තිස්සගේ සිත් බිඳුම්


2015 ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේනගේ පළමුවැනි රැස්වීම පොලොන්නරුවේ පවත්වන්න ඕන කියලා මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහට යෝජනා කරලා තිබුණා. මෛත්‍රීපාලට තමන්ගෙ ගමෙන් රැස්වීම් මාලාව පටන් ගැනීමට ඕනෑ කිව්වම රනිල් වික්‍රමසිංහත් ඒකට කැමතිවෙලා තියෙනවා. ඒක සංවිධානය කෙරුවෙ මෛත්‍රීගේ පොළොන්නරුවෙ කණ්ඩායම. අපි ඒකට ලොකු සහයෝගයක් දැක්වූවේ නෑ.


මට දිගින් දිගටම සිද්ධ කෙරුණු කෙනහිලිකම් නිසාම මම තීරණය කළා මේ රැස්වීමට සහභාගි වෙන්නෙ නෑ කියලා. ඒ වෙනකොටත් මට හොඳටම සුවවෙලා තිබුණෙත් නෑ. රනිල් වික්‍රමසිංහ නම් කලින්ම ගිහිල්ලා කණ්ඩලම හෝටලේ නැවතිලා හිටියා. ඔය අතරේ රනිල් මගෙන් ඇහුවා රැස්වීමට පොලොන්නරු යන්න එන්නෙ නැද්ද කියලා. මම කිව්වා ටිකක් අසනීප නිසා මම එන්නේ නෑ. රනිල් දිගින් දිගටම කිව්වා එහෙම කරන්න එපා කොහොම හරි එන්නම ඕනෑ කියලා. පළමුවැනි රැස්වීමටම යූ.එන්.පී. එකේ මහලේකම් සහභාගි වුණේ නෑ කියලා ආණ්ඩුව අපිට මඩ ගහන්න බලාවි. ඒක නිසා නොවරදවාම එන්න කියලා රනිල් කිව්වා. මම කිව්වා මම එන්න කලින් ප්‍රශ්න කීපයක් විසඳගන්න තියෙනවා කියලා. රනිල් කිව්වා “හරි හරි ඒ ඔක්කොම කතා කරමු ඔයා රෑට කණ්ඩලමට එන්න” කියලා. රනිල් මම එනකම් රෑට කෑම ගන්නෙත් නැතුව බලාගෙන ඉන්නවා කියලත් කිව්වා. එච්චරම ඉල්ලපු නිසාම මම අපේ හිතවතුන්ගෙ වාහනේකින් කණ්ඩලමට ගියා. අපි දෙන්නා රෑ කෑම ගන්න අතරේ මට තියෙන ප්‍රශ්න ටික මම රනිල්ට කියන්න පටන් ගත්තා. අපි සෑහෙන වෙලාවක් මේ ප්‍රශ්න ගැන කතාබහ කළා.


මගේ ප්‍රශ්න වගේම මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු ගැන ඡන්දෙන් පස්සේ වගකීම් බෙදන විදිය ගැනත් දීර්ඝව කතා කළා. මම නම් කිව්වා මෛත්‍රී මම ගැන නම් දැනුත් ඒ තරම් සතුටින් නැතුව ඇති කියලා. මම රනිල්ට කිව්වා මේ හැම දේම කෙළින්ම කතා කරලා විසඳගන්න මෛත්‍රී එක්ක සාකච්ඡාවක් ඕනෑ කියලා. රනිල් ඒක ලෑස්ති කරන්නම් කියලා පොරොන්දු වුණා. මම එදා රනිල්ට කිව්වා “2015 ජනාධිපතිවරණය දිනුවොත් එදා ඉඳලා අපි “ප්ලෑන්” කරන්න ඕනෑ ඊළඟ ජනාධිපතිවරණයට” කියලා. මොකද ඊළඟ එකටත් තවත් පොදු අපේක්ෂකයෙක් ගෙනියන්න බෑ කියලා මම කිව්වා.


පහුවදා දවල් අපි කණ්ඩලමෙ ඉඳලා පොළොන්නරුවෙ රැස්වීමට පිටත් වුණා. හවස තමයි රැස්වීම සූදානම් කරලා තිබුණේ. ඒ රැස්වීමට යන්න කලින් පොළොන්නරුවෙ කින්ස් නෙල්සන්ගෙ බල මණ්ඩල රැස්වීම් දෙකකටත් සහභාගි වුණා. ඒ රැස්වීම් දෙක ඉවරවෙලා අපි ගියේ අරලිය හෝටලයට. ඩඞ්ලි සිරිසේන අපිට තේ ලෑස්ති කරලා තිබුණා. අරලිය හෝටලේ එතන ඉඳලා තමයි අපි රැස්වීමට ගියේ. රැස්වීමට විශාල සෙනගකුත් ඇවිත් හිටියා. මම මුලින්ම කතා කරලා කලින් යනවා කියලා දැනුම් දුන්නා. රනිල් වික්‍රමසිංහ එදා පොළොන්නරුවෙ නතර වෙනවා කියලා කිව්වා. මගේ කතාවට කලින් රනිල් මෛත්‍රීට කිව්වා තිස්ස එක්ක වෙනම හමුවෙලා සාකච්ඡා කරන්න කියලා. මෛත්‍රීත් කිව්වා හරි හරි හෙට උදේ හම්බවෙලා කතා කරමු කියලා. මම මගේ කතාවත් කරලා වේලාසනම කොළඹ එන්න පිටත් වුණා.


ඊට පහුවැනිදා විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී මෛත්‍රීත් සිවිල් සංවිධාන අතර අවබෝධතා ගිවිසුම අත්සන් කරන වැඬේ යොදා ගෙන තිබුණා. ඒක මංගල සමරවීරලා තමයි සංවිධානය කළේ. මේ වැඬේට ගියාම තමයි මට ගොඩක්ම කලකිරීමක් ඇති වුණේ. පක්‍ෂ මහලේකම් විදියට මට වාඩිවෙන්න වෙන් කරලා තිබුණෙ පිටිපස්සේ පේළියක කෙළවරක පුටුවක්. මම මේ වැඩවලට හවුල් වෙලා ඉඳපු සිරිකොත නිලධාරියකුගෙන් ඇහුවා කවුද මේ විදියට සැලසුම් කළේ කියලා. ඔහු කිව්වෙ ඒක කළේ මංගල සමරවීර කියලා. මම ඒ නිලධාරීන්ට දොස් කියලා මට වෙන් කරලා තිබුණු පුටුවෙ වාඩිවෙලා කල්පනා කර කර හිටියා. එහෙම ඉන්නකොට මංගල මගේ ළඟට ඇවිත් ඇහුවා “තිස්ස මොකද මෙතන කරන්නේ එන්න මම ඉන්න තැනට කියලා. මම කිව්වා කමක් නෑ මම මට වෙන්කරපු පුටුවෙම ඉන්නම් කියලා. මට තේරුණා මේ කට්ටිය මාව එන්න එන්නම නොසලකා හැරලා වැඩ කරනවා කියලා. එන්න එන්න තත්ත්වය නරක අතට යන නිසා මමත් තීන්දුවත් ගන්න ඕන කියලා මම හිතුවා. මම එතෙන්ට ගියේම මෛත්‍රී මාව හමුවෙලා සාකච්ඡා කරමු කියලා කලින් දවසේ කියපු නිසා. ඒ වැඩ කටයුතු ඉවර වුණාට පස්සේ මම මෛත්‍රී ළඟට ගිහින් ඇහුවා දැන් අපි යොදා ගත්ත විදියට සාකච්ඡාව කරනව නේද කියලා. මෛත්‍රී ගත් කටටම ‘අද නම් හම්බවෙන්න විදියත් නෑ පස්සෙ බලමු’ කියලා කිවුවා. මට තේරුණා ඒකත් කෙරෙන වැඩක් නෙවෙයි කියලා. එවෙලෙම මම එතනින් පිටවෙලා ආවා. මම තීරණය කළා තවත් මෙතැන ඉඳලා වැඩක් නෑ කියලා. ඔය අතරේ මම මහින්ද රාජපක්‍ෂට සහය දෙන්න සූදානමක් තියෙනවා කියලත් කතාවක් හෝ ගහලා ප්‍රචාරය වෙන්න පටන් ගත්තා. ඒත් ඒ වෙනකම් එහෙම කිසිම සූදානමක් තිබුණේ නෑ.

 


තව කොටසක් ලබන සතියට.

 

 


ප්‍රියන්ත කොඩිප්පිලි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි