෘතිය වන්නේ හක්වටුනා ඔය ව්‍යාපාරයයි. හක්වටුනා ඔය වැවේ සමස්ථ ජලධාරිතාව අක්කර අඩි 19727 කි. මෙම ව්‍යාපාරයෙන් යැපෙන සමස්ථ ජනගහනය 25000 ක් ලෙස ගණන් බලා තිබේ. මෙම ජලාශයෙන් විහිදී යන ඇල මාර්ග දෙකකි. එමගින් ජලය සැපයෙන ගොවි බිම් ප්‍රමාණය අක්කර 6500 කි. ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන ගණන 13 කි.
ඉතිහාසයට අනුව හතරවන මහසෙන් රජු විසින් දැදුරුඔය නිම්නය උපයෝගී කර ගනිමින් හක්වටුනාඔය වැව ඉදිකරන ලද බව සඳහන් වෙයි. කෙසේ වෙතත් මෑත කාලය වන විට එම වාරි ව්‍යාපෘතිය අඩපණ වී ඇත්තේ කිසිදු ප්‍රතිසංස්කරණයකට භාජනය නොවීම නිසාවෙනි. මේ හේතුවෙන් කුඹුරු වගාව අතහැර දැමීමත් ගොවි ජනතාව වඩාත් පීඩාවට පත්වීමත් වැනි අයහපත් තත්ත්වයන් ඇති වී තිබිණ.
කෙසේ වෙතත් වත්මන් රජය බලයට පත් වීමත් සමග මෙම වැව නැවත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු සම්පාදනය කෙරිණ. ඒ අනුව ලෝක බැංකු ආධාර යටතේ ලැබුණු රුපියල් මිලියන 540 ක මුදලක් යොදමින් එම ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වාරි ව්‍යාපෘති ආශ්‍රිතව සංචාරක කලාප ඇති කිරීමේ ක්‍රියාවලියට මූලිකත්වය ලබා දෙන්නේ ගමේ මුදල් පිටතට යනවා සේම ගමටද මුදල් ඇදී එන ක්‍රමවේද සකස් කළ යුතු බැවින් යැයි කී රාජ්‍ය අමාත්‍යවරයා නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අනෙකුත් වාරි ව්‍යාපෘති ආශ්‍රිතවද සංචාරක පාරාදීස ඇති කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවැසීය.