ශ්‍රී ලංකාවේ ‘තේ’ ඉල්ලුම පහළ බසී


(රංජිත්  රාජපක්ෂ)

ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා යුරෝපීය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටී ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වතු සමාගම්වල විධායක නිලධාරින් කිහිප දෙනෙකු වැඩිදුරටත් කියාසිටියේ යුරෝපීය රටවල ශ්‍රී ලංකාවේ තේ සදහා විශාල ඉල්ලුමක් පැවති, බවත් එම ඉල්ලුම අභියෝගයක් කරගත් අසල්වාසි තේ අපනයනය කරන රටක් රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක කර ගනිමින් කුමන්ත්‍රණයක්, ආරම්භ කර උඩරට තේ වතුවල සේවය කරන වතු කම්කරුවන්ගේ ආර්ථික තත්වය ඉහළ නැංවිමට සහ වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ සෞඛ්‍යය පහසුකම් ඉහළ නැංවීමට කටයුතු නොකරන බවට බොරු ප්‍රචාරයක් මාධ්‍යය මගින් සහ සමාජ මාධ්‍යය ජාල වලින්  එම රටවල ප්‍රසිද්ධියට පත්කර ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබු  අදාළ ජාත්‍යන්තර ප්‍රමිති සහතික තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

යුරෝපීය රටවල ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා පරිභෝගිකයන් අදාළ ප්‍රමිති සහතික තේ පැකට්වල සඳහන් නොකිරිම නිසා  ශ්‍රී ලංකාවේ තේ මිලදී ගැනීම එම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

ඇමරිකාව විසින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම මත ඉරානයට ශ්‍රී ලංකාවේ තේ අපනයනය නොකිරිම නිසා උඩරට සහ පහතරට නිෂ්පාදිත තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරිමේදී සෑම වෙන්දේසියකම 30% ක තේ ප්‍රමාණයක් අලෙවි නොවීම මත එම තේ තොග තේ කර්මාන්තශාලාවල ගබඩා කර තිබෙන බවත් එම වතු සමාගම්වල විධායක නිලධාරීහු කියා සිටිති.

පවත්නා තත්ත්වය මත ශ්‍රි ලංකාවේ තේ කිලෝවක් සදහා දැනට රු 400 සිට 500ක මුදලක්  වෙන්දේසියෙන් ලැබෙන බවත්, එම මුදල තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා වැය වන පිරිවැයට වඩා අඩු නිසා තේ වතු සමාගම් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති.