යාපනය චුන්නාකම් තාප බලාගාරය හේතුවෙන් එම ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍රවීමත් එයින් ජන ජීවිතයට බාධා සිදුවීමත් හේතුවෙන් බලාගාරය අවට පදිංචි ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් කෝටි දෙකක වන්දියක් අගතියට පත් ජනතාවට ගෙවන ලෙස එම බලාගාරය ක්‍රියාත්මක කරන නොදර්න් පවර් කොම්පැනියට (පෞද්ගලික සමාගමට) නියෝග කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
ඓතිහාසික තීන්දුවකි. පරිසරයත් සමඟ සහජීවනයට අකැමැති හෝ එවැන්නක අගය නොදන්නා මිනිසුන්ගේ ඇස් ඇරවීමට සමත් තීන්දුවකි. එහෙයින් එම නඩු තීන්දුව එයට හිමි බරින් හඳුනා ගත යුතුය.
කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් පර්‌යේෂණවල නියැළෙන විද්‍යාඥයන් 91 දෙනෙක් පරිසරයට සම්බන්ධ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉකුත් දා බාර දුන්හ. එම වාර්තාවෙන් කියැවුණේ පරිසරයට මුදා හැරෙන ‘කාබන්’ පාලනය නොකළහොත් අනාගත ලෝකයම බරපතළ පාරිසරික හා කාලගුණික අභියෝගවලට ලක්වන බවය. එම වාර්තාවේ එක් තැනක සඳහන් වන්නේ මෙම තත්ත්වය දිගටම පැවැතියහොත් රටවල් තුනක් කාලගුණික සරණාගතයන් බවට පත්වන බවය. ඉන් එක් රටක් ශ්‍රී ලංකාවය.
ගිනි කඳු නැති, භුමි කම්පා නැති, ස්වාභාවික විපත් අවම පතිරූප දේශයක් ලෙස මේ රට වරනැඟී තිබිණි. ලෝකයේ සෙසු රටවල් සමඟ සසඳා බලන කල්හි එය ඒකාන්ත සත්‍යයකි. එබඳු රටකට අද පත් වී ඇති ඉරණම ඛේදජනකය. කාලගුණික සරණාගතයන් බවට පත්වීමේ ඉරණම අද්දර හුස්ම ගන්නා මිනිසුන් එළැඹගත් සිහියෙන් යුතුව කල්පනා කළ යුතු වන්නේ මෙම ඉරණම වෙනස් කර ගැනීම පිළිබඳවය.
රටට සංවර්ධන ව්‍යාපෘති අවශ්‍ය වේ. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. එහෙත් පාරිසරික ආරක්ෂාව සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරි රටවල් සෑම සංවර්ධන ව්‍යාපෘතියකටම අවසර නොදේ. සංවර්ධන ව්‍යපෘතියෙන් රටට ලැබෙන ආර්ථික වාසියට වඩා පරිසරයට සිදුවන හානිය සම්බන්ධයෙන් සැලකිලිමත්වීම යනු උපනූපන් දරු පරපුර වෙත ආදරය කිරීමය.
ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියකට පෙර ඒ සම්බන්ධයෙන් දියුණු පාරිසරික අධ්‍යයනයක් කළ යුතුය. ශක්‍යතා වාර්තාවක් කැඳවිය යුතුය. එය එසේ කළ යුතු බවට නීතියක්ද තිබේ. පාරිසරික ශක්‍යතා අධ්‍යයනයක් කළ යුතු වන්නේ එබඳු නීතියක් ඇති නිසා නොව එම ව්‍යාපෘතිය නිසැක වශයෙන්ම පරිසර හිතකාමීද නැද්ද යන්න තක්සේරු කිරීමටය. උපනුපන් දරු පරම්පරාවලට අසීමිත ලෙස ආදරය කරන පුරවැසියන්ගේ වගකීම එයය.
ශ්‍රී ලංකාව යනු තවමත් අවශ්‍ය මට්ටමේ බුද්ධිමය වර්ධනයක් අත්පත් කර නොගත් රටක් බව පැවසීමෙන් කිසිවකු හෝ කලබල විය යුතු නැත. ඇත්ත තත්ත්වය එයමය. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම ජාතික දායාදයක්ව පවතී. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම ජාතික සිරිතක්ව ප්‍රගුණ කරන්නේ යැයි පෙන්නුම් කරන්නේද එහෙයිනි.
ප්‍රභාකරන් යනු මානව සංහාරයක නියාමන මිනීමරු ත්‍රස්තවාදියෙකි. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. ඒ ප්‍රභාකරන් උතුරේ වන සංහාරයක් නොකළේ යැයි මෑතකදී ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාය. යුදමය වශයෙන් උපාය මාර්ගිකව වනය සංහාරය නොකළා විය හැකිය. අරමුණ කුමක් වුවද වනය සංහාරය නොකිරීම සම්බන්ධයෙන් ප්‍රභාකරන්ට පැසසුම් කළ යුතු තරමේ පාරිසරික අභියෝගයක් මුළු මහත් ජාතිය ඉදිරිපිටම වේ. එහෙත් අද දකුණේ ගහ කොළ කැපීම බහුලය. වන සංහාර බහුලය. එසේ මිනිසා විසින් කරනු ලබන පරිසර විනාශයේ ප්‍රතිවිපාක අදත් ජනතාව අත් දකිති.
උතුරේ හා දකුණේත් නැගෙනහිරත් බටහිරත් යන සිවු කොනේම සිදුවන පාරිසරික විනාශය වැළැක්වීම සඳහා නව ක්‍රියාන්විතයක් ආරම්භ කළ යුතුය. තිරසර සංවර්ධනය යනු කොන්ක්‍රීට් වනාන්තර ඉදි කිරීම නොවන බව සත්‍යයකි. මානව සංවර්ධනයත් භෞතික සංවර්ධනයත් සමාන්තර විය යුතුය. පරිසරය යනු ද මානවයා පමණක් නොවේ. ගහකොළ, ඇළ දොළ, සතා සීපාවා ඇතුළු සමස්තයම පරිසරයට අයත්ය. මෙම පරිසර සාධකය තුලනය විය යුතුය. තුලනය බිඳීගිය කල්හි නිර්මාණය වන්නේ ගැටුම්ය. අලියා සම්පතක් විය යුතු වුවද වර්තමානය වන විට එය වසංගතයක් බවට පත්වී තිබෙන්නේ තුලනය බිඳීයාම නිසාය. මේ මාර්ගයේම තව දුරටත් ඉදිරියට යා නොහැකි බව තේරුම්ගැනීම අතිශයින්ම වැදගත්ය.
චුන්නාකම් වැසියන්ට විශේෂ ප්‍රණාමයක් පිරිනැමිය යුතුය. ඒ ප්‍රවේගකාරී ලෙස හැසිරී තවත් රතුපස්වලක් නිර්මාණය නොකර නීතිය සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසය තබා කටයුතු කිරීම සම්බන්ධයෙනි. අප යා යුත්තේ ඒ මාර්ගයේමය.