ජවිපෙට එරෙහිව රළ ගැසූ “ නව ප්‍රවණතාව ”


ජනතා විමුක්ති පෙරමුණේ 1983 ජූලි තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාව බිහිවන්නේ ද ඓතිහාසික අවශ්‍යතාවයන් අනුව බව ජවිපෙ නව ප්‍රවණතාව සිය ප්‍රථම ක්‍රියාකාරි හමුවේදී ප්‍රකාශ කර තිබිණි. ජවිපෙ නව ප්‍රවණතාව ද පන්ති සහයෝගිතාව වෙනුවට පන්ති අරගලයත් සමාජ ප්‍රතිසංස්කරණ වෙනුවට සමාජ විප්ලවයත් සිය ආරම්භයේ සිටම තෝරාගත් මඟ බව කියා සිටියහ.


ජවිපෙ නව ප්‍රවණතාවයේ නායකයා වූ ගීගනගේ චන්ද්‍රසිරි 1953 ජනවාරි 01 උපන්නේ කළුතරදීය. ඔහු හැදී වැඩුණේ සහ ජීවත්වූයේ වැලිගමය. ගීගනගේ චන්ද්‍රසිරි හැඳින්වූ වෙනත් නාමයන් වූයේ සනී, සමන්ත අසේල සහ සාගරය. වැලිගම මිරිස්සේ පොල් අතුමෝදර හැදී වැඩුණු චන්ද්‍රසිරිගේ පියා නාවලපිටියේ වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ ගීගනගේ බස්තියන් සිල්වාය. වැලිගම මිරිස්සේ පටබැඳිගේ ඒඩනෝනා ඔහුගේ මවය. චන්ද්‍රසිරිට සොයුරන් 4 කි. සොහොයුරියන් 2 කි. හත් දෙනෙකු ගෙන් යුත් පවුලේ පස්වැන්නා චන්ද්‍රසිරිය. වැලිගම සිද්ධාර්ථ විදුහලෙන් අපොස සාමාන්‍ය පෙළ සමත් වූ ඔහු 1970 මැයි මහ මැතිවරණයේ දී සමඟි පෙරමුණ රජයේ වැලිගම පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස පත් වූ පානි ඉලංගකෝන් ගේ ආධාරකරුවෙකි. 


චන්ද්‍රසිරි ජවිපෙට එක්වූයේ වැලිගම පදිංචි අකුරැස්සේ සමන් මගිනි. ඒ 1970 දෙසැම්බර් මසදීය. ඔහුට අධ්‍යාපන පන්ති පැවැත්වූයේ 71 කැරැල්ලේ ඝාතනයට පත් වූ කෝට්ටේගොඩ වීරසිංහය. ඔහු සමඟ ජවිපෙට එක් වූ වැලිගම අග්‍රබෝධි විහාරයේ හිමිනමක් සමඟ දෙදෙනෙකු පොලිස් අත් අඩංගුවට පත්ව ඝාතනය විය. ජාතික පේෂකර්ම සංස්ථාවේ තුල්හිරියේ පෙහෙකම්හලේ පුහුණුවන යාන්ත්‍රික ක්‍රියාකරුවෙකු වශයෙන් චන්ද්‍රසිරිට රැකියාවක් හිමිවන්නේ 1972 ජනවාරි මාසයේදීය. පෙහෙකම්හලට 1968 මැයි 14 මුල්ගල තැබූ අතර 1971 අප්‍රේල් කැරැල්ලේදී එහි හමුදා අනුඛණ්ඩයේ අවි පැහැර ගැනීම සිදුවිය. එහි සිටි සේවකයින් ගණන 1972 දී 3,000 කට ආසන්නය.


ජවිපෙ 71 කැරැල්ලෙන් පසු යළි සංවිධානගත වීමේදී තුල්හිරිය පෙහෙකම්හලේ ජවිපෙ ක්‍රියාකාරිකයින් විසින් සුවිශේෂි මෙහෙයක් ඉටුකරන ලදී. ඔවුහු කම්හලේ විවිධ වෘත්තීය සමිති නියෝජනය කළද ජවිපෙට අනුගත වූහ. ඩී. ආර්. ලියනාරච්චි, පී. කේ. දයාසේන, ටී. වී. යූ. සමන් කුමාර, අයි. ඩී. සේනාරත්න, වික්‍රමසිංහ, රූපසිංහ ඇතුළු පිරිසක් සමඟ ගීගනගේ චන්ද්‍රසිරිද වූහ. කුරුණෑගල ජවිපෙ දිසා ලේකම් ලෙස 1974 සිට කටයුතු කළේ පී. කේ. බී. ඒ ඉන්ද්‍රරත්නය, ඔහුගෙන් පසුව දිසා ලේකම් වූයේ ලයනල් ප්‍රනාන්දුය. අප්‍රේල් කැරැල්ලේ පරාජයෙන් පසු විල්පත්තුවට පසුබැස ගිය ඉන්ද්‍රරත්න 1972 යළි ක්‍රියාකාරකම් ඇරඹීය. උපතිස්ස ගමනායක 1973 අත් අඩංගුවට ගන්නා තෙක් සහ 1976 දෙසැම්බර් නිදහසින් පසුද කෑගල්ලේ අභයවර්ධන වීරගල්ල ඇතුළු ජවිපෙ නායකයින් තුල්හිරිය පෙහෙකම්හල ජවිපෙ තෝතැන්නක් බවට 1973 අවසානයේ සිට ක්‍රමානුකූලව පත් කළේය. එයට විශාල අනුබලයක් වූයේ දැදිගම අතුරු මැතිවරණය 1973 පැවැත්වීමට පෙර රජය මගින් පොදු සමාවක් යටතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධව අත්අඩංගුවට ගෙන සිටි සුළු වැරදි සහිත කැරලිකරුවන් නිදහස් කිරීමය. ජවිපෙ ඇදගෙන ගිය පූර්ණකාලීනයින් සහ අර්ධකාලීනයෝ 50 ක් පමණ 1977 ජුලි මහ මැතිවරණය වන විට තුල්හිරියේ සේවය කළහ. එහි නේවාසික කාමරවල කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල තරුණයින්ට ජවිපෙ අධ්‍යාපන පන්ති පැවැත්විණි. තුල්හිරියේ සේවය කරද්දීම ගීගනගේ චන්ද්‍රසිරි 1974 අවසානයේ දී ජවිපෙ පූර්ණකාලීනයෙකු විය. ඒ වන විට තුල්හිරියේ සේවය කළ ඔහු කිහිපවරක් වැඩ තහනමකට ලක්විය.


රෝහණ විජේවීර 1977 නොවැම්බර් 2 සිරදඬුවමින් නිදහස් වීමෙන් පසු ප්‍රථම රැලිය 1977 නොවැම්බර් 7 ටවුන්හෝල් හිදී පැවැත් වූ අතර 2 වැන්න පසුදින පැවැතියේ වරකාපොළදීය. එජාප ආණ්ඩුවේ රජයේ ආයතන පෞද්ගලීකරණයට එරෙහිව පළමු වර්ජනය 1978 මාර්තු 15 ආරම්භ වූයේ තුල්හිරිය පෙහෙකම්හල තුළිනි. ආණ්ඩුව 1978 මාර්තු 18 කම්හල වසා දමන විට එහි සේවකයින් 2,396 ක් සේවය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස කුරුණෑගල දිසා ලේකම් ඉන්ද්‍රරත්න ගේ නායකත්වය යටතේ කුරුණෑගල  නගරය, බිංගිරිය සහ පඬුවස්නුවර ආසන ජවිපෙ සඳහා 1978 සම්බන්ධීකරණය කළේ චන්ද්‍රසිරිය.

 

 

අනතුරුව යාපනය දිස්ත්‍රික්කය සහ ජවිපෙ මූලස්ථානය 1981 සිට 1983 ජුලි දක්වා සම්බන්ධීකරණය චන්ද්‍රසිරි සිදුකරන විට යාපනය බාරව සිටි ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා වූයේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේය. වැලිමඩ උපන් වතු ද්‍රවිඩ ජාතිකයෙකු වූ ෆොන්සේකා සහ යාපනය ධීවර සංස්ථාවේ ලිපිකරුවෙකු වූ වාරියපොල ජාතිලක ද යාපනයේ ජවිපෙ කටයුතුවලට එක්ව සිටි පිරිස අතර වූහ. රත්ගමින් අවාහ වී සිටි ෆොන්සේකා ජවිපෙ 2 වැනි කැරලි සමයේදී අත් අඩංගුවට පත්ව මත්තේගොඩදී ඝාතනයට පත්විය. දැනට කැනඩාවේ ජීවත්වන ඉන්ගෝවන් හෙවත් ටාසන් මුදලාලි යාපනය ජවිපෙ කටයුතුවලට නොමසුරුව අත දුන්නෙකි.
ජවිපෙ 1983 ජුලි තහනමින් පසු ජවිපෙ නව ප්‍රවණතාව ගොඩනැගීම සඳහා 1983 ඔක්තෝබර් මසදී මූලික සාකච්ඡා ඇරඹිණි. නව ප්‍රවණතාව කණ්ඩායමක් ලෙස විධිමත්ව ක්‍රියාවට නැගෙන්ණේ 1984 අප්‍රේල් මසදීය. 1985 අවසානය වන විට රටපුරා ජවිපෙ නව ප්‍රවණතාවයට අයත් 100 ක පමණ සංවිධාන ජාලයක් හිතවතුන් වශයෙන් ගොඩනගා තිබිණි. ඉන් 25ක් පමණ පූර්ණකාලීන සහ අර්ධකාලීනයින් විය උතුරු නැගෙනහිර පවා පූර්ණකාලීනයෝ ඒ අතර වූහ.


වසර 1983 අවසානයේ සිට 1984 මුල් භාගය දක්වා ජවිපෙ නව ප්‍රවණතාවයේ නායක ඇතුළු ක්‍රියාකාරිකයෝ රටපුරා විවිධ දිස්ත්‍රික්කවලට ගොස් ජවිපෙ සමඟ එක්ව සිටි අය තම ව්‍යාපාරයට ගොනුකර ගැනීම සඳහා සාකච්ඡා පැවැත් වූහ. ඒ අතර මඩකළපුවේ ජවිපෙ හිටපු සංවිධායක එම්. ටී. එම් ඊබ්‍රා ලෙබ්බේ, කිලිනොච්චියේ ජවිපෙ හිටපු සංවිධායක ගනේෂපිල්ලේ, මැදිරිගිරියේ එස්. එම්. ආදම් ලෙබ්බේ, මහමුද් නාවුර් පිච්චේ, පී. කේ බාලසුබ්‍රමනියම්, සමස්ත ලංකා වතු කම්කරු සේවක සංගමයේ එස්. සිවඥානම්, මඩකළපුවේ විදුහල්පතිවරයෙකු වූ අබ්දුල් මුබාරක් ඇතුළු කිහිප දෙනෙකුද වූ බව කියති.


ජවිපෙ නව ප්‍රවණතාවයේ අධ්‍යාපන අංශය වශයෙන් ඔවුන් සැලකුවේ 1981 පෙබරවාරි 8 ආරම්භ වූ සමාජවාදී ජනතා ව්‍යාපාරයයි. එය සහ ජවිපෙ නව ප්‍රවණතාවය අතර සම්බන්ධය ඇතිවූයේ 1983 අගෝස්තු මසදීය. සමාජවාදී ජනතා ව්‍යාපාරයට විධිමත් ක්‍රියාකාරී සමාජික පදනමක් හෝ පුළුල් වැඩපිළිවෙළක් නොතිබුණද එය දේශපාලනය ගැඹුරින් වටහාගත් කණ්ඩායමක් විය. එහෙත් සමාජවාදී ජනතා ව්‍යාපාරයට ජවිපෙ නව ප්‍රවණතාවයෙන් පෝෂණයක් නොලැබුණා පමණක් නොව ජවිපෙ නව ප්‍රවණතාවයටද සමාජවාදී ජනතා ව්‍යාපාරයෙන් ඔවුන් බලාපොරොත්තු වූ තරම් අධ්‍යාපන අංශයෙන් ප්‍රගතියක් නොලැබිණි. එබැවින් මෙම දෙපිරිස අතර සබැඳියාව ශක්තිමත් අන්දමෙන් ගලා ගියේද නැත.


ජවිපෙ නව ප්‍රවණතාවයේ තවත් ප්‍රබල නායකයෙකු වූයේ අර්ඞ්ලි ප්‍රැන්සිස් ද වාස් තිලකරත්න හෙවත් සුනිල් ජයරත්නය. ඔහු හැටේ දශකයේ අවසාන භාගයේදී පේරාදෙණිය සරසවියේ උපාධිය හදාරමින් සිටියදී පූර්ණකාලීනව ජවිපෙට එක් වි 71 අප්‍රේල් සිදුවීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන දිගුකාලීනව සිරදඬුවම් විඳි අයෙකි. පසුව 1977 නොවැම්බර් මස නිදහස ලැබීය. කැලණිය ධර්මාලෝක විදුහලේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහු ජවිපෙට එක්වූයේ පියසිරි කුලරත්න මගිනි. කියුබාවේ හවානා නුවර 1978 දී පැවති ලෝක තරුණ සහ ශිෂ්‍ය සමුළු උළෙලට ලංකාවෙන් නියෝජිතයින් 101 සහභාගි වූ අතර එයට ජවිපෙ නියෝජනය කරමින් එක්වූයේ විජේවීර, කෙලී සේනානායක, වාස් තිලකරත්න, සෝමවංශ අමරසිංහ සහ සුනිලා අබේසේකර වූහ. වාස් සමාජවාදී තරුණ සංගමයේ ප්‍රධාන ලේකම් වශයෙන් සහ 1981 දී ගම්පහ සංවර්ධන සභාවට තරඟකර ජවිපෙ කණ්ඩායම මෙහෙයවා එහි සභිකයෙකු වශයෙන්ද කටයුතු කළ අයෙකි.

 

ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු ලෙස සිටියදී ජවිපෙන් 1982 ඉවත් කළ පසු ජවිපෙට එරෙහිව කටයුතු කළ වාස් තිලකරත්නට ජවිපෙ මගින් ඇල්ල වැල්ලවායේදී 1986 සැප්තැම්බර් 9 වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කරන ලදී. ඉන් බරපතළ තුවාල ලබා ජීවිතය බේරාගත් වාස් වැල්ලවාය රෝහල මගින් බදුල්ල රෝහලට මාරු කරන ලදී. එදින රාත්‍රී ජවිපෙ මගින් බදුල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත් වාස්ට යළි ඇඳේදී වෙඩි තබන ලද අතර යාබද අයෙකු එම වෙඩි පහරින් මිය ගියේය. බදුල්ල රෝහල මගින් වාස්ව 1986 සැප්තැම්බර් 15 කොළඹ දන්ත රෝහලින් 2 වැනි වාට්ටුවට ඇතුළු කරන ලදී. රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්. රාජපක්ෂ විසින් 1986 සැප්තැම්බර් 18 කොළඹ රෝහලේදී අත්අඩංගුවට ගත් ඔහු කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් 1986 සැප්තැම්බර් 19 රිමාන්ඞ් බන්ධනාගාර රෝහලට යොමුකර නඩුවට ඉදිරිපත් කළේය. පසුව නිදහසින් පසුව ජවිපෙ මුලිනුපුටා දැමීමේ ක්‍රියාමාර්ගයකට ආරක්ෂක හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කළ වාස් අවසානයේ කිරුළපනේ ආරක්ෂක අංශ විසින් කුලියට ගෙන තිබූ ස්ථානයකදී හෘදයාබාධයකින් මිය ගියේය. කැලණිය කොහොල්ලව පදිංචිකරුවෙකු වූ වාස් විවාහව සිටියේ කුරුණෑගල මහව විජේකෝන් පවුලෙනි. වැන්දඹු බිරිඳ සහ දියණිය වර්තමානයේ විදේශගතව සිටිති.


ජවිපෙ නව ප්‍රවණතාවයේ සාමාජිකයින් සහ එහි කටයුතුවලට එරෙහිව ක්‍රියාකිරීමේ බලය ජවිපෙ විසින් 1985 දී පැවරුවේ ජවිපෙ ලේකම් උපතිස්ස ගමනායකටය. ඒ අනුව එහි කටයුතු සරසවිවල සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලීමට ජවිපෙ විසින් පත්කළේ කැලණි සරසවියේ 1981 වාණිජ කණ්ඩායමේ උපාධිධාරියෙකු වූ ජවිපෙ උතුරු මැද ශිෂ්‍ය අංශයේ කලාප නායකයෙක් වූ විමල් රංජිත් වීරවංශටය. එහි ප්‍රතිඵලයක් ලෙස මොරටු සරසවිය තුළ සිටි ජවිපෙ නව ප්‍රවණතාවයේ සිසු නායකයින් පොලිස් අත් අඩංගුවට පත් වූහ. උපාලි ජයවීරගේ සමීපතමයෙකු වූ විමල් රංජිත් වීරවංශ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශයේ කලාප නායකයෙකු වූ ඔහු 1988 අගෝස්තු සිට ජවිපෙ ජාතික කම්කරු සටන් මධ්‍යස්ථානයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙවැනියා විය. පසුව විමල් කිරුළපන පිහිටි සණස මහා සංගමයේ සණස පුවත්පතේ සංස්කාරව සිටියදී 1989 මුල්භාගයේදී පිළියන්දලදී පොලිසිය විසින් පැහැරගෙන යාමෙන් පසුව ඝාතනයට ලක්විය.


නව ප්‍රවණතාවයේ සාමාජිකයින් ඉවත්කිරීමේ වගකීම පැවරුණේ ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකු වූ සමරප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේටය. එහි ප්‍රතිඵලයක් ලෙස මහින්ද පතිරණ සහ වාස් තිලකරත්නට සිය නිවසේ රැකවරණය දුන් සමාජවාදී ජනතා ව්‍යාපාරයේ මාතර තිහගොඩ හත්මුන තට්ටුගේ සිරිසේන ඇතුළු කිහිප දෙනෙකු ඝාතනයට පත් වූ අතර වාස් තිලකරත්නට මරණීය තුවාල සිදුකරන ලදී.


ජවිපෙ නව ප්‍රවණතාව විසින් ප්ලොට් සංවිධානය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීම තීරණය කළේ 1984 මැද භාගයේදීය. ප්ලොට් සංවිධානය යනු උමා මහේෂ්වරන්ගේ නායකත්වයෙන් 1980 පිහිටුවාගත් දෙමළ ඊළාම් ජනතා විමුක්ති සංවිධානය වේ. දෙමළ බෙදුම්වාදී සංවිධානයක් වන එය 80 දශකය මුල් භාගයේ දී ක්‍රම ක්‍රමයෙන් ශක්තිමත් සංවිධානයක් බවට පරිවර්තනය වෙමින් තිබිණි. උමා මහේෂ්වරන් විසින් ජවිපෙ නව ප්‍රවණතාව සමඟ සාකච්ඡා කිරීමේ බලය පවරන ලද්දේ ප්ලොට් නියෝජ්‍ය නායකයෙකු වශයෙන් දකුණු පළාත භාරව කටයුතු කළ ගෞරි කාන්දන් හෙවත් සුප්පයියා හෙවත් කාන්තන්ය. හැත්තෑව දශකයේ දී ගාමිණී යාපා ගේ පෙරදිග සුළං ව්‍යාපාරයට යාපනයෙන් සම්බන්ධව සිටි ගෞරි කාන්දන් යාපනය ග්‍රාමීය කම්කරුවන්ගේ සංගමයේ හිටපු නායකයෙකි. ජවිපෙ නව ප්‍රවණතාව වෙනුවෙන් ප්ලොට් සමඟ මෙම සාකච්ඡා සම්බන්ධීකරණය කළේ වව්නියාව මඩුකන්දේ පදිංචි එස්. එම්. කුමාරසිංහ සහ ආනන්ද ජයසිංහ වෙති. පසුකාලීනව එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී සංවිධානයට එක් වූ ගෞරි කාන්දන් වර්තමානයේ ඇමරිකාවේ පදිංචිව සිටී.


ප්ලොට් සහ ජවිපෙ නව ප්‍රවනතාව අතර නිල සාකච්ඡා වව්නියාවේ කැලෑබදව පිහිටි ප්ලොට් කඳවුරේ 1985 අප්‍රේල් 22, 23, 24 සහ 25 සිව් දිනක් මුළුල්ලේ පැවැත්විණි. ගෞරි කාන්දන්ට අමතරව උමා මහේෂ්වරන් ගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් ප්ලොට් සන්නද්ධ නායකයෙකු වූ සෙන්තිල් සහ සම්බන්ධීකරණ නියෝජිත රාමයියා එම සාකච්ඡාවට ප්ලොට් සංවිධානය නියෝජනය කළහ.

 

 

 

 

 

මතු සම්බන්ධයි.