පක්ෂ විනයෙන් දඬුවම් විඳි මහජන නියෝජිතයන්ගේ පුරාණයෙන්-2
1980 දී සිරිමා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ අවස්ථාවේ දී ප්‍රබල ආණ්ඩු පක්ෂයේ හයෙන් පහේ බලය සමග ගැටෙමින් බොහෝ විට හුදකලාව මැතිසබය තුළ සටන් කළ ඇස්. ඩී. ඉන් පිටත දී ද දැඩි සටනක් ගෙන ගියේය. මෙම අර්බුදය සමයේ ගම්පහ නගර සභා පිටියේ දැවැන්ත රැලියක් සංවිධානය කළ ඔහු සිරිමාවෝ, නායිකාව මුලසුනේ තබාගෙන ඇයගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය. එම රැස්වීම එදා දේශපාලන පසුබිම අනුව පාර්ශ්ව ගණනාවකට ප්‍රබල අභියෝගයක් සහ හිසරදයක් වූ බව පැහැදිලිවම දක්නට තිබුණි. එය මනාව ඔප්පු කරමින් ඇඳිරි වැටෙමින් තිබිය දී රැස්වීමේ විදුලිය විසන්ධි විය.
එම අන්ධකාරය තුළ ආයුධයක් අතින් ගත් යම්කිසි පුද්ගලයෙකු වේදිකාවට ගොඩවැදී පක්ෂ නායිකාව දෙසට සමීපවනු දුටු වේදිකාවේ අසුන්ගෙන සිටි මිනුවන්ගොඩ ආසන සංවිධායක රෙජී රණතුංග මහතා පුටුවක් ගෙන සාහසිකයාට පහර දීම නිසා ඔහු අඩපණව ඇද වැටුණේය. ඉන්පසු හතර වටෙන්ම බෝම්බ එල්ල වන්නට විය. ඒවායින් තුවාල ලැබූ අය රෝහල්ගත කෙරුණි. ජනයා සීසී කඩ විසිර ගියහ. රැස්වීම කඩා කප්පල් විය. එහි රැස්ව සිටි ජනයා, පෙනෙන දුරින් පිහිටා තිබුණු දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ ප්‍රතිකාර මධ්‍යස්ථානය වටලා එම ගොඩනැගිල්ල බිමට සමතලා කරනු ලැබූහ. දොස්තර චන්ද්‍රා ප්‍රනාන්දු යනු රෝහණ විජේවීරයන්ගේ බිරිය වූ චිත්‍රාංගනීගේ වැඩිමහල් සොහොයුරෙකි. බෝම්බ ගැසීම් පසුපස ජවිපෙ සිටි බවට පැහැදිලි සාක්ෂියක් නොතිබුණු නමුදු මිනිසුන් එය එම දිශාවට යොමු කළේ කුමන පදනමක් මතදැයි යන්න මට තවමත් ගැටලුවකි.
කෙසේ වුවත් එම අර්බුදකාරී යුගයේ දී පවා ඇස්. ඩී. බණ්ඩාරනායකයන් ශ්‍රීලනිපය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුත් නායිකාව බේරා ගැනීම සඳහාත් කටයුතු කළේ එවැනි කැපවීමකිනි. එසේම තිබිය දී තම පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් ජ්‍යෙෂ්ඨතමයා වූ ඇස්. ඩී. තම පෞද්ගලික දේශපාලන මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම නිසා මෙවැනි දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගැනීම ප්‍රායෝගික ද යන සැකය බොහෝ දෙනා මතු කළහ.
පක්ෂයෙන් විනය කමිටුවක් පත් කෙරුණි. එහි සාමාජිකයන් වූවේ උප සභාපතිවරයෙකු වූ කේ. ශන්මුගලිංගම් මහතා ඒ.කේ. ප්‍රේමදාස සහ සී. වී. ගුණරත්න යන මහත්වරුය. මෙම කමිටුවට ඇස්. ඩී. ප්‍රකාශ කළේ ‘ජාතික රජයකට සහාය දෙනවා යැයි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට බැඳීම නොවේ. 1982 පැවැත් වූ ජනමත විචාරණයෙන් පසුව ජාතික රජයක සංකල්පය ගැන වාද භේදවලින් තොරව කල්පනා කර තීරණයක් ගත යුතුය. “ජනමත විචාරණයෙන් පසු දේශපාලන පක්ෂ ඔවුනොවුන් අතරේ කවර මතභේද තිබුණ ද ජාතික රජයක ඇති යෝග්‍යතාව සැලකිල්ලට ගෙන තීරණයක් ගත යුතුය” යනුවෙනි. මේ ගැන සලකා බැලූ විනය කමිටුව තම නිර්දේශය පක්ෂ මධ්‍යම කාරක සභාවට යවන ලද අතර 1983.02.09 දින මධ්‍යම කාරක සභාව රැස්ව එම නිර්දේශ සාකච්ඡාවට භාජනය කරන ලදී. ඒ අනුව 83.03.14 දිනැති පක්ෂ ලේකම්වරයාගේ ලිපියෙන් ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්කර ඇති බව දන්වන ලදී. එයට පෙර ඔහු විනය කමිටුවට තවත් ප්‍රකාශයක් කරමින් තමා පක්ෂයට විරුද්ධව කටයුතු කර නැති බවය.
යම් මන්ත්‍රීවරයෙකු අදාළ පක්ෂයෙන් නෙරපා ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් වෙත වාර්තා කිරීමෙන් පසු නිසැකවම ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසිවනු ඇත. එහෙත් එයට එරෙහිව එම මන්ත්‍රීවරයාට ගත හැකි පියවර දෙකක් තිබේ. එකක් නම් තමා අදාළ පක්ෂ සාමාජිකත්වය වැරදි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ආයාචනයක් යොමු කිරීමයි. නොඑසේ නම් තමා පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූ බව කියැවෙන්නේ කවර අවස්ථානුගත කරුණු යටතේ දැයි යන්න සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටීමයි. මේ දෙකින් එක් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ගම්පහ මන්ත්‍රීවරයාට ඉඩ ලැබුණි. ඔහු තෝරා ගත්තේ විශේෂ තේරීම් කාරක සභාවක් ඉදිරියට තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමයි. ඒ අනුව 1983 ජූනි 08 වැනිදා පාර්ලිමේන්තුවේ දී නියෝජ්‍ය කතානායක මෙම නිවේදනය කියවනු ලැබීය.
“ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පහකරනු ලැබූ බව දන්වමින් එම පක්ෂයේ ලේකම් විසින් එවන ලද ලිපියක් පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත ලැබී ඇති අතර පාර්ලිමේන්තුවේ මහ ලේකම් විසින් එම ලිපිය මා වෙත ඉදිරිපත් කර ඇත.
එකී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හරින ලද බව කියැවෙන්නේ කවර අවස්ථාගත කරුණු යටතේ දැයි යන වග සහ එසේ වීමට හේතු කවරේදැයි යන වග පිළිබඳව විභාග කොට ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 161 (ඈ) සස වන ව්‍යවස්ථාව පරිදි ලලිත් ඇතුළත්මුදලි මහතාගේ සභාපතිත්වය ඇතිව මතු සඳහන් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු කාරක සභාවක් මවිසින් පත්කරන ලද බව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු කැමැත්තෙමි.
වීරසිංහ මල්ලිමාරච්චි, හරීන්ද්‍ර කොරෙයා, චන්ද්‍ර රණතුංග, ආර්. සම්බන්ධන්
හතර වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව බෙදුම්වාදී අරගලයට සහාය දීමෙන් වැළකී සිටින බවට දිවුරුම් දීමට අපොහොසත් වීම නිසා ආර්. සම්බන්ධන් මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසිවීම නිසා එම කමිටුවට සහභාගි වීමේ අවස්ථාව ඔහුට අහිමි විය. ඒ වෙනුවට කතානායකවරයා විසින් බද්දේගම මන්ත්‍රී අමරසිරි දොඩන්ගොඩ මහතා පත්කරන ලද නමුදු ඔහු එම කටයුතුවලට සහභාගි නොවීය. මේ අවධිය වන විට සෝමසාර දසනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයේ සිටි අතර රත්නසිරි වික්‍රමනායක මහතා හිටපු ලේකම් විය. මේ දෙදෙනාගෙන් කමිටුව හමුවට කැඳවිය යුත්තේ කවුරුන්දැයි සාකච්ඡා වූ අතර සෝමසාර දසනායක මහතා පමණක් කැඳවීමට තීරණය විය. නීතිඥ ගෝමින් දයාසිරි මහතා සහ නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රීලනිප ලේකම්වරයා වෙනුවෙන් කමිටුව හමුවේ පෙනී සිටි අතර නීතිඥ ජේ. ජෝසප් මහතා සමග ජනාධිපති නීතිඥ ඩන්ස්ටන් ද අල්විස් මහතා ඇස්. ඩී. වෙනුවෙන් පෙනී සිටියහ. පරික්ෂණ කමිටු රැස්වීම් ගණනාවක් පැවැත් වූ අතර අවසාන වාර්තාව සභාපති ලලිත් ඇතුළත්මුදලි මහතා 1986 ඔක්තෝබර් 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. කෙසේ වුවත් ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා පක්ෂ විනය කඩකර ඇති බවක් එම කමිටුව වාර්තා කර තිබුණේ නැත. අවුරුදු හතරක් පමණ ඇදී ගිය මෙම ක්‍රියාදාමය නිසා කිසිදු වෙනසක් සිදු නොවිණි. එම පාර්ලිමේන්තු නිල කාලය අවසන් වනතුරු එනම් 1989 වනතුරු ඇස්. ඩී. බණ්ඩාරනායක මහතා ගම්පහ මන්ත්‍රී ධුරය දැරීය.
දැන් ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්ව තිබේ. එම නව වාතාවරණය යටතේ ඉදිරිපත්ව ඇති සමහර විනය පරික්ෂණ නවතිනු ඇත. ඇස්. බී. දිසානායක මහතා කීවාක් මෙන් සහ මෙම ලිපියේ දක්වා පරිදි දිගු කාලයක් ගතවෙන ක්‍රියාවලිය කාලය පිළිබඳ ප්‍රශ්නයත් බවට පත්ව මිලානව යනු ඇත. “අපේ රටේ බොහෝ ප්‍රශ්නවලට විසඳුම කල් මැරීමය යන්න මෙම ක්‍රියාව තුළින් ද නැවතත් තහවුරු වනු ඇත” යන අදහසට බොහෝ දෙනෙකු එකඟවන බව නිසැකය.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි