හර්ෂණ තුෂාර සිල්වා
‘වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්‍යාපෘතිය’ කොළඹ මුවන්පික් හෝටලයේදී අද (17) දියත් කෙරුණි.මෙම ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ මූල්‍ය ආධාර සපයන අතර ධීවර හා ජලජ සම්පත් සංවර්ධනය සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍යාංශය පහසුකම් සපයයි.
ඇමෙරිකා එක්සත් ජනපදය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ‘ඉන්ටර්නැෂනල් එක්සෙකටිව් සර්විස් කෝප්ස් ආයතනය’ විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
වසර 2022 මාර්තු මාසයේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිත අතර ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 14.1ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 2ක්) මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සියයට 18ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කරන අතර කිරි නිෂ්පාදන සැපයුම් දාමය තුළ ගොවිපොළ පලදායීත්වය සහ කිරි ආශ්‍රිත නිෂ්පාදනවල ගුණාත්මකභාවය වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබේ.
කිරි ගොවීන්ට සිය නිෂ්පාදන සඳහා අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ යෙදවුම්වලට ප්‍රවේශ වීමේ සේවා ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම, කිරි ගොවිපොළ කළමනාකරණය සඳහා සුදුසු නව ක්‍රමවේද හඳුන්වාදීම, කිරි ගොවිපොළ පවත්වාගෙන යෑම,
කිරි එක්රැස් කිරීම හා ප්‍රවාහනය සහ අනෙකුත් සියලු අංශවලට අදාළව ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂක ක්‍රමවේද වැඩි දියුණු කිරීම, කිරි නිෂ්පාදන අලෙවිය වැඩි කිරීම සඳහා තොරතුරු තාක්ෂණය සහ ජංගම දුරකතන භාවිතය සහ ඒ ආශ්‍රිත නව ක්‍රමවේද සැකැසීම සහ කිරි නිෂ්පාදන අංශය තුළ මූල්‍ය සම්පාදනය සහ ආයෝජන ලබාගැනීමේ හැකියාව වර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියේ ඉලක්ක වී තිබේ.
උතුර, වයඹ, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව යන පළාත් මෙම ව්‍යාපෘතියේ ඉලක්ක ගත කලාප බවට පත්ව තිබේ.
ෆ්ලෝරීඩා විශ්ව විද්‍යාලය, සර්වෝදය සහ ‘ග්ලෝබල් ඩයරි ප්ලැට්ෆෝම්’ මෙම ව්‍යාපෘතියේ උප පාර්ශවකරුවන් වන අතර සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලය, කිරි ගොවිපොළ සංවර්ධනය පිළිබඳ ජාතික මෙහෙයුම් කමිටුව, කිරි පිරිසැකසුම් සමාගම්, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, ජාතික කිරි නිෂ්පාදන සංගමය, ඩයලොග් ආසියාටා සමාගම, ඕවර්සීස් ප්‍රයිවට් ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් සහ මෙරට බැංකු සහ තවත් පිරිස් කිහිපයක් මෙම ව්‍යාපෘතියේ හවුල්කරුවෝ වී සිටිති.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා