සසර දුක නසන මග ලොවට දේශනා කළ උතුම් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය සිහිපත් කරන උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය එළැඹුණි. ආගමික සහජීවනය ජීවමාන යථාර්ථයක් බවට පත් කරමින් අසිරිමත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් සෑම නිවෙසකම පහන් දැල්විණි. සියල්ලෝම ආධ්‍යාත්මිකව ඒකාන්ත වෙමින් වෙසක් මංගල්‍යය සැමරීම ඉක්මයන මේ පැයට අදාළව අතිශයින්ම වැදගත්ය.
බුදුන් පහස ලද පුණ්‍ය භූමියක් වන මෙරට පන්දහසක් කල් සස්න රක්නා රට ලෙස උතුම් බුදුරජාණන් වහන්සේගේ පින් සිරි බර බුදු මුව කමලින්ම නියත විවරණ ලද මෙරට ථෙරවාද බුදු දහමේ පරමාදර්ශී රටය. එහෙයින්ම දුරාතීතයේ සිටම මෙරට ජනයා අසිරිමත් වෙසක් මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සැමරූහ. මුළු රටම එකම වෙසක් කලාපයක් බවට පත්විය. බොදුනු ජනයා පමණක් නොව නොබොදුනු ජනයා ද රටේ ප්‍රධාන ජාතික ආගමික පුණ්‍යොත්සවයට එක් වූහ.
එහෙත් මෙවර වෙසක් උත්සවය සිත් පුරාම විඳගැනීමේ වරම අහිමි විය. ඒ ආගමික උමතුවකින් යුත් පාපතර ත්‍රස්තයන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතු කරගෙනය. මේ ආගමික උමතුව අප රටට පමණක් නොව මුළු ලෝකයටම බලවත් තර්ජනයක් වී තිබේ. ලොව කිසිදු රටකට එම සැහැසි ග්‍රහණයෙන් මිදුණු ගමනක් නැත. මුළු ලෝකයටම එක්සත්ව මෙම බිහිසුණු තර්ජනයට නොවරදින විසඳුමක් සොයා ගැනීමට සිදුවී තිබේ. ආගමික උමතුවකින් යුත් මරාගෙන මැරෙන ත්‍රස්තයන්ගේ තර්ජනය තුරන් කරන විසඳුම සැඟවී ඇත්තේ කොතනදැයි එළැඹගත් සිහියෙන් යුතුව වැඩිය යුතු භාවනා කමටහනකි.
බුදුන් වහන්සේ ලොව පහළ වූ ක්‍රිස්තු පූර්ව සියවසේ භාරතයේ ආගමික දර්ශන 62ක් තිබිණි. ඒ සෑම ආගමික දර්ශනයකම අරමුණ වූයේ මිනිසාට විමුක්තිය අත්පත් කරදීමය. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ද විමුක්තිය හෙවත් ලොව පරම සත්‍යය කුමක්දැයි සෙවූහ. එහිදී උන්වහන්සේ අවබෝධ කරගත්තේ පෙර කී ආගමික දර්ශන හැට දෙකම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි බවය. එම කොටස් දෙක නම් කාමසුඛල්ලිකානු යෝගය හා අත්තකිලමතානු යෝගය වේ.
සිරුරට අධික ලෙස සැප දීමෙන් විමුක්තිය සලසාගත හැකි බව අවධාරණය කළ කාමසුඛල්ලිකානු යෝගයත්, සිරුරට අධික ලෙස දුක්දීමෙන් විමුක්තිය අත්පත් කරගත හැකි යැයි ඉගැන්වූ අත්තකිලමතානු යෝගයත් අන්තවාද දෙයක් ලෙස අවබෝධ කරගත් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ඒ අන්තවාද දෙකම හැරපියා මධ්‍යම ප්‍රතිපදාවට හෙවත් මැදුම් පිළිවෙතට පිවිසියහ. වෙසක් පුර පසළොස්වක පොහොයදා සව් කෙලෙස් මුලිනුපුටා දමා උතුම් බුද්ධත්වය උන්වහන්සේ අවබෝධ කරගනු ලැබුවේ ඒ මැදුම් පිළිවෙතේ පිහිටාය.
අන්තවාදය නිසරු බවත්, එයින් අත්පත් කරගත හැකි විමුක්තියක් නොමැති බවත්, අන්තවාදයෙන් විමුක්තිය අත්පත් කරගත හැකි යැයි යමකු සිතන්නේ නම් එය මිථ්‍යාවක් බවත් බුදුරාජාණන් වහන්සේ ලොවට දේශනා කළේ ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවස තරම් වූ දුරාතීතයේදීය. ඒ විශ්වාන්තරවාදී දහම හැඳින්වෙන්නේ සනාතන දහමක් ලෙසය. එනම් අතීතය, වර්තමානය හා අනාගතය යන කාලත්‍රයටම ගැළැපෙන සසඳාගත හැකි දහමක් බවය. අන්තවාදී පාපතරයන්ගේ සැහැසි ග්‍රහණයට මුළු ලොවම හසුවී තිබෙන මොහොතක ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මැදුම් පිළිවෙත කෙතරම් අර්ථ පූර්ණ ද යන්න ඉතාම පැහැදිලිය.
බුදු දහම නොපෙනෙන ශාස්තෘවරයකු හෝ දෙවියකු පිළිබඳව සඳහන් නොකරයි. ලෝකය දුකෙන් පිරි සත් බවත් ඒ දුකෙන් මිදී සදාකාලික සුවයක් අත්පත් කරගත හැකි බවත් දේශනා කරයි. ඒ දුක නැති කිරීමේ මාර්ගයක් ඇති බවත් එය මැදුම් පිළිවෙත බවත් පෙන්වා දෙයි. ඒ මාවතේ ගමන් කළ යුත්තේ තමන් බවත් විමුක්තිය උදාකරගත හැක්කේ තමන්ට පමණක් බවත් දේශනා කරයි.
එසේ නම් එහි අන්තර්ගතව ඇත්තේ විශ්වීය මානුෂික ශක්තියකි. ඒ මානුෂික ශක්තියෙන් හෙබි මිනිසා කිසිවක් විශ්වාස නොකරයි. ඒ වෙනුවට සියල්ල අවබෝධ කර ගනී. ‘බෞද්ධයා’ යන වචනයෙහි අරුත වන්නේ ද අවබෝධය යන්නයි. ඒ බුදු දහම ‘ඒහි පස්සික’ ගුණයෙන් හෙවත් ‘ඒව බලව!’ යන ගුණයෙන් පිරිසුදුය. ඒ බුදු දහම පිළිගන්නා බෞද්ධයාට වීමංසන නිදහස හෙවත් සිතීමේ නිදහස ඇත. ආධ්‍යාත්මික ශක්තිය පුබුදුවන මහා ජීව ගුණයකින් බුදු දහම පොහොසත්ය.
අද ඇවැසිව ඇත්තේ ඒ ගැඹුරු බුදු දහම නිවැරැදිව පසක් කරගනිමින් එය තම ජීවන දර්ශනය, ජීවන විලාසය හා ජීවන විලාසිතාව බවට පත්කර ගැනීමය. ඕනෑම ගැටලුවක් සරලව අංශුවට කඩා විග්‍රහ කර ගැනීමේ ප්‍රඥාව පහළවන්නේ එවිටය. උමතුව, ආගමික අන්තවාදයට නිවැරැදි විසඳුම තිබෙන්නේ ද ඒ ප්‍රඥාව තුළමය.