තුර්කි ජාතික සංවිධානයක් වන ෆෙටෝ හෙවත් ෆටිතුල්ලා සංවිධානයේ සාමාජිකයන් පනස් දෙනකු මෙරටට පැමිණ ඇති බවට මීට වසර දෙකකට පෙර ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට දන්වා ඇතැයි අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. තුර්කි තානාපති තුන්ජා ඕස්චුහදාර් මහතා එම පනස් දෙනාගේ සවිස්තරාත්මක රහස්‍ය වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශයට හා ආරක්ෂක අමාත්‍යාංශයට බාර දී ඇති බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
ඇඟ කිළිපොලා යන ත්‍රාසජනක කතාව ඇරැඹෙන්නේ ඉන් අනතුරුවය.
ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරයා එබඳු රහස්‍ය වාර්තාවක් ලබා දුන් බව සත්‍යකැයි අප පුවත්පතට සහතික වූ එවකට විදේශ කටයුතු රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ අදාළ විස්තර දෙවතාවක්ම ෆැක්ස් මගින් ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කළ බවය. ආරක්ෂක අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඒ පිළිබඳව විමසූ විට අදාළ විමර්ශන කටයුතු මින් ඉදිරියට පැවරෙන්නේ ආරක්ෂක මණ්ඩලයට බව ලිඛිතව දැනුම් දුන් බව ද වසන්ත සේනානායක මහතා පැවසීය.
ෆටිතුල්ලා ගුලාම් නමැත්තා ෆෙටෝ සංවිධානයේ නායකයාය. එම සංවිධානය තුර්කියේ තහනම් කර ඇති සංවිධානයක් බැවින් ඔහුට තුර්කියේ වාසය තහනම්ය. එහෙයින් ඔහු ඇමරිකාවට පලා ගොස් සිටී. තුර්කිය දැනට පාලන බලය හොබවන ඒ.කේ.පී. පක්ෂයේ පාර්ශ්වකරුවකුව සිටි මෙම සංවිධානය 2016 වසරේදී කුමන්ත්‍රණකාරි ලෙස රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට උත්සහ කළේය. උත්සාහය අසාර්ථක විය. රාජ්‍ය විරෝධීන් බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වූ පසු එම කුමන්ත්‍රණකරුවෝ විවිධ රටවලට පලා ගියහ.
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයටත් ආරක්ෂක අමාත්‍යාංශයටත් සියලු විස්තර සහිතව දැනුම් දෙන්නේ එම කුමන්ත්‍රණකරුවන්ගෙන් පනස් දෙනකු මෙරටට පැමිණ ඇති බවය. අප පුවත්පත ඇමතූ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා පවසන්නේ තමන් ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොවන විට තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමත්‍යාංශයෙන් විමසූ බවත් මුස්ලිම් ජාතික දේශපාලනඥයන් දෙදෙනකුගේ මැදිහත්වීම් මත එම විමර්ශන කටයුතු අඩාල වී ඇති බව දැනුම්දුන් බවත්ය.
රාජ්‍ය ආරක්ෂාවට ඍජුවම තර්ජනයක් වන කාර්යයකදී මෙරට වගකිවයුත්තන්ගේ හැසිරීම නින්දා සහගතය. නිර්ලැජ්ජිතය. අවම තරමින් ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ප්‍රකට කළ දේශානුරාගයෙන් බිඳක් හෝ අපේ බලධාරීන් සතු වූ බවක් පෙනෙන්නට නැත.
ෆෙටෝ සංවිධානය ලෝකයේ විවිධ රටවලට පැන ඔවුන්ගේ සුන්නි අන්තවාදී මතය ප්‍රචාරය කිරීමට පටන් ගෙන තිබේ. ඒ වෙනුවෙන්ම බටහිර හා ආසියානු රටවල් රැසක පාසල් පවා ආරම්භ කර ඇත. ඩෙන්මාර්කය, ග්‍රීසිය, කැනඩාව, ස්විට්සර්ලන්තය, ඇල්බේනියාව, ඕස්ටේ්‍රලියාව, චීනය, ඉන්දියාව හා යේමනය වැනි රටවල් ෆෙටෝ අන්තවාදීන්ගේ ග්‍රහණයට ගොදුරු වී තිබේ. තුර්කි රජය මේ සම්බන්ධයෙන් එම රටවල් දැනුම්වත් කිරීමෙන් පසු රටවල් 22ක් පමණ එම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබේ. එහෙත් අපේ රටේ මුස්ලිම් ඇමැතිවරුන් දෙදෙනකුගේ මැදිහත්වීම නිසා එම විමර්ශන කටයුතු අතහැර දැමීමට සිදුවී තිබීම අප තේරුම් ගත යුත්තේ කොයි ආකාරයෙන් ද යන්න වෙනමම කල්පනා කළ යුත්තකි.
සංහිඳියාව යනු ඕනෑම අයකුට ඕනෑම දෙයක් කිරීමට අවස්ථාව සැලසීම නොවේ. අනෙකාගේ සිත රිදෙනු ඇතැයි ද අප ඔවුන්ගේ මූලික හිමිකම් කඩ කර ඇතැයි චෝදනාවට ලක්වනු ඇතැයි ද සිතා අන්තවාදීන්ට රිස්සක් කර ගැනීමට ඉඩදීම කෙලෙසකින් හෝ නිවට බවින් වෙනස් නොවන්නකි. රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු නිවටවීම යැයි වරදවා වටහාගෙන ඇති ගරු කටයුතු මහත්වරුන් සංහිඳියාව නමැති වහන්දරාවෙන් සිය නිරුවත වසා ගැනීමට උත්සහ දරා තිබේ. අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයෙන් ද ඒකාන්ත වශයෙන් ඔප්පු වූ පරම සත්‍ය එයයි.
මේ රට යනු කාගේවත් බූදලයක් නොවේ. මේ රට අයිති මේ බිමේ සැබෑ සුජාත දූ පුතුන්ට ය. උපනූපන් පරම්පරාවන්ටය. එම පරම්පරාවන්ට අප මේ රට ඉතිරි කර දිය යුතුය. රට උකසට තබා සූදු කෙළීමට කිසිවකුට අයිතියක් නැත. මේ ගරු කටයුතු මහත්වරුන් අවම තරමින් ශ්‍රී ලංකාවේ සිටින තුර්කි තානාපතිවරයාගෙන් හෝ දේශානුරාගය යනු කුමක්දැයි ඉගෙනගත යුතුය. එක් අතකින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබුවේ මෙයාකාරයෙන් නම් රට මෙසේ හෝ තිබීම සම්බන්ධයෙන් සතුටට පත්වීමට පුරවැසියාට හැකියාව ඇත.