අග්ගලාවත් ගිල දැමූ වෙහෙර ගිල්ල යක්ෂයා


සම්භාවනීය  නීතිපති පදවියේ දේශපාලන පුරාණය

  02 වැනි කොටස

 

 

මෙරට නීිතිපති පදවිය දැරූ අය අතරින් දැඩි විවේචනයට හා මතභේදයට ලක් වූ පුද්ගලයෙකු වූවේ ඒ. සී. ඇම්. අමීර් මහතාය. එක්සත් ජාතික පක්ෂයට බොහෝ සේ සම්බන්ධ අයෙකුගේ කිට්ටුවර ඥාතියෙකු වූ ඔහු එම තනතුරට පත් කිරීමට ද එම සබඳතා හේතු වූ බව එකල කියැවුණි. 1962 දී සිදු වන්නට ගිය රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණය පිළිබඳ නඩු විභාගයේ දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වරදකරුවන් ලෙස සලකා දැඩි දඬුවම් පමුණුවා සිටි පිරිස එකල පැවති නීතියට අනුව එංගලන්තයේ රාජාධිකරණයට අභියාචනා ඉදිරිපත් කළ අවස්ථාවේ දී එයට විරුද්ධ වීම සාමාන්‍ය සම්ප්‍රදාය විය යුතුව තිබුණ නමුත් අමීර් මහතා එම ක්‍රියා මාර්ගය නොගත් බව වාමාංශිකයෝ පැවසූහ. එකල පළ කෙරුණු ‘ඇත්ත’ පුවත්පත ඔහුට අන්වර්ථ නමක් යොදා තිබුණේ ‘ගෙදර බල්ලා’ යනුවෙනි. රජයේ අවශ්‍යතාවට අනුව උසි ගැන්විය හැකි තරමේ සුවච සගයෙකු බව එයින් අදහස් කෙරුණි. 


කිසිදු දේශපාලන ක්‍රියාකාරකමක නොයෙදුණා වුවත් නීතිපති ධුරයේත් පසුව අග්‍රවිනිශ්චයකාර ධුරයේත් ඉතා ගෞරවනීය ආකාරයෙන් කටයුතු කිරීම නිසා මෙරට ජනාධිපති ධුරයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නාම යෝජනා ලබා දීමට යෝජනා වීමට තරම් ජනතා ප්‍රසාදයක් ලැබූ වික්ටර් තෙන්නකෝන් හිටපු නීතිපතිවරයා හඳුන්වා දිය හැකිය. 1978 දෙවැනි ජනරජයේ ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කරන ලදී. එවකට අග්‍රාමාත්‍ය ධුරය දැරූ ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත් විය. ඔහුගේ ධුර කාලය හය වසරක්ව පැවතිය ද ජයවර්ධන රජයේ අභිමතය පරිදි සම්මත කරන ලද හතර වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපති ධුරය දරන්නට එම තනතුරේ වසර හතරක් සේවය කිරීමෙන් පසු නැවතත් ජනාධිපති වරණයක් කැඳවීමේ අභිමතය ප්‍රකාශ කළ හැකි යැයි සම්මත කරගනු ලැබීය. 


1977 මහා මැතිවරණයේ දී එවකට රජය ගෙන ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත පරාජයට පත්ව එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක අති විශාල පාර්ලිමේන්තු බලයක් හිමි වී තිබුණි. එම පක්ෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය ජනාධිපති කොමිසමක නිර්දේශ මත අහෝසි කරනු ලැබ දේශපාලන භූමියෙන් පලවා හරිනු ලැබ සිටියාය. රජයේ අනු දැනුම ඇතිව යැයි සිතිය හැකිව තිබුණු වැඩපිළිවෙළක් අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද භින්න වී කණ්ඩායම් දෙකක් බවට පත්ව ඉතා දුර්වල අඩියකට මුහුණ දී සිටියේය. මෙම දේශපාලන පසුබිම සැලකිල්ලට ගත් ජේ. ආර්. ජයවර්ධන මහතා 1982 ඔක්තෝබර් මාසය වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා තම අභිමතය ප්‍රකාශ කළේය. 


ජේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපති වරණය සඳහා නැවත ඉදිරිපත් වීම අඟවා තිබුණු වාතාවරණය හමුවේ විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් තරග බිමට පැමිණීමට සිටි ප්‍රධාන අපේක්ෂිකාව වූවේ ශ්‍රී ලංකා නිදහස් පකෂයේ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එහෙත් මේ වන විට ඇයගේ ප්‍රජා අයිතිය අහිමි කර දේශපාලන ධාරාවෙන් ඉවත් කර සිටි නිසා ඇයට තරග කිරීමට නීතිමය අතින් හැකියාවක් තිබුණේ නැත. ඇයගේ පක්ෂය ද දෙකඩ වී පරම සතුරු පිල් දෙකක් බවට පත්ව තිබුණි. පෙර වතාවල දී සමගියෙන් යුතුව පෙරමුණු පිහිටුවාගෙන තරග කළ වාමාංශිකයෝ ද 1975 දී මුහුණදුන් කටුක අත්දැකීම් අමතක කළ නොහැකිව එම වේදනාවන්ගෙන් පීඩා විඳිමින් තනි තනිව සටන් කිරීමට සූදානමින් සිටියහ. 


මේ අතර විපක්ෂය වෙනුවෙන් ජේ. ආර්. ට එරෙහිව පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි මතවාදයක් සමාජගතව තිබුණි. ඒ සඳහා නොයෙකුත් නම් කියවෙමින් පැවති අතර හිටපු නීතිපති සහ අගවිනිසුරු වූ වික්ටර් තෙන්නකෝන් මහතාගේ නම ද විය. 


මේ කියන වික්ටර් තෙන්නකෝන් මහතා යනු උඩරට කීර්තිමත් පරපුරක සාමාජිකයෙකු වශයෙන් 1914 සැප්තැම්බර් 9 වැනි දින උපත ලැබීය. කොළඹ පදිංචි කීර්තිමත් විජේවර්ධන පවුලේ සාමාජිකයෙකු වූ ඇනස්ලි විජේවර්ධන මහතාගේ සොයුරිය වූ සෙමිතා විජේවර්ධන මෙනවිය සමග විවාහ විය. මෙම නෑ සබඳකම ඔස්සේ ජේ. ආර්. ජයවර්ධන මහතාට ද කිට්ටු සබඳතාවක් හිටපු නීතිපති වික්ටර් තෙන්නකෝන් මහතා සතුව පැවතුණි. උඩරට ප්‍රකට තවත් දේශපාලන පවුලක් වූ රත්වත්තේවරුන් සමග ද කිට්ටු ඥාතිවරයක් මොහුට පැවති බව කියනු ලැබේ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පියාගේ වැඩිමහල්ම සොහොයුරා වූ ජයතිලක කුමා රත්වත්තේ අදිකාරම් තුමාගේ දියණිය ඇනස්ලි විජේවර්ධන මහතා සමග අතිනත ගත් අතර පෙර සඳහන් කළ පරිදි ඇනස්ලි විජේවර්ධන මහතාගේ සොයුරියගේ අත ගත්තේ වික්ටර් තෙන්නකෝන් මහතාය. නීති ක්ෂේත්‍රය කෙරෙහි දැඩි ලෙස උනන්දුවක් දැක් වූ අයෙකු වුවත් හිටපු නීතිපත වික්ටර් තෙන්නකෝන් මහතා දේශපාලන ක්ෂේත්‍රය කෙරෙහි කැමැත්තක් දැක් වූයේ නැත. විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් ජේ. ආර්. ජයවර්ධන මහතාට විරුද්ධව ජනාධිපති තනතුරට තරග කිරීමට ඒ මහතා එකඟ වූවේ නැත. වහාම ක්‍රියාත්මක වූ ලංකා සම සමාජ පක්ෂය සිය නායකයා වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා පොදු අපේක්ෂකයා ලෙස නම් කළේය. පොදු අපේකෂක යන්න වචනයට පමණක් සීමා වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද හෙක්ටර් කොබ්බෑකඩුව හිටපු ඇමැතිවරයා තම අපේක්ෂකයා ලෙස නම් කළේය. 


ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර එවකට නව සමාජ පක්ෂය ලෙස හැඳින්වුණු කණ්ඩායමෙන් වාසුදේව නානායක්කාර සහ ලංකා ද්‍රවිඩ සංගමයේ නායක කුමාර් පොන්නම්බලම් යන අය ද ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් නිසා එය තවදුරටත් සංකීර්ණ වූවේය. මෙම බෙදීම නිසා ජයවර්ධන මහතා පහසුවෙන් ජය ගත්තේය. එහෙත් නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙකු වශයෙන් හිටපු නීතිපති වික්ටර් තෙන්නකෝන් මහතා ඉදිරිපත් වූවේ නම් මෙම තත්ත්වය යම් පමණකට හෝ වෙනස් වන්නට ඉඩ තිබුණු බව එකල බොහෝ දෙනා පැවසූහ. 


ඉන්පසුව බිහි වූ නීතිපතිවරුන් අතරින් විශ්‍රාම ගිය පසු ක්‍රියාකාරී දේශපාලන ක්‍රියාකාරිත්වය කෙරෙහි යොමු වූ ප්‍රකටම චරිතය වන්නේ තිලක් මාරපන මහතාය. එක්සත් ජාතික පක්ෂයේ උපදේශක මට්ටමේ සිටි එතුමා පසුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුරයක් ලබා ඇමැති තනතුරක් ද භාරගත් නමුදු එහි කටයුතු කළේ කෙටි කාලයකි. යම් යම් අර්බුද නිසා ඇමැති තනතුරින් ඉවත් වීමට ඒ මහතා ක්‍රියා කළේය. නීති තර්ක වාද විවාද ආදියට පමණක් සීමා වූ අධිකරණ ක්ෂේත්‍රය මෙන් මට සුමට මඟක් නොවන දේශපාලනය ගහ මරා ගැනීම්වලට පමණක් නොව මඩ ගැසීම් ජීවිත හානි ආදියෙන් ද ගහණ අතිශය කටුක අහිමිරි අත්දැකීම් ලැබීමට සිදුවන අංශයක් බව කවුරුත් දන්නා කරුණකි. බලය ලබා ගැනීමටත් ලැබුණු බලය රැක ගැනීමටත් ඕනෑම දෙයක් කිරීමට පසුබට නොවන අය ගැවසෙන දේශපාලනය මෙවැනි උගත් බුද්ධිමත් අයට නොගැළපෙන්නේ ද යන්න දැනට මතුව ඇති ගැටලුවක් වනු නොඅනුමානය. මේ ගැන කථා කිරීමේ දී මගේ එක් දුම්රියේ මිතුරෙකු කීවේ අපූරු කියමනකි. ඔහු කීවේ ‘වෙහෙර ගිල දැමූ යක්ෂයින්ට අග්ගලා ගෙඩියකුත් කජ්ජක් ද?’ කියාය. ඒ වර්තමාන දේශපාලනයේ ස්වභාවයයි. ඔහු කීවේය.

 

 


සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි