වැඩකරන ජනතාවගේ අයවැයකට යෝජනා


 

විවිධ අංශ නියෝජනය කරන වෘත්තීය සමිති නවයකින් සමන්විත සම්මේලනයක් වන එක්සත් කම්කරු සම්මේලනය, ශ්‍රී ලංකාවේ ජනතාවට යෝග්‍ය හා සාධාරණ ආර්ථිකයක් සඳහා අඩිතාලම දැමීමේ අරමුණින්, 2025 අයවැය සඳහා පහත යෝජනා ඉදිරිපත් කරයි.

1. අත්‍යවශ්‍ය ආහාර, ඖෂධ සහ අධ්‍යාපන සැපයුම් සඳහා වන වක්‍ර බදු, එනම් විශේෂ වෙ​ෙළඳ භාණ්ඩ බද්ද, වරාය සහ ගුවන්තොටුපොළ බද්ද, වැට් බද්ද වැනි බදු වහාම අහෝසි කළ යුතුය. මෙම බදු දුප්පතුන්ට විෂමානුපාතික ලෙස බලපාන අතර, දරිද්‍රතාව ප්‍රවර්ධනය කරමින් පවතින විෂමතා උග්‍ර කරයි. විශාල සමාගම් සඳහා බදු සහන ලබාදීම වෙනුවෙන් රජයට ඇති අසීමිත ආශාව නිසා ලබාදී ඇති බදු සහන අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා මෙම ප්‍රතිගාමී බදු ඉවත් කිරීමෙන් අහිමි වූ ආදායමට වඩා බෙහෙවින් වැඩි ය. මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2022 දී විශාල සමාගම් සඳහා ලබාදී ඇති බදු සහනය රුපියල් බිලියන 978 ක් (දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.1%)  වැනි විශාල මුදලකි. ගජ මිතුරන්ට මෙම නොසැලකිලිමත් දීමනාව වහාම නතර කොට, අයවැය හිඟයේ ඉහළ යාම වැළැක්වීම සහ බදු බර වඩාත් සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කළ යුතුය.


2. දේශීය ගොවීන් ආරක්ෂා කිරීමේ මුවාවෙන් අත්‍යවශ්‍ය ආහාර සඳහා ප්‍රතිගාමී බදු පැනවීමෙන් දුප්පතුන් මිරිකා දැමීම වෙනුවට, ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට රජය ප්‍රමුඛත්වය දිය යුතුය. ශ්‍රී ලංකාවේ සියයට 25 දරිද්‍රතා අනුපාතය (ලෝක බැංකුව, 2024) මෙම ප්‍රතිපත්තිවල සෘජු ප්‍රතිඵලයකි. පළමු පියවර ලෙස, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ කුලියට දීමේ අනුපාත වහාම සියයට 50 කින් අඩු කර, කෘෂි රසායන සඳහා විශාල වශයෙන් සහනාධාර ලබාදිය යුතුය. වී වගා පිරිවැයෙන් සියයට 30කට ආසන්න ප්‍රමාණයක් යන්ත්‍ර කුලියට බැඳී ඇති අතර, ග්‍රාමීය ආර්ථිකයේ යන්ත්‍ර හිමි ඉහළ මධ්‍යම පන්තියකට ප්‍රතිලාභ සැලසෙන මෙම අධික ගාස්තු විශාල ලෙස අඩු කිරීම සඳහා රජය විසින් කුලී වැඩසටහනකට ආයෝජනය කළ යුතුය. මින් කුඩා ගොවීන්ගේ සහ පාරිභෝගිකයන්ගේ සැබෑ ආදායම ඉහළ නංවන අතරම ආර්ථිකය සහ අපනයන අංශ සඳහා සමස්ත නිෂ්පාදන පිරිවැය අඩු කරනු ඇත.


3.ගොවීන් සහ පාරිභෝගිකයන් තලා පෙළා දමමින් ස්වල්ප දෙනකු පමණක් පොහොසත් කරන සූරාකෑමේ ක්‍රමය බිඳ දැමීම සඳහා, සියලුම මහා පරිමාණ වී මෝල් වහාම ජනසතු කළ යුතුය. මෙම මහා පරිමාණ වී මෝල්වලට රටේ වියදමින් ලාබ ලැබීමට ඉඩ දී ඇත. සාධාරණ මිල ගණන් සහතික කිරීමට සහ ජීවනෝපාය ආරක්ෂා කිරීමට ඇති එකම මාර්ගය ජනසතු කිරීමයි.


4.2023 දෙසැම්බර් මාසයේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ 2023 මහ බැංකුවේ වාර්ෂික ආර්ථික සමාලෝචනය හරහා ශ්‍රී ලංකාවේ ඉහළ යන ජීවන වියදම පිළිබඳ පැහැදිලි චිත්‍රයක් චිත්‍රණය කරයි. 2023 දෙසැම්බර් වන විට පවුල් ඒකකයක් සඳහා මූලික අවශ්‍යතා සඳහා අවම පිරිවැය මසකට රු. 105,921.32 ක් බව එම දත්ත හෙළි කරයි.


5. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, නිවසකට සාමාන්‍යයෙන් ආදායම් උපයන්නන් 1.8 ක් සිටින විට, පැය 40 කින් සමන්විත වැඩ සතියකට රු. 58,845.18 ක මාසික අවම වැටුපක් අවශ්‍ය වේ. එයද මූලික අවශ්‍යතා සපුරාලීමට සහ ණයගැතිභාවයෙන් වැළකී සිටීමට පමණි. එක්සත් කම්කරු සම්මේලනය රු. 59,000 ක ජාතික අවම වැටුපක් යෝජනා කරයි. වැඩ කරන පවුල් සඳහා තවදුරටත් ආර්ථික දුෂ්කරතා වළක්වා ගැනීම සඳහා සියලුම සේවකයන්ට ගෙවිය යුතු අවම ආදායම මෙයයි.


6. කම්කරුවන්ට හිමි විය යුතු ජීවන වියදම් දීමනාව ප්‍රතික්ෂේප කිරීම සඳහා සමාගම් විසින් තාක්ෂණික ක්‍රමයක් උපයෝගී කර ගනිමින් සිටී. කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ගණනය කරන ලද “මූලික දර්ශක ලක්ෂ්‍යය” වටිනාකම රජය විසින් ගැසට් කර නොමැති බව පවසමින් සමාගම් විසින් එය නොගෙවා සිටියි. එබැවින් 2025 අයවැය යෝජනාවලට කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත ගණනය කරන ලද “මූලික දර්ශක ලක්ෂ්‍යය” වටිනාකම ඇතුළත් අවශ්‍ය දත්ත සහිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමේ පොරොන්දුව ඇතුළත් විය යුතු අතර එය පෞද්ගලික අංශය විසින් සේවකයන්ට ජීවන වියදම් දීමනාව ගෙවීමට භාවිත කළ යුතුය. 


7. “ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම” යැයි පවසමින් සේවක අර්ථසාධක අරමුදලට එරෙහිව හිටපු රජය විසින් සිදු කරන ලද කොල්ලකාරී ආක්‍රමණය වහාම ආපසු හැරවිය යුතුය. තවද, පෞද්ගලික අංශය විසින් මිලදී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කරවල පොලී අනුපාතය සියයට 8 සහ පදනම් ලකුණු 50 (8.5%) හි වත්මන් ප්‍රතිපත්ති පොලී අනුපාතයට සීමා කළ යුතුය. මෙම තීරණාත්මක පියවර මගින් දේශීය මූල්‍ය ප්‍රභූන්ට අධික පොලී ගෙවීම් දැඩි ලෙස අඩු කරනු ඇත. ඒ හරහා 2023 දී රුපියල් බිලියන 1,800 ක්වූ අගය, වඩාත් කළමනාකරණය කළ හැකි රුපියල් බිලියන 1,020 දක්වා අඩු කරනු ඇත.


8. ලෝක බැංකු දත්ත වලට අනුව, 2023 දී රජයේ ආදායමෙන් ඉහළම ප්‍රතිශතය දේශීය පොලිය ලෙස ගෙවීමේ ගෞරවය ශ්‍රී ලංකාව සතුය. එය 2023 දී විස්මයජනක ලෙස සියයට 80 කි. මෙම අගය ඝානාව පවා පරාජය කර ඇති අතර, දෙවැනි ස්ථානයේ සිටින ඝානාවේ එය සියයට 44 ක් පමණකි. මෙයින් හෙළි වන්නේ අපගේ ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතාවට ඇද දමා ඇති බදු බරෙන් සියයට 80 ක්, ප්‍රති-ඵලදායක මූල්‍ය ප්‍රභූවක් පොහොසත් කිරීම සඳහා නාස්ති කරන බවයි. මෙම විෂම සූරාකෑමේ චක්‍රය වහාම බිඳ දැමිය යුතුය.


9. යෝජිත පියවර මගින් බැංකු පද්ධතිය අස්ථාවර නොකර, රජයේ පොලී පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කරනු ඇත. රජයට සාපේක්ෂව බැංකු අංශයේ වත්මන් අඩු පොලී පිරිවැය තන්ත්‍රයෙන් මෙය පැහැදිලි වේ. දැනටමත් සැලකිය යුතු ලෙස අධික ශුද්ධ පොලී ආදායම් ආන්තික භුක්ති විඳින බැංකුවලට අවශ්‍ය ගැළපීම් පහසුවෙන් අවශෝෂණය කර ගත හැකිය. මෙම ප්‍රතිසංස්කරණ මගින් ජනතාව මත ඇති කුරිරු බදු බර මැඩපැවැත්වීම පමණක් නොව, මූල්‍ය හිඟය බෙහෙවින් අවශ්‍ය අඩු කිරීමකට ද දායක වේ.


10. ස්වයං-සේවා වරප්‍රසාදයේ පැහැදිලි ක්‍රියාවක් වන මහ බැංකුවේ සුවිශේෂී සේවක අර්ථසාධක අරමුදල වහාම අහෝසි කළ යුතුය. මුදල් නීති පනත මගින් අනුමත කරන ලද මෙම වෙනම අරමුදල සමානාත්මතාවේ මූලධර්මයට අපහාසයක් වන අතර දූෂණය සඳහා අභිජනන භූමියකි. ජාතියේ මූල්‍ය කළමනාකරණය කරන අතරතුර පෞද්ගලික අරමුදලක් ක්‍රියාත්මක කිරීමෙන්, මහ බැංකු නිලධාරීන් අභ්‍යන්තර 
වෙ​ෙළඳාම ඵලදායී ලෙස නීතිගත කර ඇති අතර, මෙය වෙනත් තැනක දැඩි දඬුවම් ලැබිය හැකි ක්‍රියාවකි. මහජනයාගේ සේවක අර්ථසාධක අරමුදල පිළිබඳ 2015 වෝහාරික විගණන වාර්තාව, පෞද්ගලික ලාභ සඳහා මහජන අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම හෙළිදරව් කරන නින්දිත චෝදනාවක් ලෙස ක්‍රියා කරයි. මෙම වරප්‍රසාදිත ප්‍රවේශය මහ බැංකු සේවකයන් පොහොසත් කර ඇති අතර රාජ්‍ය මූල්‍ය පද්ධතියේ අඛණ්ඩතාව අඩපණ කරයි.


11. මහ බැංකුවේ සුවිශේෂී සේවක අර්ථ සාධක අරමුදල ගෝලීය විෂමතාවක් ලෙස පවතී. අනෙකුත් ආයතන මෙන් නොව, රහසිගත ආර්ථික දත්ත සහ ප්‍රතිපත්ති තීරණ ප්‍රසිද්ධ කිරීමට පෙර ඒවා වෙත ප්‍රවේශ වීමට මහ බැංකුවට වරප්‍රසාද හිමි වේ. මෙම ආවේණික වාසිය අභ්‍යන්තර 
වෙ​ෙළඳාම සඳහා අසමසම අවස්ථාවක් නිර්මාණය කරන අතරම, මහජනතාවගේ වියදමින් මහ බැංකු සේවකයන් පොහොසත් කරයි. මෙම නින්දිත ක්‍රියාව වහාම අවසන් කළ යුතුය. මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල සාමාන්‍ය සේවක අර්ථසාධක අරමුදල සමඟ ඒකාබද්ධ කිරීම මෙම අසාධාරණ වාසිය ඉවත් කරනවා පමණක් නොව, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට මහ බැංකු නිලධාරීන් දිරිමත් කරනු ඇති අතර, මහජන අරමුදල්වල වගකීමෙන් හා කාර්යක්ෂම කළමනාකරණය සහතික කරයි.


12. සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම 2015 සිට වෝහාරික විගණනයකට භාජන කළ යුතුය.


13.. රජය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදි, පෙර පරිපාලන විසින් ලබාගත් විදේශ ණය සම්බන්ධයෙන් පුළුල් වෝහාරික විගණනයක් වහාම ආරම්භ කළ යුතුය. මෙම විමර්ශනය 2009 දී ජනාධිපති රෆායෙල් කොරියා යටතේ සාර්ථක වු ඉක්වදෝරියානු ආකෘතියට අනුව සකස් කරන ලද ස්වාධීන ඒකාබද්ධ මහජන ණය විගණන කොමිසමක් විසින් සිදු කළ යුතුය. අයථා ලෙස පරිහරණය කරන ලද අරමුදල් අයකර ගැනීමට, දූෂණයට වගකිව යුතු අයගේ වත්කම් අත්පත් කර ගැනීමට සහ නීතියේ සම්පූර්ණ බලය ඔවුන් මත පැවරීම සහතික කිරීමට මෙම කොමිසමට බලය ඇත. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ විය හැකි වුවද, ණය ගිවිසුම් හරහා පොදු සම්පත් කොල්ල කෑ අය පිළිබඳව විමර්ශනය කර වගකිව යුතු අයට විරුද්ධව ක්‍රියාකිරීමේ බලය සහ වගකීම රජය සතුව ඇත.


14. ශ්‍රී ලංකාවේ තේ වෙෙළඳපොළ කතිපයාධිකාරී වතු, බලයලත් අපනයන සමාගම්, තේ තැරැව්කරුවන් සහ සමස්ත ප්‍රතිපාදිතයම හිමිකරගෙන සිටින සමූහ ව්‍යාපාර කිහිපයක් විසින් සූරාකනු ලැබේ. මෙම කතිපයාධිකාරීන් විසින් වෙන්දේසි ක්‍රමය හසුරුවන අතර, මිල ගණන් සැබෑ අපනයන මිලට වඩා සාමාන්‍යයෙන් සියයට 50 කින් පමණ අඩුවෙන් යටපත් කරයි. උදාහරණයක් ලෙස, 2024 සැප්තැම්බර් මාසයේදී, සාමාන්‍ය වෙන්දේසි මිල කිලෝවකට රු. 1,231.57 ක් වූ අතර, අපනයන මිල රුපියල් 1,780.47 දක්වා ඉහළ ගියේය. එය විසමයජනක ලෙස සියයට 44.6 ක ඉහළ යාමකි (මහ බැංකු මාසික දත්ත). මෙම කොල්ලකාරී ක්‍රියාව නිෂ්පාදකයන්ට සොච්චම් මුදලක් ඉතිරි කරන අතර, 2023 නිෂ්පාදන පිරිවැය කිලෝවකට රුපියල් 885 (ශ්‍රී ලංකා මහ බැංකුව) වූ අතර, එය අපනයන මිලට වඩා 100% කින් අඩුය.


15. වෙන්දේසියේදී සූරාකෑම අවසන් නොවේ. ඇසුරුම් කිරීමෙන් පසු, එම තේ කිලෝව සඳහා දේශීය වෙ​ෙළඳපොළේදී අධික මිල ගණන් ලබා ගන්නා අතර, එය බොහෝ විට රු. 3,000 ඉක්මවයි. එම අංශයේ නැවත ආයෝජනය නොකළ හෝ දුප්පත් කම්කරුවන් සමඟ බෙදා නොගන්නා, එහෙත් තේ වෙළෙන්දන් විසින් උපයා ගන්නා දැවැන්ත ලාබ මෙයින් හෙළි වේ. මෙම අතිවිශාල ලාභ තිබියදීත්, වතු අංශයේ දරිද්‍රතාව ආවේණිකව පවතින අතර, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දශකයකට පෙර වාර්තා කරන ලද සියයට 33.8 ට සාපේක්ෂව අද එය සියයට 50 ඉක්මවා ගොස් ඇත.


16. තේ අංශයේ වන කතිපයාධිකාරීන්ගේ ග්‍රහණය මිල හැසිරවීමෙන් ඔබ්බට විහිදේ. කලාපීය වතු සමාගම්, බලයලත් අපනයන සමාගම් සහ තේ තැරැව්කරුවන් ඇතුළත් මෙම අන්තර් සම්බන්ධිත සමූහ සමාගම් විසින් වෙන්දේසි ක්‍රියාවලිය පාලනය කිරීමෙන් සේවක වැටුප් ඵලදායී ලෙස යටපත් කර ඇත. මෙම කුමන්ත්‍රණය වතු කම්කරුවන්ට සොච්චම් මුදලක් ගෙවන බව සහතික කරන අතර, කර්මාන්තය තුළ අතිවිශාල අතිරික්තයක් ජනනය කරයි.


17. මෙම සූරාකෑමේ ක්‍රමය බිඳ දැමීම සඳහා, නීත්‍යානුකූලව නියම කරන ලද අවම වෙන්දේසි මිලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මෙම මිල පවතින අපනයන මිලෙන් අවම වශයෙන් සියයට 90 කටවත් නියම කළ යුතුය. මෙම තීරණාත්මක පියවර මඟින් කර්මාන්තයේ අතිරික්තයෙන් සැලකිය යුතු කොටසක් වතු අංශයට ආපසු ගලා යන බව සහතික කරනු ඇති අතර, එමඟින් වෙහෙස නොබලා වැඩ කරන කම්කරුවන්ගේ වැටුප් සැලකිය යුතු ලෙස වැඩි කිරීමට හැකියාවක් ලැබෙයි. 


18. මෙම සන්දර්භය තුළ, වතු කම්කරුවන්ගේ ඉල්ලීම්වලට ගරු කරන ලෙසත්, වතු කම්කරුවන්ගේ වැටුප් රු. 2,000 දක්වා වැඩි කරන ලෙසත් එක්සත් කම්කරු සම්මේලනය රජයෙන් ඉල්ලා සිටී.


19. ගෘහ සේවකයන්, පික්මී සහ ඌබර් වැනි බෙදාහැරීමේ සේවකයින් ඇතුළත් වන ගිග් ආර්ථික සේවකයන් සහ මිනිස්බල අංශයේ සිටින අය ඇතුළු ශ්‍රී ලංකාවේ අවිධිමත් සේවකයන් කෲර සූරාකෑමේ ක්‍රමයකට මුහුණ දෙයි. විධිමත් කම්කරු නීති යටතේ ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් නොලැබෙනු ඇත. විශේෂයෙන් ගෘහ සේවකයන් අවම වැටුප් පනත සහ අයවැය සහන දීමනා පනත ඇතුළු බොහෝ කම්කරු නීතිවලින් ඛේදජනක ලෙස බැහැර කර ඇත. එබැවින් අවම වැටුප් පනත සහ අයවැය සහන දීමනා පනත යන දෙකෙහිම විෂය පථයට ගෘහ සේවකයන් වහාම ඇතුළත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.


20. ගෘහ සේවිකාවන්ට ඔවුන්ගේ සේවා කාලය, වෘත්තීය තත්වය, ආරක්ෂාව සහ වේතනය පාලනය කිරීම සඳහා නිශ්චිත නීති සම්පාදනයක් අවශ්‍ය වේ.


21. අවිධිමත් අංශයේ සේවකයන් සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල වැනි අත්‍යවශ්‍ය සමාජ ආරක්ෂණ ජාලවලින් බැහැර කිරීම බරපතළ අසාධාරණයකි. මූල්‍ය ආරක්ෂාව පිළිබඳ මිනුමක් සහතික කරමින් මෙම යෝජනා ක්‍රමවලට ඔවුන් වහාම ඇතුළත් කරන ලෙස අපි ඉල්ලා සිටිමු.


22. රැකියා ස්ථානයේ හිරිහැර විරෝධී නීති කාන්තා සේවිකාවන්ගේ දිගුකාලීන ඉල්ලීමකි. මේ දක්වා සේවා ස්ථානයේ හිරිහැර විරෝධී නීතියක් සම්මත කිරීමට අනුප්‍රාප්තික රජයන් පොරොන්දු ලබාදී තිබියදීත්, සේවා ස්ථානය තුළ හිරිහැරයට එරෙහිව කිසිදු නීතියක් නොමැත. එබැවින්, ශ්‍රී ලංකාවේ රජය විසින් සේවා ස්ථානයේ හිරිහැර විරෝධී නීතියක් සම්මත කළ යුතු බවට යෝජනා කෙරේ. තවද, ජාතික කම්කරු උපදේශක කොමිසමේදී අනුමත කරන ලද වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය පනත් කෙටුම්පතක් 2007 සිට විභාග වෙමින් පවතී. 2007 කෙටුම්පතට වෙනස්කම් නොමැතිව වෘත්තීය සෞඛ්‍ය සහ සුරක්ෂිතතා නීතිය සම්මත කිරීමට ක්ෂණික පියවර ගත යුතුය.


23. වෘත්තීය සමිති අයිතිවාසිකම් තවමත් යථාර්ථයක් ලෙස පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ නීතියේ පමණි. එහෙත් යථාර්ථය වන්නේ වෘත්තීය සමිති පිහිටුවීම සහ ඒවාට සම්බන්ධ වන සේවකයන් නිතිපතා සේවයෙන් පහ කරනු ලැබීමයි. සමාගම් විසින් වෘත්තීය සමිති විරෝධී හිරිහැර කිරීම සම්මතය වන අතර, එය ව්‍යතිරේකය නොවේ. අසාධාරණ කම්කරු පිළිවෙත් කාලෝචිත ආකාරයකින් දඬුවම් කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් ඉදිරිපත් කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව තුළ කමිටුවක් පිහිටුවීමට අපි යෝජනා කරමු, එහෙත් කම්කරුවන් වෘත්තීය සමිතිවලට බැඳීමට දිරිගැන්වීම සඳහා රාජ්‍යය විසින් ගනු ලබන ස්ථිර ක්‍රියාමාර්ග ද ඇත.


24. පවතින රාජ්‍ය ව්‍යාපාරවල සියලුම පෞද්ගලීකරණ උත්සාහ රජය විසින් නතර කළ යුතුය. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ රක්ෂණය යනු පෞද්ගලීකරණය සඳහා තල්ලු කරනු ලබන ලාබ ලබන රාජ්‍ය ව්‍යාපාර දෙකකි. තවද ලංකා විදුලි බල මණ්ඩලයද දැනට ලාභ ලබන ආයතන වේ. එබැවින් දක්ෂ නායකත්වයක් යටතේ රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන ආයතන බවට පත්කළ හැකිය. එබැවින්, 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත අවලංගු කිරීම ඇතුළු සියලුම පෞද්ගලීකරණ උත්සාහ නතර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.


“ඩේලිඑෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න