රණවිරු ගායේ පැරැණි කතා
03 වැනි කොටස
දෙදහස් එකේ වසර වන විට කොටි ඉතා ප්‍රබල හා ජයග්‍රාහී තත්ත්වයකට තම මානසිකත්වය ගොඩ නගාගෙන තිබුණි. ඔව්න් හමුදා කඳවුරු ගණනාවක් වටලා ඒවා විනාශ කර අවි ආයුධ තොග පිටින් පැහැරගෙන තිබුණි. දේශපාලන නායකයන්ට මෙන්ම අතිබහුතරයක් ජනතාවට ද හැඟී ගොස් තිබුණේ යුද්ධයෙන් එල්ටීටීඊ ය පරාජය කිරීම යනු කිසි දිනකත් ඉටුකරගත නොහැකි සිහිනයක් පමණක් බවයි. එය සමස්තයක් වශයෙන්ම ජාත්‍යන්තරයේම පොදු මතය බවට පත්ව තිබුණි. මෙම පසුබිම මත ප්‍රභාකරන් කොතරම් උද්දාමයට පත්ව සිටියේ ද යත් එම වසරේ මහ විරු දින මෙවැනි ප්‍රකාශයක් කළේය. “අපට එරෙහිව කුමන බලවේග සහ කුමන අභියෝග මතු වුවත් ඒ සියල්ලටම නොබියව මුහුණ දෙමින් අපි යාපනය නිදහස් කර ගැනීමේ තිර අධිෂ්ඨානයෙන් පසුවෙමු. දෙමළ කොටින්ගේ සන්නද්ධ අරගලය කිසිදා පරාජය කළ නොහැක.”
මෙවැනි දේශපාලන පසුබිමක් නිර්මාණය වී තිබිය දී නෝර්වේ රාජ්‍යයේ මැදිහත් වීම හරහා සටන් විරාම ගිවිසුමක් කලඑළි බසින සූදානමක් ඇතිවිය. නෝර්වේ රාජ්‍යයේ කපුකම මත ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් කොටි සංවිධානය වෙනුවෙන් ප්‍රභාාකරනුත් දෙපොලක දී මෙම ගිවිසුමට අත්සන් කළහ. මෙයින් පසු තායිලන්තයේදීත් ජපානයේත් නෝර්වේ රටේදීත් සාම සාකච්ඡා පැවැතිය ද කොටින්ට අවශ්‍ය වූවේ කල්මරමින් ආයුධ රැස්කරගෙන ශක්තිමත් වීම බව පෙනෙන්නට තිබුණු සත්‍යය විය. මේ කුමන ආකාරයේ සාමයට බර දේ සිදුවුවත් කොටි තම යටිකුට්ටු වැඩ අත්නොහළහ. ආයුධ නැව් ගණන් ගෙන ආහ. ප්‍රහාර සැලසුම් කළහ. මේ සියලු දේ මෙසේ සිදුවෙද්දී 2004 අවසානයේ පැවැති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා එම තනතුරට පත්විය.
එතෙක් පැවැති රජයේ සාම වැඩපිළිවෙළට අනුකූලතාවක් නොදැක්වූ නායකයෙකු ලෙස ප්‍රකට වී සිටි රාජපක්ෂ මහතා ජාත්‍යන්තරව බලපෑම් කළ නොහැකි දුර්වල නායකයෙකු ලෙස කොටි ගණන් බැලූහ. නැවත යුද්ධය අවුස්සා මහින්ද රාජපක්ෂ යුද්ධයෙන් පරාජය කිරීම කොටින්ගේ අරමුණ විය. එය දෙමළ ඊළාම් රාජ්‍යය ලබා ගැනීමේ නවතම උපාය මාර්ගය ලෙස ඔව්හු සැලකූහ. සටන් විරාමය උල්ලංඝනය කරමින් නැගෙනහිර ගෝමරන්කඩවල වැනි ප්‍රදේශවලට පහර දුන් ඔව්හු බලවත් ලෙස කුපිත කිරීම් සිදු කළහ. ඒ අතර 2016 අප්‍රියෙල් 25 වැනිදා වෙස්වළාගත් මරාගෙන මැරෙන කාන්තාවක් කොළඹ හමුදා මූලස්ථානයට කඩා වැදී එවකට හමුදාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කර ගනිමින් විශාල විනාශයක් සිදු කළාය. මෝටර් රථයෙන් දිවා ආහාරය සඳහා නිල නිවාසය වෙත යාමට සූදානම් වෙද්දී ආරක්ෂකයෙකු විසින් දෙන ලද පා පහරකින් ඇය මඳක් ඉවතට තල්ලු නොවූවා නම් හානිය තවත් බරපතළ වීමට ඉඩ තිබුණි. මෙහිදී පුද්ගලයින් එකොළොස් දෙනකු මිය ගිය අතර තවත් විසිනව දෙනෙක් තුවාල ලැබූහ. බරපතළ තුවාල ලැබූ හමුදාපතිවරයාගේ දිවි බේරුණේ යාන්තමිනි. වහාම කොටින් මෙල්ල කිරීම සඳහා පහරදීම් ආරම්භ කිරීමට රජය තීරණය කළේය.
නැගෙනහිර පාරම්පරික මුස්ලිම් ගොවි ජනතාවක් වෙසෙන සාම්පූර් ප්‍රදේශයේ වගා බිම්වලට සහ එහි වෙසෙන විශාල ජනකායකට දෛනික අවශ්‍යතා සඳහාත් ජලය ලබා ගැනෙන මාවිල්ආරු සොරොව්ව වසා දැමීමට 2006 ජූලි 20 වැනිදා කොටි ක්‍රියා කළහ. මහවැලි ගංගාවේ ශාඛාවක් වූ මෙම විශාල ජල මාර්ගයෙන් අක්කර දාහත්දහසක් පමණක් පවුල් 15,000 කගේ පමණ අවශ්‍යතාත් ඉටු වූ බව කියනු ලැබේ. කොටින්ගේ මෙම අමනෝඥ පියවර නිසා අසීරුවට පත් සුවිශාල ජනතාවට සහනය සැලසීම සඳහා මැදිහත් වීම රජයට අත්හළ නොහැකි වගකීමක් වූවේය. සංග්‍රාමෝපක්‍රම වශයෙන් ද අතිශය වැදගත්කමක් දැරූ සාම්පූර් ප්‍රදේශය සහ මාවිල්ආරුව තමන් අත රඳවා ගැනීමට කොටි බොහෝ උපක්‍රම යෙදූහ. එහෙත් අතිශය මානවවාදී කරුණක් වන ජල සම්පාදනය අත්හිටුවීමෙන් කොටින් විසින් සිදුකරන ලද අමානුෂික ක්‍රියාවට එරෙහිව බලය යොදන ආරක්ෂක හමුදා මෙහෙයුම නම් කරන ලද්දේ මානුෂීය මෙහෙයුම නමිනි. මෙම හමුදා මෙහෙයුම දුර්වල කිරීම සඳහා කොටි රටපුරා ප්‍රහාර රැසක් දියත් කළහ. ජූලි 31 වැනිදා කන්තලේදී හමුදා බස් රථයකට ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද අතර හමුදා හටයන් දහඅට දෙනෙක් මරුමුවට පත් වූහ.
මතු සම්බන්ධයි.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි