නිර්මාණශීලී බංකොලොත් ​ශේෂ පත්‍රයක්


මේ වනවිට සමස්ත ලාංකික ජනතාවට නැතිවන්නට දෙයක් නැත. සියල්ල නැති වී හමාරය. එවැනි මොහොතක මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රංගය මට අර්ථකථනය කිරීමට සිදුවන්නේ පටාචාරා ආර්ථිකයක කිසාගෝතමියගේ රංගනයක් හැටියටය. ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතර ගොවි ජනතාවගේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය කඩාවැටී අවසන්ය. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කඩා වැටී අවසන්ය. සේවා අංශවලදී ප්‍රවාහන, රක්ෂණවල නිරත වූ සේවකයන්ගේ ජීවන පැවැත්ම ද කඩා වැටී අවසන්ය. වසර 17කට පසුව හෙවත් 2001න් පසුව ලංකාවේ අඩුම ආර්ථික වර්ධන වේගය වන 3% ද වාර්තා විය. 

පොලී අනුපාත කරටි කඩාගෙන යන්නට ඉහළ නැගලාය. ගත් ණයවල පොලී අනුපාත වාරික ගෙවාගත නොහැකිව මිනිසුන්ගේ දේපළ, ඉඩකඩම් බැංකුවලට සින්නවන තත්ත්වයක් නිර්මාණය වෙලාය. ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ගෙවාගත නොහැකිව සිය දිවි නසාගන්නා තැනට මිනිස්සු පත්ව සිටිති. අලුතින් රක්ෂා බිහිවීම වෙනුවට මෙතෙක් කලක් කර්මාන්තශාලාවල රක්ෂා කරමින් සිටි ජනතාවටද රක්ෂා අහිමි වෙමින් තිබේ. මේ නිසා විරැකියා පෝලිම දස දහස් ගණනින් තවත් දිගුව ඇත. 

මහ බැංකුවේ මහ දවල් සිදු වූ මහා කොල්ලය නිසා බැංකු ක්‍රමය පිළිබඳ විශ්වාසනීයභාවය අහිමි වී තිබේ. විදේශිකයන් මේ දිනවල සිය මුහුණු පොත්වල හාස්‍යට ලක් කරමින් බෙදාහදාගන්නා පින්තූරයකි. එහි සඳහන් වන්නේ සොරු දෙදෙනකු විසින් අස්සන් කරන ලද මුදල් නෝට්ටුවක් ගෙන වෙළෙඳසලකට ගොස් භාණ්ඩ මිලදීගන්නා ජනතාව වෙසෙන රට කුමක්ද කියාය. උත්තරයට දෙන්නේ ශ්‍රී ලංකාවය. අසරණ වූ පටාචාරා නිර්වස්ත්‍රව විසඳුමක් සොයාගෙන ගියේ බුදුරජාණන් වහන්සේ හමුවටය. මෙහි වෙනස නම් මංගල සමරවීර ටයිකෝට් ඇඳ වොෂිංටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමය. එහෙත් මංගල සමරවීරට උත්තරයක් හොයාගැනීමට හැකිවුණේ නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කීවේ තමන් සමඟ ලංකා ආණ්ඩුව ඇතිකරගෙන තිබෙන ගිවිසුම තවත් වසරකට දීර්ඝ කරන්නේද නැද්ද යන්න ගැන උත්තරයක් දෙන්නම් කියාය. එනිසා අද දවසේදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා කළේ නැවතත් කිසාගෝතමියගේ චරිතය නිරූපණය කිරීමය. මළ බව නොදන්නා නමුත් මුළුමනින්ම මළ ආර්ථිකයක් කරේ තබාගෙන පැමිණි මුදල් ඇමැතිවරයා මේ පාර්ලිමේන්තුවෙන් උත්තර සෙවීම හරියටම නොමළ ගෙයකින් අබ සෙවීමකට මිස අන් කවරකට සමවේද? 

වෙළෙඳපොල ක්‍රමය තවදුරටත් ප්‍රසාරණය කිරීම හරහා ආර්ථිකය මුළුමනින්ම ලිහිල්කරණයෙන් ද පෞද්ගලීකරණයෙන් ද ගෝලීයකරණයට නතුවීමෙන් ද රටේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය යන ආචීර්ණකල්පිත විශ්වාසය එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙළයි. මූල්‍ය අරමුදලේ ප්‍රධානතම කොන්දේසිය නම් අයවැය පරතරය 2020 වනවිට 3.5% දක්වා ගෙන ඒමය. ඊට ඇත්තේ ප්‍රධානතම ක්‍රම දෙකකි. ඒ ආදායම වැඩිකිරීම හා වියදම අඩුකිරීමය. මේ අයවැය ලේඛනයෙන් ආදායම වැඩිකිරීමට ඇති පහසුම ක්‍රමය නම් අසාමාන්‍ය ලෙස ජනතාව මත බදු පැනවීමය. සැබැවින්ම මෙය බදු පැනැවීමක් නොව බදු දඩයමකි. විසර්ජන පනතින් වෙන්කර ඇති මුදල්වලින් ප්‍රාග්ධන වියදම් මිලියන ගණනක් කපා හැර ඇත. 

ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වන විට කලින් ආණ්ඩුව ගත් ණය ගෙවිය යුතු බව දනී. එය නොදන්නේ නම් එය ආණ්ඩුවක් විය නොහැකිය. එහෙත් මේ ආණ්ඩුව බලයට පත් වූ දින සිට ණය ගැන කතා කරනු හැර වැඩ නැත. ලංකා ඉතිහාසයේ නිදහසෙන් පසු විශාල වශයෙන් දරාගත නොහැකි ණය අර්බුදය පැමිණෙන්නේ 2025දීය. මහින්ද රාජපක්ෂ මහතාට බාරගැනීමට සිදුවුණේ දැවැන්ත ණය අර්බුදයක් සහිත පාලනයකි. දළ දේශීය නිෂ්පාදිතය 100 යැයි උපකල්පනය කළහොත් රාජපක්ෂ ආණ්ඩුව පාලනය බාරගන්නා විට රාජ්‍ය ණය 3% කි. ලංකා ඉතිහාසයේ විශාලතම ණය අර්බුදය තිබුණේ 2001, 2002, 2003 හා 2004 යන වසරවලදීය. එවිට අගමැතිවරයා රනිල් වික්‍රමසිංහය. ඒ අර්බුදය යටතේ මහින්ද රාජපක්ෂ මහතා රට බාරගන්නා විට නොගෙවූ ණය ට්‍රිලියන දෙකක් තිබුණේය. ඒවා ද මහින්ද රාජපක්ෂ ගත් ණය නොවේ. ඊට පෙර ගත් ණයයි. මහින්ද රාජපක්ෂ යුගයේදී උතුරු නැගෙනහිර යුද්ධය, ඛනිජ තෙල් අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය, රාජ්‍ය ණය අර්බුදය ආදී සප්ත මහා අභියෝගයකට මුහුණ දුන්නද 2014 වනවිට ණය ප්‍රමාණය වූයේ ට්‍රිලියන 7කි. අවුරුදු ගණනාවකට වැඩි වී තිබුණේ ට්‍රිලියන 5කි. එනම් බිලියන 500 කි. දැන් එය ට්‍රිලියන 12කට ආසන්නය. එසේ බලද්දී මේ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ වසර 10කදී ගත් ණය ප්‍රමාණ වසර තුනකින් ගෙන තිබේ. 
රුපියල බාල්දු වීම නිසා නොපියවූ ණය මිලියන 10,000කට වඩා වැඩි වී තිබේ. ඒ ආකාරයට රුපියල් මිලියන දාහකට වඩා ණය පැටව් ගසා ඇත. සැබැවින්ම මේ අර්බුදය තිබෙන්නේ මේ ආණ්ඩුවට නොවේ. අපටය. ඊළඟ වාරයේදී අප ආණ්ඩුව බලය ගත්විට මූලික අවධානය දෙන්නේ ණය ප්‍රතිසැකැසුම්වලටය. කෙටි කාලයක් තුළ විදේශ වෙළෙඳපොළෙන් ගිනි පොලියට වැඩිම ණය ගෙන තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයයි. චීනයෙන් පැන්ඩා බැඳුම්කරවලින් ද ජපානයෙන් සමුරායි බැඳුම්කරවලින් ද ලෝක වෙළෙඳපොළෙන් ස්වෛරීත්ව බැඳුම්කරවලින් ද ආදී වශයෙන් මේ ආණ්ඩුවට තිබෙන්නේ පුදුමාකාර වෙළෙඳපොළ ණය ගැනීමේ දැඟලිල්ලකි. 

මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, කොළඹ පෝට් සිටිය, සුපිරි අධිවේගී මාර්ග, නෙළුම් කුලුන, නෙළුම් පොකුණ රඟහල, මහින්දෝදය පාසල් දහස, තාක්ෂණ පීඨ 251 වශයෙන් උපනූපන් පරම්පරාවලට දැනෙන පළල් සංවර්ධන ක්‍රියාදාමයක් දියත් වුණේය. එහෙත් රටට දැනෙන දැවැන්ත පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති කිසිවක් මේ පාලන කාලයේදී සිදුවුණේ නැත. යමක් සිදුවුණේ නම් ඒවාද මහින්ද රාජපක්ෂ කාලයේ ආරම්භ කළ දේය. මධ්‍යම අධිවේගය ගත්තත් මොරගහකන්ද ගත්තත් එසේය. නොඑසේව අලුතින්ම නිර්මාණාත්මකව කිසිවක් නොකළ වසර හතරකි. මේ අයවැය සැලකිය හැක්කේ එකී නිර්මාණශීලී බංකොලොත්භාවයේ ශේෂ පත්‍රය හැටියටය. 

සටහන - බිඟුන් මේනක ගමගේ