අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව රට තවමත් යථා තත්ත්වයට පත්වී නැත. දෙවැනි පාසල්වාරය ඊයේ ඇරැඹුණද ශිෂ්‍යයන්ගේ පැමිණීම ඉතාම පහළ මට්ටමක බව අප පුවත්පත වාර්තා කළේය. ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට පළවූ බුද්ධි අංශ වාර්තා ද එයට හේතුවන්නට ඇත. පොදුවේ ගත් කල්හි ආරක්ෂාව සම්බන්ධයෙන් නියත සහතිකයක් නොවීම රට යථා තත්ත්වයට පත්වීමට ඇති බරපතළම බාධාවය.
රට යථා තත්ත්වයට පත් කළ හැක්කේ කෙසේද? ආරක්ෂක අංශ පළමු වටයේදීම ඉතා දියුණු මැදිහත්වීමක් කළේය. එය ඉතා ප්‍රශස්ත මැදිහත්වීමකි. එහෙත් මුළු රටම එක මිටට එකතු නොවී මෙම අභියෝගය ජය ගත නොහැකි බව ඒකාන්ත සත්‍යයකි.
ජාතික උවදුරක් ඇති වූ විට සාමූහිකව එයට මුහුණ දිය යුතුය. සමගිය බලය වේ යන්න සනාථ කර ඇති ධර්මතාවකි. එහෙත් මේ මොහොතේ රට අත්දකිමින් සිටින කටුක යථාර්ථය වන්නේ අර්බුදයේ දිග පළල එයට හිමි නිසි අරුතෙන් වටහා නොගෙන සිදුකරන වාචාල දෙඩවීම්වලට වැඩි බරක් තබා ඇති බවය. වගකීම කා මත හෝ තබා නිදහස්වීමට උත්සාහ දරන බවය. ජාතික උවදුරෙන් තමන්ගේ ප්‍රයෝජනයට ගැනීමට හැකි පදාසයක් කඩා ගැනීමට දරන උත්සාහයන්ය. එහෙයින්ම ආරක්ෂව තහවුරු කර ගැනීමට වුවමනා කරන කළමනා කටයුතු අවශ්‍ය වේගයෙන් ක්‍රියාත්මක නොවන බවට ජනතාව තුළ මතයක් ඇතිවී තිබෙන්නේ මෙම පරිසරය තුළය.
ආගමික නායකත්වයට සුවිශේෂී මැදිහත්වීමක් මේ මොහොතේ කළ හැකිය. මහජනයාට නිවැරැදිව නායකත්වය සැපයීමේ හැකියාව ආගමික නායකත්වයට පැවරී තිබේ. පන්සල් පල්ලි හා කෝවිල් ආශ්‍රිතව තමන්ගේ පූජාව මෙහෙයවිය හැකිය. ඔවුන්ට සත්‍යය වටහා දිය හැකිය. සහජීවනයේ අරුත පහදා දිය හැකිය. සහජීවනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගතහැකිය. අනෙකුත් පාර්ශ්ව සමඟ සම්බන්ධ වෙමින් කළමනා කටයුතු සංවිධානය කළ හැකිය. සමාජයේ උගත් කණ්ඩායම් තුළද යම් ප්‍රබෝධයක් එමගින් ජනිත කළ හැකිය. මේ මොහොතකට අදාළව නියත වශයෙන් ක්‍රියාවට නැංවිය යුතු මෙම වැඩපිළිවෙළ දැනට සිදුකරන ප්‍රමාණයට වඩා වේගවත් කිරීම ප්‍රතිඵලදායක බව ඉතා පැහැදිලිය.
දේශපාලනඥයන් මේ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. එහිදී පළමුවෙන්ම කළ යුත්තේ බඩගිනි සිංහලයාගේ භූමිකාවෙන් එළියට ඒමය. බඩ වඩා ගැනීමේ හා ගොඩ වැඩි කර ගැනීමේ මජර දේශපාලනය අතහැරීමය. ඇතැම් දේශපාලනඥයන් ආරක්ෂක අංශවලට බාධා කරන බවට චෝදනාවකි. යුද හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කර තිබුණේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් කරන ලෙස නැගෙනහිර පළාතේ ප්‍රබල දේශපාලනඥයකු තමන්ට බලපෑම් කළ බවය.
ඇතැම් ප්‍රදේශවල සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී එයට බාධාකාරී ලෙස හැසිරෙන දේශපාලනඥයන් සිටින බවට ද වාර්තාවේ. තමන්ගේ බලප්‍රදේශයේ සිටින ජනතාව සෝදිසි කිරීම්වලට ලක් කළහොත් එම ජනයා තමන් සමඟ අමනාප වනු ඇතැයි සිතා එම දේශපාලනඥයන් එසේ කටයුතු කරන බවට චෝදනාවකි. මැති ඇමැතිකම් දැරීමටත් රටක් ඉතිරිවී තිබිය යුතුය. දේශපාලනඥයන් දැනගත යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ තමන් ආරක්ෂක විශේෂඥයන් නොවන බවය. එමෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට විෂය ගැන විශේෂඥ දැනුමක් තිබිය යුතුය. එහෙයින් ආරක්ෂාව සම්බන්ධව විශේෂඥයන්ට එම කටයුතු බාරදී දේශපාලනඥයන් පසෙකට විය යුතුය. එය මේ මොහොතේ අත්‍යවශ්‍ය කටයුත්තකි.
ආවේගශීලී නොවී සංයමයකින් යුතුව හා ආරක්ෂක අංශවලට පූර්ණ සහයෝගය දෙමින් කටයුතු කිරීම මහජනයාගේ වගකීමය. මේ මොහොතේ මහ ජනයා කුපිත කරවීමේ සංවිධානාත්මක කල්ලිද සිටිය හැකිය. කලදුටු කල වළ ඉහගන්නා කල්ලි විසි හතර පැය පුරාම අවදියෙනි. එහෙයින් එම උගුල්වලට නොවැටී රට යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාන්විතයට සක්‍රීය ලෙස දායකවීමේ පැහැර හැරිය නොහැකි වගකීමක් ජනතාව සතුය.
ජනතාවගෙන් ලබා ගත යුතු සහයෝගය ලබා ගැනීමේ දියුණු යාන්ත්‍රණයක් ද ආරක්ෂක අංශ සතුව තිබිය යුතුය. ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය මහජනයා වෙනුවෙන් මිස ඔවුන් පීඩාවට පත් නොකරන්නක් බවට පත් විය යුතුය. සියල්ලෙන්ම සාධාරණය වෙන්නේ රට යථා තත්ත්වයට පත් කිරීමේ මෙහෙයුම විධිමත්ව ක්‍රියාත්මක කළ යුතු බවය. එයට දැනුත් කල් පමා වැඩිය.