අන්තවාදී දෙමළ දේශපාලනඥයන් හා කණ්ඩායම් මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයට සිදු කරන බලපෑම් නවත්වන ලෙසත් විහාරස්ථාන භූමිය අත්පත් කරගෙන එහි කෝවිලක් ඉදිකිරීමේ සැලැස්ම ඉවත් කර ගන්නා ලෙසත් බලකරමින් මුලතිව් බෞද්ධ ජනතාව හා භික්ෂූන් වහන්සේලා උද්ඝෝෂණයක් කළ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
ගුරුකන්ද විහාරය පහුගිය කලක පටන් පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එම විහාරස්ථානයේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවස හා දස වැනි සියවස අතර කාලය දක්වා දිවයන්නකි. එහි ඇති පුරාවිද්‍යාත්මක සාධකවලින් ඒ බව ඔප්පු වී තිබේ. මෙම විහාර බිමේ ඉපැරණි සංඝාවාස පද්ධතියක නටබුන් තිබේ. ඒ අනුව මෙම විහාරස්ථානය පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
කරුණු කාරණා එපරිදි වුවද දෙමළ දේශපාලනඥයන් පිරිසක් හා කණ්ඩායමක් එම භූමිය අත්පත් කරගෙන එහි කෝවිලක් සෑදීම සඳහා අනවරත උත්සහයක යෙදී සිටිති. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට ඔප්පු වී තිබියදීත් මේ උත්සහ කරනුයේ ගුරුකන්ද විහාර බිම මුල්කර ගනිමින් යළිත් අනවශ්‍ය ගැටුම් ඇති කිරීමට දැයි සාධාරණ සැකයක් මතුවේ.
උමතු අන්තවාදී සහරාන්ලාගේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා එක් දින ප්‍රහාරයෙන් අපි තවමත් කම්පාවට පත් වී සිටිමු. අන්තවාදී උමතුව කෙතරම් බියකරුදැයි මුළු රටම හොඳින් හඳුනාගෙන තිබේ. එයට අමතරව තිස් වසරක යුද්ධයක බිහිසුණු කටුක අත්දැකීම් අප සතුය. මනුෂ්‍යත්වය අගයන සියලුම ජනයාගේ ඒකාන්ත ප්‍රාර්ථනය වනුයේ යළිත් මේ රට තුළ එබඳු වර්ග සංහාරයක් නොවිය යුතු බවය. සාමය හැර අන් කිසිවක්ම එපා යැයි කියන තැනට මෙරට ජනයා පත්ව සිටිති.
ගුරුකන්ද විහාර බිම මූලික කරගනිමින් අන්තවාදී දේශපාලනඥයන් හා කණ්ඩායම් මේ උත්සහ දරමින් සිටින්නේ රට යළිත් එබඳු උගුලකට හසු කිරීමටද? යළි යළිත් සනාථ වී ඇති බිමකට අයිතිය කියාපාන්නට යන්නේ කුමක් වෙනුවෙන්ද? ආගමට හා ජාතියට සම්බන්ධ කාරණා බොහෝ සංවේදී බවද ආවේගය උපදවන සුළු බවද සත්‍යයකි. මේ උත්සහය ඒ වෙනුවෙන්ද? මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතුය.
සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා කවර ජන වර්ගයක් නියෝජනය කළද අපි ශ්‍රී ලංකිකයෝ වෙමු. ඒ ශ්‍රී ලංකාවේ අතීතය සිංහලයාගේත් දෙමළාගේත් මුසල්මානුවාගේත් අතීතයම වේ. අපගේ ප්‍රෞඪත්වය ඔප් නැංවෙන්නේත් අප වෙතට අභිමානය රැගෙන එන්නේත් ඒ ඉතිහාසයමය. ඒ ඉතිහාසය වන්දනාමාන කළ යුතු වන්නේ එහෙයිනි. එය සෑම වර්ගයකටම අයත් පුරවැසියන් සතු අනුල්ලංඝනීය අයිතියකි.
අනෙකාගේ සංස්කෘතියට ගරු කිරීම ශිෂ්ට මිනිසාගේ වගකීමය. එසේ කළ නොහැකි නම් එය අශිෂ්ටත්වය අශීලාචාරත්වය ප්‍රදර්ශනය කිරීමකි. රටක් තුළ විවිධාකාරයේ ප්‍රශ්න මතුවන්නේ එබඳු අශිෂ්ට අශීලාචාර සුළුතරය නිසාය. එහෙත් එමගින් පැන නගින තත්ත්වය එම සුළුතරයට පමණක් සීමාවන්නේ නැත. මුළු රටටම එහි වන්දිය ගෙවීමට සිදු වේ.
මුලතිව් යැයි කී විට එය යුද්ධයේ එක් බියකරු මතක සටහනකි. අවසන් මහ සටන ඇවිළී ගියේ ඒ භූමිය මතය. ඒ අරමුණ මත සිටි පිරිස්වලට එය අතිශයින්ම වැදගත් වනු ඇත. එහෙත් එය සුරුවමක් බවට පත්විය යුතු නැත. එක් අතකින් යුද්ධය වූ කලී කාලයේ වැලි තලාවෙන් වසා දැමිය යුතු දෙයකි. ඒ මතක බර තවදුරටත් කරේ තබා ගෙන යා යුතු නැත. එමගින් සිදුවන්නේ පැරණි තුවාල යළි යළිත් පෑරීම පමණකි. එය වඩාත් යහපත් හෙට දවසක් අපේක්ෂා කරන මිනිසකුට සතුටුවිය හැකි තත්ත්වයක් නොවේ.
ඒ බිම මත අලුත් මල් පිපිය යුතුය. මනුෂ්‍යත්වයේ සුවඳ පැතිරෙන මල් පිපිය යුතුය. ඒ සඳහා සියලු දෑත් එක්විය යුතුය. අතීතයෙන් පාඩම් ඉගෙන ගත යුතුය. අලුත් දවසක් උදාවෙනු ඇත්තේ එමගින් පමණි.
විශේෂ අවධානයට ලක් කළ යුතු කාරණාවකි. රටේ ජනයා මුහුණ දෙන ගැටලු ඔවුනොවුන්ම විසඳා ගත යුතු යැයි පාලකයන් සිතන්නේද? එසේ සිතන්නේ නම් අනාගත සියලු විපත් නිර්මාණය වනු ඇත්තේ එබඳු සිතිවිලි මගින් මහජනයාට තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට ඉඩ දෙන්නේ නම් රටකට පාලනයක් කුමටද? එමෙන්ම ගුරුකන්ද විහාරය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලුව අතිශයින්ම සංකීර්ණය. එය ඔවුනොවුන්ටම විසඳා ගැනීමට ඉඩදීම නොකළ යුතුය. එයට වගකිවයුත්තන් අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතුය.