බුද්ධි අංශ අනතුරු ඇඟවීම ගණන් නොගත්තේ ඇයි


තුන්සියයකට ආසන්න කතෝලික බැතිමතුන් සංඛ්‍යාවකගේ ජීවිත බිලිගනිමින්ද පන්සියයකට අධික පිරිසකට තුවාල සිදුකරමින්ද පාස්කු ඉරිදා (21) සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ භයංකාර අත්දැකීමේ කම්පනය තවමත් රටේ වැසියන්ගේ සිත් සතන් තුළ රැව් පිළිරැව් දෙමින් තිබේ. කම්පනයෙන් ප්‍රකම්පනයට පත්ව සිටින සියලුදෙනා විමසන්නේ එකම එක ප්‍රශ්නයකි. මේ තරම් දරුණු ප්‍රහාරයක් රටට එල්ල වන බව කල්තබා දැනගන්නට තරම් ශක්තියක් අපේ රටේ බුද්ධි අංශවලට නොතිබුණේ ඇයිද යන ප්‍රශ්නයයි. මෙය වහාම පිළිතුරක් සොයාගත යුතු අතිශය බැරෑරුම් ප්‍රශ්නයක් බවට කතා දෙකක් නැත. මෙය බුද්ධි අංශවල දුර්වලකමක්ද නැතහොත් බුද්ධි අංශ විසින් ලබාදුන් වැදගත් තොරතුරු වගකිවයුතු පාර්ශ්ව විසින් කුණු කූඩයට විසිකරනු ලැබීමේ ප්‍රතිඵලයක්ද යන්න වහාම සොයාගත යුතුය.

අප එසේ කියන්නේ මෙවැනි සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු තමන්ට කල් තබා ලැබුණු බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු ද ප්‍රකාශ කර තිබෙන බැවිනි. මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට තම පියාගෙන් ලද අනතුරු ඇඟවීම හේතුවෙන් තමා පාස්කු ඉරිදා උදෑසන පල්ලියට නොගිය බවද තමන්ට ලැබුණු තොරතුරු සහ ඊට අදාළව විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් ආරක්ෂක අංශ වෙත නිකුත් කර තිබූ ලිපියද සමාජගත කරන ලද බවද ඔහු කියා තිබිණි. එහෙත් අපට නම් පෙනෙන්නේ එවැනි අනතුරු ඇඟවීමක් කල්තබා ලැබිණි නම් ඒ පිළිබඳව ඊට වඩා ක්‍රියාත්මක විය යුතුව තිබූ බවය. අඩුම තරමින් තමන්ගේ සෙසු කැබිනට් සගයන් දැනුම්වත් කොට තර්ජනයට ලක්වන බවට දැනුම් දී තිබූ සියලු_ දේවස්ථානවලට ආරක්ෂාව ලබාදීමට පියවර ගත හැකිව තිබිණි. එය නොකිරීම බරපතළ අතපසුවීමකි.

විශේෂ ආරක්ෂක දිසා නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් ආරක්ෂක අංශ වෙත කර තිබූ දැනුම්දීමේ කෙළින්ම සඳහන් වී තිබුණේ ජාතික තව්ෆීක් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් මෙරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයෙන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බවය. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයද පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවත් ඔහු පසුගිය 09 වැනිදා ඊට අත්සන් යොදා ඇති බවත් සඳහන් එම ලිපිය නිකුත් කර තිබුණේ පසුගිය අප්‍රේල් 11 වැනිදාය. මෙම ප්‍රහාරවලින් මෙරට ප්‍රසිද්ධ කතෝලික පල්ලි සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ඉලක්ක කරන බවද එහි සඳහන් වී තිබිණි. මේ සියලු_ තොරතුරු දැනගෙනත් වගකිවයුතු පුද්ගලයන් බකංනිලාගෙන සිටීමේ බරපතළ වැරැද්දට වන්දි ගෙවීමට සිදුවූයේ මේ රටේ අහිංසක ජනතාවටය. ජීවිත අහිමිවූයේ, අත පය කැඩී බරපතළ තුවාල ලැබුවේ, දරුවන්ට මවුපියන්, මවුපියන්ට දරුවන් අහිමිවූයේ මේ භයානක අනතුරු ඇඟවීම් කෙරෙහි තුට්ටු දෙකක හෝ සැලකිල්ලක් නොදැක්වීම නිසාය. ඒ වගකීමෙන් මිදීමට අදාළ වගකිවයුත්තන් කිසිවකුටත් හැකියාවක් නැත. වෙනෙකක් තබා මාරාන්තික බෝම්බ ප්‍රහාරයෙන් පසුව එම ප්‍රහාරය පසුපස අන්තවාදී සංවිධානයක් සිටින බව මෙරට ආරක්ෂක අංශ වලින් ප්‍රකාශයට පත් වීමට පෙර ඒ බව ප්‍රකාශ කළේ අපේ අසල්වැසි ඉන්දියාවය. රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම කෙතරම් දුරකට පිරිහී ඇති දැයි පෙන්වා දීමට එය එක් උදාහරණයකි.

ප්‍රහාරයට වගකිවයුතු සංවිධානය හෝ සංවිධාන මොනවාද යන්න මේ සටහන වෙනතුරු පොලිසිය හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ ප්‍රකාශ කර තිබුණේ නැත. මෙය රටේ ජාතික ආරක්ෂාව සහ ජාතික දේශපාලනය එකිනෙක පටලවා ගැනීම හේතුවෙන් සිදුවන්නේ යැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. එසේ නම් එවැනි තත්ත්වයකට මඟපෑදූ සියලු බලධාරීන් එහි වගකීම බාරගත යුතුය. එකිනෙකාට බෝලය පාස් කිරීමෙන් පමණක් රටේ ජාතික ආරක්ෂාවේ ඇති වී තිබෙන විශාල හිඩැස් වසා දැමිය නොහැකිය.

මේ රටේ ජනතාව පසුගිය වසර 10 තිස්සේ අප්‍රමාණ නිදහසක් භුක්ති විඳි බව රහසක් නොවේ. වසර තිහක කාලයක් පැවැති දරුණු යුද්ධයෙන් පසුව බියෙන් සැකෙන් තොරව බස්රියක, දුම්රියක, පෞද්ගලික වාහනයක යාමට ඒමට ඉඩසැලසී තිබිණි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ පසුව කරදරයකින්, හිරිහැරයකින් තොරව ජීවත්වීමට ලැබුණු එම නිදහස ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයත් සමග වැළලී යාමට ඇත්තේ ලොකු ඉඩකඩකි. මේ ප්‍රහාරය හේතුවෙන් සිදුවූ ජීවිත සහ දේපළ හානිය, තුවාල සිදුවීමත් සංචාරක ව්‍යාපාරයට සිදුවූ හානියත් කොටි යුද්ධය පැවැති කාලයේ එක්දිනකදී සිදුවූ හානියට වඩා අතිශයින් බරපතළය. දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් එක්දිනකදී අහිමි වූ විශාලම ජීවිත සංඛ්‍යාවද මෙය බවත් ප්‍රකාශ වෙයි. යළිත් කවදාවත් මේ රටේ මරාගෙන මැරෙන බෝම්බ පුපුරන්නේ නැති බවට පසුගිය වසර කිහිපයේදී ඇතැම් දේශපාලනඥයන් විසින් ජනතාව හමුවේ කරන ලද ප්‍රකාශ මේ ප්‍රහාරය සමඟ කුජීත වී ගිය බවද රහසක් නොවේ.

මෙවැනි ප්‍රහාරයක් එල්ල වීම අනපේක්ෂිත සිද්ධියක් බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් තමන් හෝ තම කැබිනට් අමාත්‍යවරුන් හෝ දැනුම්වත් කිරීමක් සිදු නොවූ බවය. එහෙත් පසුගිය මාස හත අටක කාලය තුළදී මාවනැල්ල ප්‍රදේශයේ සිදුවූ බුදු පිළිම සිරසවලට හානිකිරීම, ඊට පෙර මහනුවර දිගන ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ ගැටුම් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ලැබුණු පෙරනිමිති බව පැහැදිලිය. ඉන්පසුව පුත්තලම් මන්නාරම් මාර්ගයේ වනාතවිල්ලු ප්‍රදේශයේ ඉඩමක වළක තිබී සොයාගත් සී-4 නම් පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයද තවත් නරක පෙරනිමිත්තක් විය. එහෙත් කිසියම් බලවේගයක් විසින් එම සියලු භයංකාර පෙර නිමිති ගණන් නොගන්නා තත්ත්වයට පත්කර දමා ඇති බව පෙනෙන්නට තිබේ. එහි ප්‍රතිඵල පෙන්නුම් කළේ පසුගිය පාස්කු ඉරිදාය. එවැනි පෙරනිමිති පිළිබඳව දැනසිටි වගකිවයුතු කිසිවකුටත් මේ ප්‍රහාරය අනපේක්ෂිත සිද්ධියක් හෝ දැනුම්වත් නොකිරීමක් ලෙසට හෝ බැහැර කළ නොහැක්කේ ජාතික ආරක්ෂක මණ්ඩලයේදී මේ කරුණු කිසිවක් සාකච්ඡා වූයේ නැතිද යන ප්‍රශ්නය අප හැමදෙනාටම ඉතිරිව තිබෙන බැවිනි.

මේ ප්‍රහාරය එල්ල වූයේ කතෝලික ජනතාවට පමණක් නොවේ. රටටමය. උපරිම මිනිස් ජීවිත විනාශයක් සහ ලෝකයට මේ ප්‍රහාර පිළිබඳ පණිවුඩ ගෙනයෑමේ අවශ්‍යතාවක් මේ ප්‍රහාරවලින් ඉලක්ක කර තිබූ බව පෙනෙන්නට තිබේ. පවතින සැබෑ තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් ක්‍රියාකරමින් රටේ ජාතික ආරක්ෂාවට මුල්තැනක් දී ක්‍රියාකොට මෙවැනි ප්‍රහාරවලට යළි ඉඩක් නොතැබීම මේ අවස්ථාවේදී සියලු ජාතික නායකයන්ගේ වගකීම බව පෙන්වා දෙමු.