විදුලි අර්බුදයට විසඳුමක් නැද්ද


දන්වා කැපුවත් නොදන්වා කැපුවත් විදුලිය කැපිල්ල රටේ පොදු මහත් ජනතාව අමාරුවේ දැමීමකි. නිවෙස්වල, කාර්යාලවල, කඩ සාප්පුවල පමණක් නොව පන්සල්, පල්ලි, කෝවිල්, පාසල් සහ රෝහල් ඇතුළු සියලු පොදු ස්ථානවල දෛනික වැඩකටයුතුවලට විදුලිය කැපිල්ලෙන් වදින්නේ තදබල පහරකි. අඳුරේ සිටීමට සිදුවීම පමණක් නොව සමස්ත සේවා සැපයුම්වලට ද එය තීරණාත්මක බලපෑමක් ඇති කරයි. ඉන්ධන පිරවුම්හල් එයට එක් ප්‍රබල උදාහරණයකි.

විදුලිය කැපීම සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළදී හතරබීරි කතා කිහිපයක් ද අසන්නට ලැබිණි. එයින් පෙනී යන්නේ මතුපිට පෙනෙනවාට වඩා අර්බුදයක් යටින් පවතින බවය. දැනට සති කිහිපයකට උඩදී විෂය භාර අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් හදිසි විදුලිය අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ඉල්ලා කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කරනු ලැබීය. එයට අනුමැතිය ලැබුණේ නැත. නියං කාලය දරුණු බැවින් විදුලිය සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තරමින් ජල විදුලිය නිෂ්පාදනය නොවීම නිසා හදිසි විදුලිය මිලදී ගැනීමේ අවශ්‍යතාව මතු වී තිබූ බවද සඳහන් විය. කෙසේ වුවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ කොතරම් දුෂ්කර තත්ත්වයක් පැමිණියත් විදුලිය කැපීමක් සිදු නොකරන බවය. අමාත්‍යවරයාගේ එකී ප්‍රකාශය කෙරෙහි ජනතාව කිසියම් බලාපොරොත්තුවක් රඳවා සිටියේ නම් එය දින දෙක තුනකදී කැඩී බිඳී සිඳී ගොස් ඇති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය.

විදුලිය නොකපනු ඇතැයි ජනතාව තුළ තිබූ බලාපොරොත්තුව බිඳ වැටුණේ නොරොච්චෝලේ යන්ත්‍රයක බිඳ වැටීමක් සිදු වූ අවස්ථාවේදීය. ඒ සමඟ නොදන්වා විදුලිය කැපීමේ සෙල්ලම ඇරැඹිණි. ප්‍රමාණවත් තරම් ජල විදුලිය නිෂ්පාදනයක් සිදු නොවන නිසා නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රයක් අඩාල වීමත් සමඟ රට පුරා විදුලිය බෙදාහැරීමේ ක්‍රියාවලියට සිදුවිය හැකි අහිතකර බලපෑම මඟහැරීම සඳහා වරින්වර විදුලිය කැපීමට සිදුවන බවට ප්‍රකාශ ද පළවිය. එහෙත් ඒ බවද ප්‍රකාශ වූයේ රට පුරා තැනින් තැන නොදන්වා විදුලිය කපා හැරීමෙන් පීඩනයට පත්වූ පාරිභෝගික ජනතාවගෙන් පැමිණිලි ලැබීමෙන් පසුවය. ලෝකයේ අධිකම විදුලි බිලක් ගෙවන පාරිභෝගික ජනතාවක් වෙසෙන මේ රටේ ජනතාවට ලංකා විදුලි බල මණ්ඩලයේ (ලංවිම) සැලකීම එසේ විය.

ලංවිම කුමක් පැවසුවද නොරොච්චෝලේ ක්‍රියා විරහිතව තිබූ යන්ත්‍රය අලුත්වැඩියා කර සේවයට යෙදවූ බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ද නොදන්වා රටේ තැනින් තැන විදුලිය කපා හැරීම දිගටම සිදු විය. මේ හේතුවෙන් රටේ ඇතැම් පෙදෙස්වලට පැය හයක හතක තරම් කාලයක් එක දිගට විදුලිය නොලැබිණි. මේ පිළිබඳව පැමිණිලි ලැබීමෙන් පසුව එතෙක් නොදන්වා විදුලිය කැපීම, දන්වා විදුලිය කැපීමක් බවට පරිවර්තනය විය. පසුගිය 25 වැනිදා සිට රට පුරා කාල සටහනකට අනුව පැය හතර බැගින් විදුලිය කපා හරින බව ලංවිම නිවේදනයකින් කියැවිණි. මණ්ඩලයේ සභාපති එස්.බී.ඩබ්ලිව්. ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විදුලිය ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට නොහැකි වීම මේ කපාදැමීමට හේතු වී ඇති බවය. ඒ අනුව විදුලිය සැපයුම යථා තත්ත්වයට පත්වනතුරු කපා හැරීම ක්‍රියාත්මක වනු ඇත.

හේතුව කුමක් වුවද විදුලිය කැපීම රටේ ජනතාවගේ ප්‍රසාදයට හේතු වන්නේ නැත. ඔවුහු මේ හේතුවෙන් දැඩි අසීරුතාවලට මුහුණ දෙති. බල්බ් පමණක් නොව විදුලි පංකා, ශීතකරණ, විදුලි ඉස්තිරික්ක පවා වැඩ කරන්නේ නැත. රාත්‍රී කාලයේ ඊට අමතරව ආරක්ෂාව පිළිබඳ ගැටලුද මතුවෙයි. වෙළෙඳසල්, පිරවුම්හල්, හෝටල් මේ සියලු සේවා ස්ථාන පොදු ගැටලුවලට මුහුණ දෙයි. පාසල් සහ රෝහල්ද මෙම තත්ත්වයට මුහුණ දෙයි. ​ෙජනරේටර් යන්ත්‍ර යොදවා ගැනීමට හැකි ආයතන පමණක් තාවකාලික සහනයක් ලබාගත්තද විදුලිය කැපීම ජන ජීවිතයට දැඩි බලපෑමක් ඇති කරන බව නොරහසකි.

ලංවිම ඉංජිනේරුවරුන් විසින් ලබාදෙන ලද කාල සටහන් අනුව විදුලිය කැපීම ආරම්භ වුවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කරන්නේ ලංවිම සහ විදුලි පෞද්ගලික සමාගම පාරිභෝගිකයන්ට අඛණ්ඩව විදුලිය සැපයීමට බැඳී සිටින බවය. මාධ්‍ය දැන්වීම් මගින් රටේ පාරිභෝගික ජනතාව ආමන්ත්‍රණය කරමින් දැනුම් දීමකින් තොරව විදුලිය අත්හිටුවීම පිළිබඳව කොමිෂන් සභාව මගින් පාරිභෝගිකයන්ගෙන් තොරතුරු එක්රැස් කිරීම අරඹා තිබේ. පසුගිය මාර්තු 18 වැනිදා සිට දිවයිනේ විවිධ පෙදෙස්වල දැනුම්දීමකින් තොරව නිරන්තරයෙන් විදුලිය අත්හිටුවීම් සිදුවන බවද එම දැන්වීමේ සඳහන්ය. ලංවිම සහ මාධ්‍ය උපයෝගිතා කොමිසම අතර බරපතළ මතගැටුමක් පවතින බවට පෙන්වා දීමට පිළිගත් සාධක අවශ්‍ය නැත. ලංවිම මගින් සිදුකරන විදුලිය කැපීම සහ එසේ විදුලිය කැපීමට එරෙහිව මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් දැන්වීම් පළකොට ලංවිමට අභියෝග කිරීම සහ පියවර දෙකම විදුලිය අර්බුදයට විසඳුම නොවන බව අපගේ වැටහීමය. ඒ සඳහා දැන් අවශ්‍ය වන්නේ මේ ආකාරයේ පැලැස්තර විසඳුම් නොව තිරසාර විසඳුමකි.

දැනගැනීමට තිබෙන කරුණු අනුව මේ රට තුළ ගත වූ වසර කිහිපය තුළදීම එකද විදුලිය බලාගාරයක් හෝ ඉදිකර නැත. යෝජනා ගණනාවක් ඉදිරිපත් වුවද ඒවා සීමා වී තිබුණේ සාකච්ඡාවලට පමණි. මේ අතපසුවීම්වලට ලංවිම පමණක් නොව රජයේ තීන්දු තීරණ ගන්නා බලවතුන් පවා වගකිව යුතු බව අපගේ පිළිගැනීමයි. නියෝගය එනවිට විදුලිය කැපීම හැර වෙනස් විසඳුමක් නැතැයි පවසන තැනකට මණ්ඩලය තල්ලු වී ඇත්තේ ඇයිද යන්න මුලින්ම විසඳා ගැනීම අවශ්‍යය. එකිනෙකා අතර කඹ ඇදීම් හේතුවෙන් විදුලිය උත්පාදනය තවදුරටත් ඉහළ නොයන්නේ නම් එහි ප්‍රතිඵලය අනාගතයේදී මීටත් වඩා දරුණු විදුලිය කැපීම්වලට රට ගොදුරු වීමය. එය වළක්වා ගැනීමට විධිමත් සැලස්මක් දැන් සිටම සකස් කිරීම අද රටේ මූලික අවශ්‍යතාවකි.