තිස්ස හිරගෙට


තිස්සගේ මතක වත-118

 

මේ අතරෙ මට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරපු නඩුව නීතිපතිවරයා විසින් නැවත වතාවක් මහාධිකරණයට ගොනුකරල තිබුණා. ඒක මහාධිකරණයට ගොනු කළේ මට එරෙහිව චෝදනා තුනක් යටතේ.


ඒ චෝදනා තුන මෙහෙමයි. එකක් අයි.සී.සී.ජී.ආර්. කියන පනත යටතේ ගොනු කරලා තිබුණේ. ඒකෙන් කියවුණේ ජාතීන් අතර අසමගිය, ගැටුම් සහ වාර්ගික අර්බුදයක් හදන්න උත්සාහ කළා කියලා. දෙවැනි චෝදනාව වුණේ ජනාධිපතිවරණය පනත යටතේ මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණය වළක්වන්න උත්සාහ කළා කියන එක. මම එයාගේ ජයග්‍රහණයට බාධාවක් ඇති කළා කියලා තමයි සඳහන් වුණේ. තුන්වැනි චෝදනාව ගොනු වුණේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මම රටට සාවද්‍ය ප්‍රකාශයක් කළා කියල එයින් කියවුණේ. මේ චෝදනා තුන යටතේ මාව 2016 ඔක්තෝබර් මාසේ මහාධිකරණයට ඉදිරිපත් කළා. එතනදී මහාධිකරණය කළේ මාව එකදිගට දින හතළිස් පහක් බන්ධනාගාරගත කිරීම. පහළ අධිකරණයෙන් ඇප ලබාදීල තියෙනවා නම් හුඟක් වෙලාවට මහාධිකරණයෙන් එම ඇපයම වලංගු කරමින් නඩුව විභාගයට ගන්නවා. ඒත් මෙතනදී විශේෂත්වයක් වුණා. මට එරෙහිව පවරපු නඩුව රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් වගේ සලකලා බරපතළ විදියට මහාධිකරණයේදී කරුණු ඉදිරිපත් කරමින් ජාතික අපරාධකරුවෙක් වගේ මාව බන්ධනාගාර ගත කළා. මේ නඩුව ගොනුකරලා මාව රිමාන්ඞ් කරනකොටම අධිකරණයෙන් නියම කළා මේ නඩුව එකදිගට විභාග කරන්න කියලා. අයි.සී.සී.පී.ආර්. එක යටතේ ගොනුවෙන නඩුවක විශේෂත්වය තමයි සෙසු නඩු පසෙක තබා මේ නඩු හැකි ඉක්මනින් විභාග කරලා අවසන් කරන්න ඕන කියලා.


මේ නඩුව යටතේ දින හතළිස් පහක් පුරා මම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවා. බන්ධනාගාරය ඇතුළෙ ඉන්නකොට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධවුණා. ඒ දින හතළිස් පහ පුරාම මට එළියට එන්න ලැබුණෙම නෑ. ඔය කාලෙ විවිධ සිදුවීම්වලට අදාළව අපි දන්න කියන අය එහෙට ආවා ගියා. ඒ අයත් ඉඳහිට මුණගැහුණ. බන්ධනාගාරය ඇතුළෙදි මට විශේෂ පහසුකමක් කියල හම්බවුණේ පොත්පත් සහ පත්තර ටික ගේන්න අවසර ලැබීමත් මට කෑමබීම එළියෙන් ගන්න අවසර ලැබීමත් විතරයි. මගේ ඇස්වල තිබුණු යම් ආබාධයකට ප්‍රතිකාර ගන්න අවශ්‍ය බව ඉල්ලුවත් ඊට අවසර ලැබුණෙ නෑ. බන්ධනාගාර නිලධාරීන්ගෙ මිත්‍රශීලීකම මට ලැබුණා. ඒක මතක් කරන්න ඕන. රැඳවියන් සහ සිරකරුවන් වුණත් මට හොඳ සැලකිල්ලක් දැක්වූවා.


ඇතුළෙ ඉන්න ගමන් කම්මැලිකමටත් එක්ක මොකක් හරි කරන්න ඕනෑ කියල කල්පනා කරලා මම ඊට පෙර සිදුවුණු සිදුවීම් සියල්ල ලියන්න පටන්ගත්තා. ජනාධිපතිවරණය පසුබිම් කරගෙන එහිදී ඇත්තට සිදුවුණේ මොකක්ද කියලා මම ලිව්වා.


මුලින්ම මේක පෙරළියක සුලමුල කියල තමයි ලිව්වේ. ඒක දැන් නොකී කතා කියල මුද්‍රණය කරල තියෙන්නේ. තව නොබෝ දිනයකින් ඒ පොත ජනගත කරන්න හිතාගෙන ඉන්නේ. ඒ පොතේ කරුණු රාශියක් තියෙනවා. බොහෝ දෙනෙක් දන්නෙ නැති තිරය පිටුපස සිදුවුණු සිදුවීම් ඒකට ඇතුළත්. ජනාධිපතිවරණයේදී ඇත්තටම සිද්ධවුණේ මොකක්ද කියලා කාටත් ඒකෙන් දැනගන්න පුළුවන් වේවි.


මේ අතරේ මම ඇප ඉල්ලල මහාධිකරණයට පෙත්සමක් ගොනු කළා. දෙවෙනි වතාවටත් මගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. නැවතත් මාව රිමාන්ඞ් භාරයේ තියන්න නියම කළා. ඊළඟ පියවර විදියට මට යන්න තිබුණේ අභියාචනාධිකරණයට. ඒ අනුව මම අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කළා. ඒක විභාග කරන්න අභියාචනාධිකරණය අවසර දුන්නා. විභාග කරලා තීන්දුව ලබාදෙන්න නියමිතව තිබුණු දවසෙම දවස් හතළිස් පහකට පස්සෙ මට ඇප නියම කළා. ඒ අනුව මම ඇප පිට එළියට ආවා. මම බන්ධනාගාර ගතවෙලා ඉඳපු කාලේ බොහෝදෙනෙක් මාව බලන්න ආවා. මහින්ද රාජපක්ෂ, විජේදාස රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, මහින්ද සමරසිංහ, සිරිසේන කුරේ, හේමා ප්‍රේමදාස ඇතුළු විශාල පිරිසක් ඒ අතර හිටියා.


මේ අතරේ තවත් විශේෂ කෙනෙක් හිටියා. ඒ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා. පළමු වතාවට තමයි හිටපු අගවිනිසුරු කෙනෙක් හෝ බන්ධනාගාරයට ඇවිත් රැඳවියෙක් බලපු පළමු අවස්ථාව. මගේ නඩුව සහ ඒකේ ස්වභාවය ගැන ඔහු දීර්ඝව මාත් එක්ක සාකච්ඡා කළා.


මේ නඩුව පළමු සහ දෙවෙනි සාක්ෂිකරුවන් නඩුවට නොපැමිණීම නිසා අන්තිමේ මේ නඩුව අවසන් කරන තැනට ආවා. හය වතාවක් මේ දෙන්නා නඩුවට නාපු නිසා මේ නඩුව නීතිපතිවරයා විසින් අධිකරණයේ අවසරය මත ඉල්ලා අස්කර ගත්තා. ඒ හරහා මට එල්ලවුණු චෝදනා ඇතුළත් නඩුව ඉවත්වුණා. ඒ නිසා ඒ සියලු චෝදනාවලින් මාව නිදහස් වුණා.

 


තව කොටසක් ලබන සතියට.

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය අන්තර්ජාලයෙනි