කොටස් වෙළෙඳාම අද දිනයේ සුපුරුදු පරිදි ඇරඹෙන අතර දින හතරකට පසු අලුත් අවකාශයක් තුළට අවතීර්ණ වනබව දැක්විය හැකිය.
ඉකුත් සිකුරාදා (ජනවාරි 10) ගනුදෙනු අවසන්වන විට දිනය අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නැවතත් රතු පැහැයට හැරිණ. තියුණු පසුබෑමක් වාර්තා කළේය. සියලු කොටස් මිල දර්ශකය 15,926.00 ක් වූ අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 114.64 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,808.29 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 52.91 ක වර්ධනයක් සේ සනිටුහන් කළේය.
කලින් දිනයට සාපේක්ෂව තව දුරටත් පිරිවැටුම අඩු වූ අතර එය රු. බිලියන 3.72 කට සීමා වී තිබුණි. මෙදින ගනුදෙනු 24,267 ක් සිදුවී තිබේ. කලින් දිනයේ ගනුදෙනුවල ට සාපේක්ෂව ගනුදෙනු ප්‍රමාණය ද පහත වැටීමක් සේ නිරීක්ෂණය කළ හැකිය. දිග නිවාඩු දින ගණන මෙයට හේතු වූ අතර මිල දී ගැනිම අවම වූ හෙයින් තරඟකාරීත්වය පහත වැටී තිබුණි. කෙසේ නමුත් දැනට පවතින විනිමය හා මූල්‍ය තත්වය සලකා බලන පසු වර්ධනයකට පසුබිම පවතින බව ද නිරීක්ෂණය කළ හැකිය. රජයේ බදු හේතු කොටගෙන පෞද්ගලික ආයෝජන දුර්වල වී ඇත. බැංකු පොලි අනුපාත හා එයට පනවන ලද රඳවා ගැනීමේ බදු අනුපාත හේතු කොටගෙන සැලකිය යුතු අලුත් ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළෙඳ පොළට ආකර්ශනය වනු ඇති බවක් විශ්වාස කළ හැකිය. කෙසේ වෙතත් ඉදිරි සති කිහිපයට පසු ඉදිරිපත් කරන අය වැය ප්‍රතිපත්ති කෙරෙහි සුපරීක්ෂාකාරී වන ආයෝජන හිමියන් කණ්ඩායමක් ද සිටින බව අමතක කළ යුතු නැත. සමාගම් 69 ක කොටස් මිල පහත වැටිණි. සමාගම් 165 ක කොටස් මිල ඉහළ ගියේය. බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්, ජොන් කීල්ස් එල්. ඕ. එල්. සී සහ ඉන්ඩ්‍රස්ටියල් වැඩිම වශයෙන් කොටස් හුවමාරු තිබුණි.
ඉන්ඩ්‍රස්ට්‍රියල්, මුලර්ස්, ටීස් ඇග්‍රෝ, යූ. බී. ෆිනෑන්ස්, එස්.එම්.බී. ෆිනෑන්ස් සහ ඩිජිටල් මොබයිල් යන සමාගම්වල කොටස් මිල ප්‍රතිශතයක් වශයෙන් වැඩිම ඉහළ ගියේය. සෙන්කඩගල ෆිනෑන්ස්, ඔටෝඩ්‍රොම්, සී.ටී. ලෑන්ඞ්, ෆෙගසස් හොටෙල්, හන්ටර්ස්, ඇල්ෆා ෆයර්ස් සහ මල්වත්තවැලි වැවිලි සමාගම්වල කොටස් මිල ප්‍රතිශතයක් වශයෙන් ප්‍රධාන වශයෙන් මෙදින ගනුදෙනු අවසානයේ දී පහතට වැටී තිබුණි.
මෙදින විදේශ ක්‍රියාකාරීත්වය ද අඩු ස්වභාවයක් ගත්තේය. ගනුදෙනු 210කට සීමා වූ අතර කලින් දිනයේ තිබුණ 435 ක විදේශ ගනුදෙනු සමග සසඳන විට තවත් දුබලතාවකි. කලින් දිනයේ විදේශ ගනුදෙනුවල පිරිවැටුම රු. මිලියන 78.9 ක්ව තිබුණ අතර එය තවදුරටත් රු. මිලියන 43. 2 ක් දක්වා සීමා විය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය විදේශ ප්‍රතිපත්ති හැසිරවීමේ දී බටහිරට වෙනුවට චීන ආකෘතිය තෝරාගැනීමට ඉඩ තිබේ ද යන අවදානම මෙහි දී විදේශ ගැනුම්කරුවන් සලකාබලන ලද්දේ ද යන්න සැක කෙරේ. කෙසේ වෙතත් චීන සංචාරයෙන් පසු එළි දක්වන ද්වී පාර්ශවික සහයෝගීතාව අනුව කොළඹ කොටස් වෙළෙඳ පොළ නවතම පැතිකඩකට අවතීර්ණ වනු ඇතැයි අදහස් කෙරේ.
නිරීක්ෂක