නුවරඑළිය කඳවුර-ගාල්ලේ යුනිෆෝම් බුද්ධි අංශ නොදැක්කේද


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් හෂීම් සිය අනුගාමිකයන් වෙනුවෙන් පන්ති පැවැත්වීමට සහ අවි පුහුණුව ලබාදීමට යොදාගත් බව කියන නුවරඑළියේ රුවන්එළිය ධර්මපාලපුර මාර්ගයේ පිහිටි දෙමහල් නිවෙසක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ සහරාන්ගේ කල්ලියේ බෝම්බ විශේෂඥයකු ලෙස සැලකෙන පුද්ගලයකුගෙන් ලද තොරතුරකට අනුව මෙම දෙමහල් නිවෙස සොයාගත් බවද අප ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.

දෙමහල් නිවසක් යනු ගිනි පෙට්ටියක් වැනි යමක් නොවේ. තමන්ගේ ප්‍රදේශයට ආගන්තුකයකු පැමිණි විට ඒ පිළිබඳව විමසිලිමත් වීම සාමාන්‍ය සිරිතය. එයට බෝම්බ පුපුරා යා යුතු නැත. සහරාන්ට අයත් මෙම දෙමහල් ගොඩනැගිල්ල පරිහරණය කර තිබෙන්නේ අනුගාමිකයන්ට පන්ති පැවැත්වීමට හා අවි පුහුණුව ලබාදීම සඳහාය. සාමාන්‍යයෙන් එක්වරකට පුද්ගලයන් තිස්පස් දෙනකු පමණ මේ සඳහා පැමිණ ඇත. ඒ අනුව මෙම දෙමහල් ගොඩනැගිල්ලේ කටයුතු අබිරහස් ස්වරූපයක් ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් කිසිදු ඉවක් අසල්වැසියන්ට හෝ නොදැනීම විමතිය දනවන තරම්ය.

මේ දිනවල වැඩියෙන්ම කතාබහට ලක්වන්නේ ජාතික ආරක්ෂාවය. රටේ පැවැත්ම තහවුරු වන්නේ ජාතික ආරක්ෂාව තහවුරුවන ප්‍රමාණයටය. අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පැහැදිලිවන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් නොතිබූ බවය. එබඳු අවධානයක් තිබුණේවී නම් සැක කටයුතු යමක් සිදුවන නුවරඑළියේ දෙමහල් ගොඩනැගිල්ල සෝදිසියට ලක් විය යුතුව තිබිණි.

නුවරඑළියේ දෙමහල් ගොඩනැගිල්ල සොයා ගැනීමට අදාළ ප්‍රවෘත්තිය පළවූ දිනයට පෙර දිනයේ අප පුවත්පත වාර්තා කළේ සහරාන් කල්ලියට අයත් ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් කාත්තන්කුඩි ඔල්ිකුලම් ප්‍රදේශයේදී සොයාගත් බවය. ගොවිපොළක් ලෙස මතුපිටට පෙනෙන සේ පවත්වාගෙන ගොස් තිබෙන මෙම මෙහෙයුම් මූලස්ථානයේද පන්ති පැවැත්වීම්, ඉලක්කයට වෙඩිතැබීම් පුහුණූවීම් මෙන්ම මරාගෙන මැරෙන පුහුණුවීම්ද සිදු කෙරී ඇති බව වාර්තා විය.

එහෙත් මේ සියල්ල අනාවරණය වන්නේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුවය. මෙරට බුද්ධි අංශයක් තිබුණේද යන්න සැක පහළවන තරමට තත්ත්වය භයානකය. ඇමරිකාවේ බුද්ධි අංශය වන සී.අයි.ඒ. ඉන්දියාවේ බුද්ධි අංශය වන රෝ ඔත්තු සේවය මෙන්ම ඊශ්‍රායලයේ මොසාඞ් ඔත්තු සේවය තම රට වෙනුවෙන් වෙනත් රටවල ප්‍රශ්න අර්බුද ඇති කරවීමට තරම් දියුණුය. පාකිස්තානයේ සැඟවී සිටි අල්ඛයිඩා සංවිධානයේ නායකයාට සිදුවූයේ කුමක්ද යන්න පාකිස්තාන බලධාරින්ට පවා දැන ගැනීමට හැකි වූයේ සෑහෙන කාලයකට පසුවය.

කරුණු කාරණා එපරිදි වුවද අප රටේ බුද්ධි අංශයට යාබද ඉඩමේ සිදුවන්නේ කුමක්ද යන්න පවා සොයා ගැනීමට නොහැකියාවක් පැවැති බවට කරුණු කාරණාවලින් පැහැදිලි වෙයි. එය ඉතා භයානක තත්ත්වයකි. එබඳු දුර්වල අඩියකට බුද්ධි අංශ ඇද වැටීම සම්බන්ධයෙන් වෙනමම පරීක්ෂණයක් කළ යුතුය.

අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ ගාල්ල පොලිසිය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කරාපිටිය ප්‍රදේශයේ නිවෙසක සඟවා තිබූ ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් දාහක පමණ තොගයක් සොයා ගත් බවය. ත්‍රිවිධ හමුදාවට අයත් නිල ඇඳුම් ආවාට ගියාට මැසිය නොහැකිය. ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුය. වාර්තාවන අන්දමට එසේ ලියාපදිංචි වී තිබෙන්නේ එක් ආයතනයක් පමණි. කෙසේ වෙතත් ගාල්ලේ නිවෙසින් සොයාගත් ත්‍රිවිධ හමුදා නිලඇඳුම්වල රණවිරු ලාංඡනය සහිත රණවිරු ඇපරල් ලේබලය තිබූ බවද අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය. ඒ අනුව පැහැදිලි වන්නේ මේවා ත්‍රිවිධ හමුදා නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් නොව නිල ඇඳුම් බවය.

ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් පෞද්ගලික නිවෙසකින් සොයා ගැනීම තේරුම් ගත යුත්තේ කෙසේද? කිසියම් අතපසුවීමකින් මෙය සිදුවීද? නැතහොත් සංවිධානාත්මකව සිදුකර තිබේද? එසේනම් මෙයට සම්බන්ධ පිරිස් කවුරුන්ද? ඔවුන්ගේ අරමුණු මොනවාද? පාස්කු ප්‍රහාරකයන් සමඟ ඍජු හෝ වක්‍ර සම්බන්ධයක් තිබේද? එමෙන්ම මෙම ත්‍රිවිධ හමුදා නිල ඇඳුම් ගාල්ලේ නිවෙසකට රැගෙන ආවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද? එයට පෙරද? ඊට පෙර නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වනතුරුම මේවා සොයා ගැනීමට නොහැකි වූයේ මන්ද?

ජාතික ආරක්ෂාව අනතුරට හෙළීමේ තාර්කික වන්දිය ගෙවීමට සිදු වූයේ රටේ පොදු මහජනතාවටය. අනාගතයේ තවත් මෙබඳු විපත් සිදුවීම වැළැක්විය යුතුය. ඒ සඳහා එළඹගත් සිහියෙන් යුතුව කටයුතු කිරිම බලධාරින් ඉදිරිපිට ඇති හැහැර හැරිය නොහැකි වගකීමකි.