ඊශ්‍රායලය බිහිවෙයි


මරාගෙන මැරෙන මුස්ලිම් අන්තවාදයේ උපත
02 වැනි කොටස

 

 

පලස්තීනයේ ආරක්ෂිත භාරකාරිත්වය දැරූ බි්‍රතාන්‍යය විසින් යුදෙව් ජනයා සඳහා රාජ්‍යයක් එහි ස්ථාපිත කළ යුතුය යන ප්‍රතිපත්තිය පිළිගැනීම ඉතිහාසය වෙනස් කළ සිදුවීමක් විය. භුමියක්, ජාතියක්, භාෂාවක් හෝ එක් තැනක පදිංචි නැති ඩයස්පෝරාවකට පමණක් සීමා වී ඇති පිරිසකට රටක් ලබා දීමේ අවහිරය මෙම ප්‍රකාශය නිසා නිමාවට පත්විය. එම ප්‍රකාශය හඳුන්වන ලද්දේ බැල්ෆෝර් ප්‍රකාශය යනුවෙනි. බැල්ෆෝර් මහතා විසින් එවකට බි්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම් රොක්ස්වයිල්ඞ් සාමිවරයාට යවන ලද මෙම ඓතිහාසික ලිපිය මගින් එය ප්‍රකාශයට පත්විය.


ප්‍රිය රොක්ස්වයිල්ඞ් සාමිතුමනි,


යුදෙව් සයන්වාදී අපේක්ෂාවන් සම්බන්ධයෙන් අනුකූලතාව දක්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා දී ඇති පහත සඳහන් ප්‍රකාශය මහ රජතුමාගේ ආණ්ඩුව වෙත ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.


පලස්තීනයේ වෙසෙන යුදෙව් නොවන ප්‍රජාවන්ගේ සිවිල් හා ආගමික අයිතිවාසිකම්වලටත් වෙනත් ඕනෑම රටක යුදෙව්වන් භුක්ති විඳින අයිතියට හෝ දේශපාලන තත්ත්වයට කිසිම අගතියක් සිදු නොවන ආකාරයට යුදෙව් ජනතාව සඳහා පලස්තීනයේ ජාතික නිවහනක් ස්ථාපනය කිරීම පිළිබඳව මහ රජතුමාගේ ආණ්ඩුව කැමැත්තක් දක්වන අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම පහසුකරවීම සඳහා උපරිම ප්‍රයත්නයක් දරනු ඇත.


ඔබ මෙම ප්‍රකාශය සයොන්වාදී (යුදෙව්) සම්මේලනයට දැනුම් දෙන්නේ නම් කෘතඥ වෙමි.


මීට හිතවත්


ආතර් ජේම්ස් බැල්ෆෝර්


1917 නොවැම්බර් 02 වැනිදා නිකුත් වූ මෙම ප්‍රකාශය ඊශ්‍රායලය නමැති රාජ්‍යය මිහි මත ස්ථාපිත වීමේ ප්‍රථම නිල ලේඛනය විය.


මෙතැන් සිට වාර්තාවන 1948 දී එම රට ප්‍රකාශයට පත්වීමෙන් යථාර්ථයක් බවට පත් වූ තෙක් සිහිනයක් හෝ සිතුවිලි මාත්‍රයක්ව පැවති අරමුණ පිළිබඳ කතාන්තරය ලේ වැගිරීම් සහ ත්‍රස්තවාදය පිළිබඳ කතාවකි. පලස්තීනයේ සිටින බි්‍රතාන්‍ය හමුදාවන්ගේ මූලස්ථානය වූ ජෙරුසලමේ කිංග් ඬේවිඞ් හෝටලයට එල්ල වූ ප්‍රහාරය එයින් එකක් පමණි. එහි වැදගත්කම සලකා අවශ්‍ය ආරක්ෂක පියවර මනාව සංවිධානය කර තිබුණි. එහෙත් යුදෙව් ත්‍රස්තයෝ ක්‍රියාත්මක වුණේ 1946 ජූලි මස 22 වැනිදාය. එම හෝටලයට කිරි ගෙන එන භාජන ලෙස වෙස් ගන්වා තිබුණේ විශාල බෝම්බය. විශාල සැලසුමක් මත මේ සියල්ල එක විට පුපුරුවා හරින ලදී. තට්ටු හයකින් සමන්විත අති විශාල ගොඩනැගිල්ලක් වූ මෙම හමුදා මූලස්ථානය මොහොතකින් කොන්ක්‍රීට් කැබලි ගොඩක් බවට පත්විය. විශාල ජීවිත සංඛ්‍යාවක් විනාශ විය. මෙම මහා ප්‍රහාරය සැලසුම් කර තිබුණේ ඊශ්‍රායලයේ නිර්මාතෘවරයෙකු වූ සහ එහි ප්‍රථම අග්‍රාමාත්‍යවරයාද වූ ඬේවිඞ් බෙන් ගැරියන් සහ පසුව අගමැතිවරයෙකු වූ වෙනචම් බෙගින් යන දෙදෙනා විසින් වීම දේශපාලනයේ යථාර්ථය පෙන්නුම් කරනු ලබයි. මෙවැනි ත්‍රස්ත ක්‍රිය දහස් ගණනක් සිදුවිය. යුදෙව් පාර්ශ්වයෙන්ද ඒවාට ප්‍රතිචාර දක්වමින් අරාබි පාර්ශ්වයෙන්ද ආදී වශයෙන් විවිධ පැතිවලින් ත්‍රස්ත ක්‍රියා දහස් ගණනින් සිදුවිය. පලස්තීනයේ පරතෙරක් නොපෙනෙන මහා වාලුකා කාන්තාරයට වැස්සක් වැටෙන්නේ ඉඳහිටය. එහෙත් එසේ කලාතුරකින් ලැබෙන වැස්සේ ජලයට වඩා මෙම භූමියේ රුධිරය ගලා ගියේය. භූමිය එයින් තෙමී ගියේය. මෙවැනි සංඛ්‍යාවක් නොවූ ජීවිත විනාශයක් මැද 1948 දී ඊශ්‍රායලය නමැති යුදෙව් රාජ්‍යය උපත ලැබුවේ අරාබි ලෝකයෙන් අල් නක්බා යන විරුදාවලියද ඇතිවය. එම වචනයේ අරුත වනුයේ මහා නස්පැත්තිය යන්නය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය අරාබීන්ගේ නස්පැස්තියම වූ බව සිදු වූ කරුණු අනුව වටහා ගත හැකි විය. තමන්ගේ භූමිය මත යුදෙව් රාජ්‍යයක් බිහි වූ බව දැන ගත් වහාම බියට පත් වූ අරාබීහු බහුල වශයෙන් පැන ගියහ. ඒ තත්ත්වය සමනය වූ පසු පෙරළා පැමිණෙන අදහසිනි. එසේ පැන ගිය අයගේ දේපොළ සියල්ල යුදෙව්වන් විසින් උදුරා ගන්නා ලදී. එසේ මංකොල්ල කා ගන්නා ලද දේපල අතර විශාල ගව, එළු හා බැටළු පට්ටි සිය ගණනක් පවරා ගත්හ. නෙගෙව් නමැති කාන්තාර ප්‍රදේශයේ ගොවි ජනයාගේ ඉඩම්වලින් සියයට අසූ පහක්ම රාජසන්තක කොට යුදෙව් ගොවියන්ට ලබා දෙන ලදී. බොහෝ අරාබි ගොවීන්ගේ ඉඩම් රාජසන්තක කරන ලද අතර ඒවා මිදි වතු අක්කර 10,000 ක් සිට්‍රස් වගා කළ ඉඩම් අක්කර 25,000 ව්‍යාපාරික ස්ථාන 10,000 ක්ද ඊශ්‍රායලයේ ඔලිව් වගාවෙන් 95 ක්ද වූ බව එකල වාර්තාවල සඳහන් විය. එමෙන් ඊශ්‍රායල් හමුදාවෝ තමන්ට රටක් ලැබුණු බව ප්‍රකාශයට පත්වීමත් සමගම අසල්වැසි රටවල් වන මිසරය, ජෝර්දානය, ලෙබනනය සහ සිරියාව යන රාජ්‍යයන් ආක්‍රමණය කර විශාල භුමි ප්‍රදේශ අල්ලා ගත්හ.


මෙසේ විශාල ලෙස බලහත්කාරකම් කළ ඊශ්‍රායල් රජයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංගමයට පැමිණිලි කරන ලදුව එමගින් යෝජනාවක් සම්මත කර ගන්නා ලදී. මිනීමැරීම්, මනුෂ්‍ය ඝාතන නවතන ලෙසත් උදුරාගත් භූමියට සහ දේපොලවලට වන්දි ගෙවන ලෙසත් අරාබි ජාතිකයන් දෙවන පන්තියේ පුරවැසියන් ලෙස සලකා කටයුතු කිරීම නතර කරන ලෙසත් ඊශ්‍රායල බලධාරීන්ට දන්වන ලදී. එහෙත් එම යෝජනා කිසිවක් නොපිළිගත් ඔව්හු ඇමරිකාව සහ බි්‍රතාන්‍යය සහ ඔවුන්ගේ මිත්‍ර රටවල්වල රහසිගත සහයෝගය මත තම පිළිවෙත නොනවත්වා දිගටම කරගෙන ගියේය. නඩුත්  බඩුත් දෙකම හාමුදුරුවන්ට අයත් වූ පසුබිමක් තුළ ඊශ්‍රායල ආණ්ඩුව අයුක්තිය අසාධාරණය දියත් කරමින් පලස්තීන වැසියන්ගේ මානුෂික අයිතීන් පවා පැහැරගනිමින් අරුම පුදුම අත්තනෝමතික පාලනයක් ගෙන ගියේය.

 

ඊශ්‍රායල ධජය

 


‘බලය ශක්තිය වේ’ යන මතවාදයේ සිටිමින් සෑම විටම කටයුතු කරගෙන යද්දී එයට ප්‍රතිචාර දැක්වීම පිණිස සංවිධානය වීමට අරාබීහුද ක්‍රියා කළහ. එහි ප්‍රථම පියවර වූවේ පලස්තීන විමුක්ති සංවිධානය බිහි වීමයි. තම මව්බිම අහිමිව යාබද රටවල අනාථ කඳවුරුවල ගාල්කරන ලද පලස්තීනුවන්ගෙන් බිහි වූ නව පරම්පරාව මෙම සංවිධානය ඇරඹීමේ ප්‍රමුඛයෝ වූහ. පලස්තීන නිදහස පිළිබඳව නොයෙකුත් කණ්ඩායම් බිහිවෙමින් තිබුණු මුල් යුගයේ පාටා නම් වූ සංවිධානයක් ආරම්භ කරන ලද්දේ යසර් අරෆත් නම් නායකයා විසිනි. මිසරයට පලා ආ පලස්තීන දෙමව්පියන්ට දාව මිසරයේ කයිරෝ නගරයේදී උපත ලද මෙම දරුවා එරටෙහිම අධ්‍යාපනය ලබා කයිරෝ ෆුවාඞ් රාජ විශ්වවිද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරුවෙකු ලෙස සමත්ව සිටියේය. නවසිය පනහේ දශකයේදී අරාබි උප මහාද්වීපය පුරා හඹා යමින් තිබුණු අරාබි ජාතිකවාදී රැල්ලෙන් ආශ්වාදය ලබමින් පලස්තීනයට නිදහස සහ මව්බිමක් ලබා ගැනීමට සහ ඊශ්‍රායලය නමැති යුදෙව් රාජ්‍යය පරාජය කිරීමේ සටනට අවතීර්ණ වූවේය. මේ වන විට මිසරයේ බලවත්ව සිටියේ එරට ආණ්ඩු කළ ඒකාධිපති ෆාරුක් රජු බලයෙන් පහකර බලය අල්ලාගත් ගමාල් අබ්දුල් නසාර්ය. සිරියාවේ පැවතියේ රජු මරා දමා බලයට පැමිණ සිටි බාත් නම් වූ වාමාංශික දේශපාලන ධාරාවයි. ඉරාකයේ බලය තිබුණේ ෆයිසාල් රජු මරා දමා ආණ්ඩුව ලබාගත් අබ්දුල් කරිම් කසිම්ගේ වාමාංශික පාලනයයි. මේ තිදෙනාම සමාජවාදීන් නොවුණත් එවකට පැවති සෝවියට් රුසියානු සමූහාණ්ඩුව සමග ඉතා කිට්ටු සබඳකම් පවත්වමින් ප්‍රගතිශීලි මතධාරීව කටයුතු කරනු දක්නා ලදී. මිසරය, සිරියාව සහ ඉරාකය එකම රාජ්‍යයක් ලෙස එක්සත් අරාබි ජනරජය නමින් සමූහාණ්ඩුවක් ගොඩනගාගෙන තිබීම එම කලාපයටම ශක්තියක් විය. මෙම වාම මතධාරි අරාබි ජාතිකවාදයේ අනුත්තර නායකයා වූවේ මිසර ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ය. ඔහු එළිපිටම ඊශ්‍රායලයට පරම හතුරු ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළේය. ඔහුගේ අධිරාජ්‍ය විරෝධී හා බටහිර විරෝධී ප්‍රතිපත්තිය පලස්තීන නිදහස් සටනට මෙන්ම පාටා සංවිධානයේ නායක යසර් අරෆත්ටද මහත් ශක්තියක් මෙන්ම ආශිර්වාදයක්ද විය.

 

 

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි