ප්‍රහාර දිනවල කාදිනල්තුමා ගත් පියවර අගය කළ යුතුයි


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. එහෙන් මෙහෙන් ලැබෙන තොරතුරු මත විමර්ශන කටයුතු සිදු කරනවා වෙනුවට සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කළ යුතු බවද අගරදගුරුතුමන් ප්‍රකාශ කළ බවද එම ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය. 

අගරදගුරුතුමන්ගේ ප්‍රකාශය එයට හිමි නිසි බරින් හඳුනාගත යුතුය. පාස්කු ඉරිදා ප්‍රහාරය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකිය. එය එක්තරා අන්තවාදී කණ්ඩායමක හුදකලා ප්‍රහාරයක් නොවේ. දේශීයවත් ජාත්‍යන්තරවත් මනා ලෙස සංවිධානය වී එල්ල කළ ප්‍රහාරයකි. මෙම ත්‍රස්ත ප්‍රහාරය තුළ අන්තගාමී ආගමික උම්මන්තකයන්ගේ පවිටු වුවමනාවන් මෙන්ම ජාත්‍යන්තර මෙන්ම කලාපීය දේශපාලන බල වුවමනාද සැඟවී තිබේ. එහෙයින් එක ප්‍රහාරයකින් මෙම ප්‍රහාර මාලාව නතර කරනු ඇතැයි සිතිය නොහැකිය. විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් කරළියට ගෙන ආ යුත්තේ එහෙයිනි. 

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ත්‍රස්තවාදයට එරෙහිව මෙයට වඩා ශක්තිමත් වැඩපිළිවෙළක් රජයට නොමැතිනම් ඉදිරියේදී ජනතාව පාලනය කර ගැනීමට නොහැකිවනු ඇති බවය. 

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මත පළ කරන යුද විශේෂඥයන්ගේ එක් අදහසක් වනුයේ මෙම ප්‍රහාරයේ එක් අරමුණක් වන්නේ නැවත කළු ජූලියක් පන්නයේ ගැටුමක් නිර්මාණය කර ගැනීම බවය. සැබැවින්ම එවැනි ආවේගයකට අවශ්‍ය කම්පනය පාස්කු ඉරිදා ප්‍රහාරය තුළ අන්තර්ගතව තිබිණි. එහෙත් ජනයා සන්සුන් ලෙස පාලනය කිරීමට අගරදගුරුතුමන් කටයුතු කළ බව ඉතා පැහැදිලිය.  

අගරදගුරුතුමන්ට රජයෙන් වෙඩි නොවදින මෝටර්  රථයක් පරිත්‍යාග කළ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එහෙත් කොළඹදී නැවත වරක් මාධ්‍ය හමුවක් කැඳවූ  උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ එම වෙඩි නොවදින රථය ආපසු යැවූ බවය. “මගේ ආරක්ෂාවට වඩා ජනතාවගේ ආරක්ෂාව වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කර තිබිණි. එමෙන්ම ත්‍රස්තවාදය මැඬලීමට අලුත් පනත් අනවශ්‍ය බවත් දැනට සම්මතව ඇති පනත් හරහා ක්‍රියාත්මකවී ත්‍රස්තවාදය මැඬලීමට කටයුතු කරන ලෙසත් උන්වහන්සේ ඉල්ලා තිබිණි. 

මේ හඬට පිටුපා කටයුතු කළ නොහැකිය. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙහි බලපෑම කොටි සංවිධානයේ තිස් වසරක යුද්ධයටත් වඩා වැඩි යැයි පළ කෙරෙන මත බැහැර කළ නොහැකිය. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ආර්ථිකයට එල්ලවූ බලපෑම අති මහත්ය. භීතිය ගංවතුරක් මෙන් රටපුරා පැතිර තිබේ. පාස්කු ඉරිදාව අහිමි වූ රටට වෙසක් අසිරියද අහිමි වී තිබේ. පන්සල්වලට පැන ප්‍රහාර එල්ල කිරීමට උත්සාහයක් පවතින බවට පළවන වාර්තා ඇඟ ලොමු ඩැහැගන්වන සුළුය. 

මරුවා පැමිණි පසු විරුවා පැමිණ තිබේ යැයි පසක් කරමින් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත මුළු මහත් ජනතාවගේම අවධානය යොමුවී තිබේ. ඔවුහු ජීවිත පරදුවට තබා ආරක්ෂක කටයුතුවල නියැළෙති. පරීක්ෂණ පවත්වති. අගරදගුරුතුමන් ඉල්ලා සිටින්නේ මෙම විමර්ශන පුළුල් මට්ටමින් කළ යුතු බවය.

රටක ආරක්ෂාව සිද්ධි හා බුද්ධි යනුවෙන් කොටස් දෙකකට බෙදේ. සිද්ධි යනු කිසියම් සිදුවීමකින් පසුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමය. එසේ සිදු කරනු ලබන පරීක්ෂණවලින් අපරාධකරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමය. අපරාධ පරීක්ෂකයන්ගේ වගකීම වන්නේ එයය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අප දකිමින් සිටින්නේ එයය. 

බුද්ධි යනු බුද්ධිය මෙහෙයවා සිදු කරනු ලබන පරීක්ෂණ වේ. එහිදී බුද්ධි පරීක්ෂකවරයා සෑම සිදුවීමක්ම සරලම අංශුවට කඩා විශ්ලේෂණය කරමින් එකිනෙකට සමාන හා අසමාන වූ සිදුවීම්  විද්‍යාත්මකව ගළපමින් පැහැදිලි හා නිරවුල් රූපයක් මවා ගනී. සමස්ත චිත්‍රය තිබෙන්නේ එතැනය. රටක බුද්ධි අංශවල වගකීම එයයි. අනාගත අභියෝග කල් ඇතිව හඳුනාගැනීමට හැකි වන්නේ එමගිනි. එබඳු බුද්ධි යාන්ත්‍රණයක් රටකට අත්‍යවශ්‍ය වේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ එබඳු ශක්තිමත් බුද්ධි යාන්ත්‍රණයක් අප රට සතුව නොපැවති බවය.

අතීතය තුළ ජීවත්වී තේරුමක් නැත. දැන් කළ යුතුව තිබෙන්නේ වැරැදි නිවැරැදි කර ගනිමින් වේගවත් ගමනක් යෑමය. අගරදගුරුතුමන් ඉඟි කළ අනතුර වළක්වාගත හැකිවනු ඇත්තේ ද එමගින් පමණි.