මේ මහත් කම්පිත මොහොතේ අපි ඔබ සමගම සිටිමු


කතෝලික දේවස්ථාන ප්‍රමුඛ කරගනිමින් රටේ තැන් කීපයක සිදු වූ ම්ලේච්ඡ මනුෂ්‍ය සංහාරය සම්බන්ධයෙන් මේ වනවිට මුළු රටම සිටින්නේ මහත් කම්පාවට පත්වීය. දශකයකට වැඩි කාලයක් පුරා මෙබඳු ත්‍රස්ත ප්‍රහාරයකට ලක් නොවූ ලංකාවට සිදු වූ මේ ඛේදවාචකය මනුෂ්‍යන් හැටියට අපගේ හදවත්වලට දරාගැනීමට තරම් අමාරු කාරියකි. මේ රටේ ත්‍රස්තවාදී යුද්ධය නිමාවී වසර 2009න් පසුව මෙවැනි භයානක ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව මෙය වීම ඊට හේතුවයි. ත්‍රස්තවාදී ක්‍රියා කිසිවක් ඇති නොවූ එකී දශකයක කාලයේදී ශ්‍රී ලංකාවාසීන් සියලු දෙනා කිසිදු වාද භේදයකින් තොරව කටයුතු කළේ මහත් සන්තෝෂයෙනි. එනිසා මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් සිය ජීවිත අහිමි වූ හා තුවාල ලැබූ සහෝදර කතෝලික ජනයාට බෞද්ධ ආගමික නායකත්වය හා බෞද්ධ ජන සමාජය වෙනුවෙන් පළමු කොටම අපගේ සාතිශය සංවේගය පළ කර සිටිමු. එසේම මේ මහත් කම්පිත මොහොතේ ඔබ සමඟම සිටින බවත් අවධාරණය කරමු.

කොළඹ කොච්චිකඬේ, මීගමුව කටුවපිටිය සහ මඩකලපුව කතෝලික දේවස්ථාන තුනකටත් සංචාරක හෝටල කීපයකටත් ඊයේ (21) එල්ල වූයේ අතිශය ම්ලේච්ඡ ප්‍රහාරයකි. කවර අරමුණකින් කවරෙකු විසින් මෙවැන්නක් සිදුකරන ලද්දේදැයි අපට සිතා ගැනීමට බැරි ප්‍රශ්නයකි. මෙවැනි ප්‍රශ්න ඇතිවීමට අදාළ කිසිදු වාතාවරණයක් පසුගිය කාලවල මේ රටේ තිබුණේ නැත. ඒ නිසාම හිටි හැටියේ වාර්තා වූ මේ පුවත රටක් ජාතියක් හැටියට දරාගැනීමට කොහොමටත් බැරිය. ශ්‍රී ලංකාව යනු බහුවාර්ගික බහු ආගමික රටකි. බෞද්ධ, ඉස්ලාම්, කතෝලික, හින්දු ආදී වශයෙන් වූ විචිත්‍රවත් වාර්ගික සංයුතිය එහි ජන පැවැත්මට හානියක් වුණේ නැත. තැනින් තැන කුඩා කුඩා ආරාවුල් හටගත්තත් ඒවා ප්‍රාදේශීය ප්‍රභූන්ගේ මැදිහත්වීමෙන් සමථ වූවා මිස රට පුරා පැතිර ගියේ නැත. එහෙත් ඊයේ (21) දිනයේදී අප අත්දුටුවේ එවැනි ආරාවුලක් නොව මුළු මහත් ලෝකයටම විශාල හඬක් නැගූ පිපිරීම් මාලාවකි. මතු සඳහන් කළාක් මෙන්ම සිදුවූයේ කුමක්දැයි නොදන්නා අන්දුන් කුන්දුන් වූ තත්ත්වයකට අප පත්ව සිටින්නේ එහෙයිනි.  

මෙවැනි අවස්ථාවල සිදුවන ප්‍රකට කාරියක් වන්නේ දූසමාන ආරංචි පැතිර යාමය. නව සමාජ මාධ්‍යයේ ද පිහිටෙන් එවැනි බොරු ප්‍රචාරවලට අත්තටු දීම අද සමස්ත ලෝකයටම මහත් අභියෝගයකි. එනිසා මෙම අවස්ථාවේ අපගේ ප්‍රමුඛ ඉල්ලීම නම් කලබල ඇති කර නොගෙන හැකිතාක් සමාජයේ නිශ්චලතාව ආරක්ෂා කරගැනීමට කැපවන්නැයි යන්නය. මේ ප්‍රශ්නය කුමක්දැයි අග මුල සොයාගැනීමට අපට වෙනදාටත් වැඩි තදබල ඉවසීමක් අවශ්‍යවේ. මේ ඛේදවාචකයේ අක්මුල් සොයාගැනීම සඳහා අදාළ රාජ්‍ය අධිකාරින්ට වුවද කිසියම් කාලයක් ගතවේ. ඊට අදාළ නිසි විමර්ශන පරීක්ෂණ කළයුත්තේ පිළිවෙළකටය. එහි මුඛ්‍ය අරමුණ විය යුත්තේ යළිත් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් ඇතිවීම වළක්වාගැනීමය. ලෝකය විවිධය. විෂමය. මෙය මිනිසාට ද අදාළය. එනිසා මිනිසුන් අතර තිබෙන්නේ ද විවිධ අදහස් උදහස්ය. එහෙත් මෙවැනි ප්‍රහාරයක් සැලකිය හැක්කේ කිසිදු මිනිසෙකුට අනුමත කළ නොහැකි ත්‍රස්ත ක්‍රියා ගනයටය. විශේෂයෙන්ම ආගමික ජන කොටසක ශ්‍රේෂ්ඨ සැමරුම් අවස්ථාවකට එල්ල කෙරෙන ප්‍රහාරයක් ශිෂ්ට සමාජයක කිසිදු මනුෂ්‍යයෙකුට අනුමත කළ හැකි දෙයක් නොවේ. 

ජීවිතයක් යනු මේ ලොව ඇති අමිලම සම්පතයි. එහි ඇති වටිනාකම අගණිතය. මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් රටට ජාතියට අහිමි වූයේ එවැනි මිල කළ නොහැකි ජීවිත සමූහයකි. දැන් කළ යුත්තේ නැවතත් මෙවැනි ඛේදවාචකයක් ඇති නොවන තැනට වැඩ කිරීමය. එහිදී රාජ්‍ය නායකයන්ට ද ආගමික නායකයන්ට මෙන්ම සියලු ආගමික ජන කොටස්වලට ද ඇත්තේ අත්හළ නොහැකි වගකීමකි. රටක ජනයාට සිය ජීවිත ගැන නිරන්තර භීතියකින් සැකයකින් දිවි ගෙවන්නට සිදුවන්නේ නම් එය පතිරූප දේශයක් නොවේ. ජන සමාජයක් හැටියට ලැජ්ජා විය යුතු කරුණකි. විශේෂයෙන්ම මනුෂ්‍ය ජීවිත ගැන වටිනාකම් අවම සමාජයක් බිහිකිරීම ගැන පසු කලෙක අපේ අනාගත පරපුරේ දරුවන් අසන ප්‍රශ්නවලට අප නිරුත්තර වනු ඇත. එනිසා උපනූපන් පරම්පරා වෙනුවෙන් යහපත් දේශයක් උදාකරනු වස් වහ වහා ප්‍රබල සාකච්ඡාවක් ජාති ආගම් භේදයකින් තොරව ආරම්භ කිරීමට අප කටයුතු කළ යුතුවේ. 

ශිෂ්ටසම්පන්න රාජ්‍යයක පුරවැසියන් කළයුත්තේ විනාශයකින් විනාශයකට අත වැනීම නොව මනුෂ්‍යත්වයේ වටිනාකම් අගයන මාවතට සමාජය කැඳවාගැනීමය. දැන් අප හමුවේ රටක් හැටියට ඇත්තේ ඒ අභියෝගයයි. එනිසා මෙවැනි අවස්ථාවක පළමුකොටම කළයුත්තේ අපේ ආගමික ජාතික සහෝදරත්වය සමඟ ඉවසීමෙන් ක්‍රියා කිරීමට අධිෂ්ඨාන කරගැනීමය. නොඑසේව උපකල්පන මත ආවාට ගියාට ක්‍රියා කිරීම නොවේ. ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, කතානායකවරයාත්, විපක්ෂනායකවරයාත් ඇතුලු දේශපාලන නායකයන් ද උගතුන් විද්වතුන් ප්‍රමුඛ විද්වත් වෘත්තිකයන් ද සියලු දෙනා මේ තත්ත්වය ගැන මහත් කම්පාවට පත්වනවාට සැකයක් නැත. මක්නිසාදයත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාවට දුක්ඛප්‍රාප්තියට ජාතිභේදයක් නොමැති හෙයිනි. තිස් වසරක් තිස්සේ පැවැති ත්‍රස්තවාදී යුද්ධය ද නිමා කළ පසුබිමක අපට නැවතත් මෙවැනි සිදුවීම් ඇසීමට අවශ්‍යම නැත. එහෙයින් වාර්ගික වශයෙන් කලහකාරීත්වයන්ට අත වනනා කුඩාම හෝ හේතුවකට ඉඩක් නොතබා ගැඹුරු අවබෝධයකින් යුතුව දිවි ගෙවීමට මේ ඉදිරි දින කීපයේදී සියලුම රටවැසියන් සිහියට ගත යුතුය. අවසාන විග්‍රහයේදී බුදු දහමේ දැක්වෙන පරිදි එළඹ ගත් සිහියෙන් යුතුව දිවි ගෙවීම මේ කාලයේදී අත්‍යවශ්‍ය බව දෙවනුවත් තෙවනුවත් අවධාරණය කරමි.

බිඟුන් මේනක ගමගේ
(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)