ඉතා හදිසියේ සිදුවූ රනිල් චම්පික හමුව


 

ජනාධිපතිතුමා චම්පිකගෙන් ‘මල්ලි ඕගොල්ලො මේ ඔක්කොම කරන්නෙ යන්නද?’ යනුවෙන් විමසීය. ඊට එක්වරම පිළිතුරු සැපයූ ඇමැති චම්පික ‘නෑ ඔබතුමාගෙ හැසිරීමටයි, කථාවටයි අනුව අපිට යන්න වෙනවා’ යනුවෙන් පැවසීය. මේ අනුව ඒ අසල සිටි ලලිත් වීරතුංග මහතා ඇමතු ජනාධිපතිතුමා ‘ලලිත් චම්පිකලත් එක්ක කතා කරල මේ ප්‍රශ්නය විසඳන්න. මගේ ඔළුව අවුල්වෙලා’ යැයි පැවසීය. මහින්ද රාජපක්ෂ ජනාධීපතිතුමාගේ එම ප්‍රකාශයට අනුව යමින් මෙම දෙපිරිස ඉන් අනතුරුව ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමාගේ නිවසේදී මුණ ගැසුණහ. ලලිත් වීරතුංග මහතාට හා චම්පික ඇමැතිතුමාට යම් එකඟතාවකට පැමිණීමට එහිදී ද නොහැකි විය.


කෙසේ වෙතත් ඉන් දින කිහිපයකට පසුව හෙළ උරුමය සමග බිඳවැටුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමේ අරමුණින් හෙළ උරුමය හා ශ්‍රීලනිපය අතර සාකච්ඡා මාලාවකට පදනම වැටුණි. ඒ අනුව අරලියගහ මැදුරේදී හෙළ උරුම නියෝජිත පිරිස සමග ශ්‍රීලනිපය වෙනුවෙන් මෛත්‍රී ඇමැතිතුමා නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් සාකච්ඡා ඇරඹූහ. මෙම සාකච්ඡාවේ විශේෂත්වය වූයේ බැසිල් රාජපක්ෂ මහතා ඊට සහභාගි නොවීම හා ශ්‍රීලනිපය පාර්ශ්වයෙන් සහභාගි වූ පිරිසද රාජපක්ෂවරුන්ගෙන් තමන්ට අත්විඳීමට සිදුව ඇති අවහිර පීඩා හා දුක්ගැනවිලි හෙළ උරුම පිරිස සමග ප්‍රකාශ කිරීමය. තවද මෙම සාකච්ඡාව ආරම්භවන අවස්ථාවට පමණක් සහභාගි වූ ජනාධිපතිතුමා පළමු සාකච්ඡාවේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කළ අතර හෙළ උරුම යෝජනාවලියට තමන් හට තනිව පිළිතුරු දිය නොහැකි නිසා එය ශ්‍රීලනිප නියෝජිතයන් සමග මෙලෙස සාකච්ඡා කළ යුතු බව පැවසීය. කෙසේ වෙතත් ඔක්තෝබර් මාසය පුරාත් නොවැම්බර් මාසයේ දෙවැනි සතිය දක්වාත් ඇදී ගිය මෙම සාකච්ඡාව වට 3 කින් සමන්විත විය. එහෙත් අවසානයේ හෙළ උරුම යෝජනාවලියට එකඟ විය නොහැකි බව ශ්‍රීලනිප කණ්ඩායම දන්වා සිටි අතර අවසන් සාකච්ඡාවේදී හෙළ උරුම යෝජනාවලියේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම බාර වූයේ ඩලස් ඇමැතිතුමාටය. එහෙත් ඩලස් ඇමැතිතුමා වෙනුවෙන් ඊට පිළිතුරු ලියුවේ කරුණාරත්න පරණවිතානය. පරණවිතාන විසින් එලෙස ලියා හෙළ උරුමයට පිළිතුරු සැපයූ ලියවිල්ලට මෛත්‍රී ඇමැතිතුමා, නිමල් සිරිපාල ඇමැතිතුමා හා ඩලස් ඇමැතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨයන් අත්සන් කර තිබුණද සැබවින්ම මෙම ලියවිල්ල සකස් කළේ පරණවිතාන විසින් බව ඒ වන විටත් හෙළ උරුමය දැන සිටියේය. සැබවින්ම එම සාකච්ඡා යනු කාලය මැරීමට ගත් ජනාධිපතිතුමාගේ උපක්‍රමයක් පමණක් බව හෙළ උරුමයට තේරුම් ගොස් තිබිණි.


තම යෝජනාවලියට එකඟවිය නොහැකි බව දන්වා ලැබුණු ඉහත ලිපියත් සමග ආණ්ඩුවෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් හෙළ උරුමය සතු නොවීය. එලෙස නොවැම්බර් 19 වැනිදා හෙළ උරුමය නිල වශයෙන් ආණ්ඩුවෙන් ඉවත්වීමට පෙර 15 වැනිදා චම්පික ඇමැතිතුමා මෛත්‍රී ඇමැතිතුමා මුණ ගැසී තමා ගැනීමට බලාපොරොත්තු වන අභියෝගාත්මක දේශපාලන තීරණය පිළිබඳ දැනුම් දුන්නේය. එහිදී චම්පික ඇමැතිතුමා අවධාරණයෙන් කියා සිටියේ  මෛත්‍රී ඇමැතිතුමා පොදු අපේක්ෂකයා වේ නම් නිසැක වශයෙන්ම තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බවයි. ඒ සමගම එජාපයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වන්නේ නම් තම සහයෝගය හිමිවන්නේ කරු ජයසූරිය මහතාට පමණක් බවද ඔහු මෛත්‍රී ඇමැතිතුමාට පැවැසීය. කෙසේ වෙතත් තමා ස්ථිර වශයෙන්ම ඉදිරි දින කිහිපය තුළ පොදු අපේක්ෂක අභියෝගය භාර ගැනීමට සූදානම් බව නොපැවසීමට එම අවස්ථාවේදී මෛත්‍රී ඇමැතිතුමා වගබලා ගත්තේය.


ඒ සමගම චම්පික ඇමැතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාවද මුණ ගැසුණි. වික්‍රමසිංහ මහතා සමග පැවැති සාකච්ඡාවේදී චම්පික ඇමැතිතුමා කියා සිටියේ මේ අවස්ථාවේදී තමා ඉදිරියෙහි විකල්ප දෙකක් ඇති බවයි. ඒ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් වේ නම් ඔහුට සහයෝගය ලබාදීමත් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වේ නම් තමා ස්වාධීනව තරග කිරීමටත් වශයෙනි.


චම්පික ඇමැතිතුමා සිය ඇමැතිධුරයෙන් ඉවත්වූ දිනට පසු දින ඔහු විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්ව ගියේය. නමුත් ඊට පෙර තම යෝජනාවලිය පිළිගත නොහැකි බව දන්වා ශ්‍රීලනිපයෙන් නිල ලිපිය ලැබුණදාට පසුදින සිටම චම්පික ඇමැතිතුමා තම නිල නිවසේ බඩු බාහිරාදිය ක්‍රමානුකූලව ඉවත් කර ගැනීම ආරම්භ කර තිබුණි. ඒ අනුව පාමංකඩ පිහිටි නිවසක් වෙත ඔහු තම බඩු බාහිරාදිය රැගෙන ගියේය. නොවැම්බර් 20 වැනිදා චම්පික ඇමැතිතුමා අවසන් වශයෙන් තම නිල නිවසින් ඉවත්ව යන අතුරතුර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔහුට දුරකථනයෙන් ඇමතීය. එහිදී ජනාධිපතිතුමා කියා සිටියේ ‘චම්පික ඔයා දක්ෂ කෙනෙක්. ඔයාට අනාගතයක් තියෙනවා. දේශපාලන වශයෙන් මම ඔයත් එකක් කිසිම තරහක් නෑ. හිතේ ආවේගයක් තියෙනවා නම් ඒ මත මේ වෙලාවේ තීරණගන්න එපා’ යනුවෙන් පවසද්දී චම්පිකගේ පිළිතුර වූයේ හිතේ ආවේගෙට අනුව තීරණගත්තා නම් මම ඉල්ලා අස්වෙන්නේ 2011 දී. මේ ප්‍රශ්නෙදි ඔබතුමයි. ඔබතුමාගෙ පවුලයි යන ගමන වැරදියි. මේක අනාගතයේ මේ රටේ දරුවො තුවක්කුවෙන් විසඳගන්න කලින් අපි මේක ඡන්දෙන් විසඳගමු’ යනුවෙන් ඔහු ජනාධිපතිතුමාට පිළිතුරු දුන්නේය. එතැනින්ද එම දුරකථන සංවාදය අවසන් නොවීය. එවිට ජනාධිපතිතුමා විමසා සිටියේ ‘ඔයා හිතන්නේ මම පරදියි කියල ද?’ ඊට චම්පිකගේ පිළිතුර වූයේ ‘ඒකට වටපිටාව හැදිල ඉවරයි’ යන්නය. එය ඇසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මහ හඬින් සිනාසෙමින් ‘අපි ඡන්දෙන් පස්සෙ හම්බවෙමුකො’ යනුවෙන් පැවසීය.


කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය ආණ්ඩුව තුළ සිට එලෙස තීරණාත්මක අරගලයක නිමග්න වුවද චන්ද්‍රිකා මැතිනිය තවදුරටත් හෙළ උරුමය නොඉවසුවාය. හෙළ උරුමය හා චන්ද්‍රිකා මැතිනිය අතර නොහොඳ 2004 මහ මැතිවරණ ඉතිහාසය දක්වාම දිව යන්නකි. විශේෂයෙන්ම 2004 අභිනව පාර්ලිමේන්තුවේ කතානායකවරයා තෝරාගැනීමේ කාර්යයේදී ජාතික හෙළ උරුමය ආණ්ඩුව දෙසින් කතානායක ධුරයට නම් කළ ඩිව් ගුණසේකර මහතා පරාජයකොට වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා කතානායක කරවීමට ක්‍රියා කළේය. එම සිදුවීම මෙන්ම ජාතික හෙළ උරුමයේ ජාතිකවාදී දෘෂ්ටිය සෑමවිටම චන්ද්‍රිකා මැතිනිය ප්‍රතික්ෂේප කළාය. මෙවැනි හේතු ගණනාවක්ම හේතුවෙන් ඊට අවුරුදු 10කට පසුව පවා හෙළ උරුමය හා චන්ද්‍රිකා මැතිනිය එක් මතයකට පැමිණීමට අපොහොසත් වනබවක් පෙනෙන්නට තිබුණි.


කෙසේ වෙතත් චන්ද්‍රිකා මැතිනියගේ හිතවතෙකු වන රාම් මාණික්කලිංගම් හා චම්පික රණවක ඇමැතිතුමා අතර හමුවක් ශිරාල් ලක්තිලකගේ සම්බන්ධීකරණයෙන් චම්පික ඇමැතිතුමාගේ නිල නිවසේදී සිදුවිය. ඒ සැප්තැම්බර් මාසයේ අග දිනකදීය. එහිදී රාම්, චම්පික ඇමැතිතුමාට පවසා සිටියේ නියමිත අවස්ථාව එනතුරු ආණ්ඩුවේ රැදී සිට අවසාන මොහොතේ ආණ්ඩුවෙන් පිටතට පැමිණීමට ක්‍රියාකිරීම වඩා සුදුසු බවය. මංගල සමරවීර මහතා පිළිබඳ සැලකීමේදී 2005 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරවීමේ ප්‍රධානතම කාර්යභාරයක් ඉටුකළ පුද්ගලයකු ලෙස ඔහු හඳුනාගත හැක. සමරවීර මහතාත් ශ්‍රීපති සූරියආරච්චි මහතාත් එම මැතිවරණයේදී කළ කාර්යභාරය පිළිබඳ කිසිවකුත් අවතක්සේරු නොකරති. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දිවුරුම්දීමෙන් පසුව පත්කළ පළමු කැබිනට් මණ්ඩලයේ වරාය, විදේශ කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍යවරයා බවට මංගල පත්වුවත් ඉතා කෙටි කලකින්ම අරලියගහ මැදුර මංගල සමරවීර ඇමැතිතුමා දෙස සැකමුසු ස්ථාවරයකින් බැලීය.


අරලියගහ මැදුර හා සමරවීර ඇමැතිතුමා අතර සීතල යුද්ධය වසරක් පමණ එලෙස ඇදී ගිය අතර 2006 අවසානයේ දෙසැම්බර් 13 වැනිදා පිටු 13 ක පමණ ලිපියක් තම අත්අකුරින්ම ජනාධිපතිතුමා වෙත ලියූ මංගල සමරවීර මහතා එය අරලියගහ මැදුරට යවා පිළිතුරක් අපේක්ෂාවෙන් සිටියේය. එතුමා සිතන ආකාරයට එම ලිපියට පිළිතුර ලැබුණේ 2007 ජනවාරි 27 වැනිදාය. එනම් එදින සමරවීර ඇමැතිතුමා දරමින් සිටි වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතට පවරා ගන්නා ලදී. ඉන් අනතුරුව පෙබරවාරි 07 වැනිදා මංගල සමරවීර මහතා සිංගප්පූරුවේ සංචාරයක නිරතවන අතරතුර ඔහු දරමින්සිටි විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන්ද නෙරපා දැමූ අතර ඒ සමගම අනුර බණ්ඩාරනායක මහතා හා ශ්‍රීපති සූරියආරච්චි මහතා දැරූ අමාත්‍ය ධුරවලින්ද ඔවුන් ඉවත් කරනු ලැබීය.


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසුව මුල්කාලයේදී බොහෝ විට උදෑසන මංගල සමරවීර මහතා අරලියගහ මැදුරට ගොස් ඍජුවම ජනාධිපතිතුමා මුණ ගැසී සුහදව කතා කිරීමේ ක්‍රමවේදයක් හා වරප්‍රසාදයක් හිමිව තිබුණි. නමුත් කාලයත් සමග ඔහුට එම අවස්ථාව අහිමි විය. විදේශ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමාට තනිව මුණ ගැසී කතාකිරීමට පවා ඔහුට අවස්ථාව නොලැබුණි. විශේෂයෙන්ම 1994 සිට 2005 වසර දක්වාම හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ විශ්වාසවන්තම දේශපාලන සගයා ලෙස එතුමිය සමග එක්ව රාජ්‍ය පාලනයේ තීරණාත්මක තීන්දු තීරණ ගැනීමේ වරප්‍රසාදය වසර 11 ක් පමණ ප්‍රගුණකර තිබූ සමරවීර ඇමැතිතුමාට මේ වන විට ජනාධිපතිවරයා මුණගැසීමට අවස්ථාවක් ලබාගැනීමට ද නොහැකි වී ඇත. කුමන අමාත්‍යධුර දැරුව ද ඒ තුළින් ලබන දේශපාලන තෘප්තියට වඩා දැඩි පීඩනයක් හා සිත් රිදීමක් ජනාධිපතිවරයා මුණගැසීමට අවස්ථාව නොලැබීම හමුවේ මංගල සමරවීර ඇමැතිතුමාගේ සිත තුළ ගොඩනැගෙන්නට ඇතැයි මෙහිදී අනුමාන කළ හැක. මන්ද එතුමා වසර 11ක්ම පුරුදු පුහුණුකර තිබෙන්නේ අමාත්‍ය ධුරය දැරීමට අමතරව ජනාධිපතිවරු සමග රාජ්‍ය පාලනයේ තීන්දු තීරණ ගැනීමට ද මැදිහත්වීමටය. සමහරවිට එතුමාගේ දේශපාලන තෘප්තිය රැඳී තිබෙන්නේ ඒ තුළ විය හැක.


ඉතිරිය ලබන සතියට..

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්