රට පුරා තවමත් කථා වෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙනි. ත්‍රස්ත භීතිය හේතුවෙන් රට තවමත් යථා තත්ත්වයට පත්ව නැත. ත්‍රස්තවාදය, ඔවුන් රැස්කළ අවි ආයුධ, එම ත්‍රස්ත ජාලය කඩා බිඳ දැමීම, තවදුරටත් මේ අය සම්බන්ධයෙන් නිති විමසිල්ලෙන් සිටීම, බුද්ධි අංශ ශක්තිමත් කිරීම යනාදිය හමුදාමය වශයෙන් කරන්නට පුළුවන. ඒ යළි මෙවැන්නක් ඇති නොවීමටය. එහෙත් මෙයින් ඔබ්බට ගිය කාරණයක් මේ තුළ තිබේ. මේ ත්‍රස්තවාදය පාලනය කරගත හැකි මට්ටමක තිබේ.
එහෙත් වැදගත් වන්නේ මෙලෙස
රැඩිකල්වීම වළක්වා ගැනීමය. ඒ සඳහා සමාජයට ඇත්තේ විසල් වගකීමකි. ලක් සමාජයේ බහුතරය සිංහලය. අනවශ්‍ය කරුණු කාරණා හරහා මේ තත්ත්වය වර්ධනය වන තැනකට මුස්ලිම් ජනතාව තල්ලු කිරීමෙන් වළක්වා ගැනීම සිංහල බහුතරය සතු වගකීමකි. 1983 සිද්ධියෙන් පසු අපි විශාල ප්‍රශ්නයට මුහුණ දුන්නෙමු. දෙමළ ජනතාව එක පසෙකට තල්ලු වී දෙමළ ඩයස්පෝරාවක් බිහිවී කුරිරු යුද්ධයකින් බැට කෑවෙමු. එවන් තැනකට ගමන් කිරීමට ඉඩ නොතබා ඉවසීමෙන් කටයුතු කළ යුතුය.
නීතිය ක්‍රියාත්මක කිරීම ආරක්ෂක අංශවලට පැවරෙන කාර්යයකි. ජනතාව නීතිය අතට නොගත යුතුය. ආරක්ෂක අංශ නීතිය ක්‍රියාත්මක කර ආදර්ශයක් ලබාදී තිබේ. එනිසා ඔවුන්ට ඒ හැකියාව තිබේ. වෙනත් අය එම කාර්යය කිරීමේ අවශ්‍යතාවක් නැත. අනවශ්‍ය කතා පැතිරවීමෙන් සහ අනවශ්‍ය කතා කීමෙන් ද වැළකිය යුතුය. මුස්ලිම් බහුතරය සාමාන්‍ය ජීවිත ගත කරන අය වෙති. ඔවුන් වෙනත් අන්තයකට තල්ලු කිරීමට සැක ඇති වන ආකාරයට රටේ බහුතරය කටයුතු නොකළ යුතුය. එය සිංහල සමාජයේ වගකීමකි.
මෙවන් විසල් වගකීමක් මුස්ලිම් සමාජයට ද තිබේ. ඒ වගකීමෙන් වැඩි කොටස පැවරෙන්නේ ආගමික නායකයන්ට සහ දේශපාලන නායකයන්ටය. ඒ වගේම මුස්ලිම් සමාජය පිළිගත් නායකයෝ ද මෙතැන දී ප්‍රමුඛ වෙති. එහෙත් වැඩිම වගකීම පැවරෙන්නේ ආගමික නායකයන්ටය. අනෙක් ආගම්වලට සාපේක්ෂව මුස්ලිම් සමාජයට විශාල බලපෑමක් කිරීමේ හැකියාව එම ආගමික නායකයන් සතුය. ඒ අනුව පල්ලිය හරහා දැඩි බලපෑමක් කිරීමට පුළුවන. මේ වගකීම ඔවුන් බාරගත යුතුය.
ගෙවුණු දශක දෙක තුනේ දී සිංහල බහුතරය අතර සැකයක් වර්ධනය වී තිබේ. එය අවංකව පිළිගත යුතුය.
මේ සැකය දුරුකළ හැක්කේ විශේෂයෙන්ම ආගමික නායකයන්ටය. දේශපාලන නායකයන්ට සහ මුස්ලිම් සමාජයේ ඉහළ කොටස්වලට ද එය කළ හැකිය. වාචිකව පමණක් මෙය කළ නොහැකිය. ඒ බව ප්‍රායෝගිකව ඔප්පු කළ යුතුය. මුස්ලිම් සමාජය කෙරෙහි බහුතරයට සැකයක් ඇතිවීමට බලපෑ හේතු මුලින්ම සොයා බැලිය යුතුය. පසුව ඒවාට පිළියම් යෙදීම වුවමනාය. එනිසා මේ සම්බන්ධව විවිධ වර්ගයේ හේතු දැක්වීමෙන් ඵලක් වන්නේ නැත.
සංස්කෘතික වෙනස්කම් මෙහි එක් සාධකයකි. මේ අයගේ ආගමික මතවාද වෙනස්කම් අපට වැටහෙන්නේ නැත. ඒවා වැටහෙන්නේ මුස්ලිම් සමාජයේ ඉහළ අයටය. එහෙත් සංස්කෘතිකමය වෙනස්කම් අපට දැක ගන්නට පුළුවන. අපි කුඩා කාලයේ දී ඇඳුමෙන් වෙනසක් නොදැක්කෙමු. කළු ඇඳුම බුර්කාව එදා දකින්නට තිබුණේ නැත. මෙය ආගමට සම්බන්ධ වූවක් නොවේ. වසර සිය ගණනක් අපත් සමග ජීවත් වන මුස්ලිම් ජනතාව කිසි දිනෙක මෙවන් ඇඳුම් ඇන්දේ නැත. මෙම ඇඳුම් අන්තවාදී ක්‍රියාවක් නොවේ. සංස්කෘතික කාරණාවකි. මෙය ජමියතුල් උලමා සභාව ද අනුමත කරන්නකි. එනිසා මේ කාරණය සම්බන්ධයෙන් පහසුවෙන්ම තීරණයක් ගැනීමට එම සභාවට පුළුවන. වසර සිය ගණනක් සිටි මෙරට මුස්ලිම් ජනයා භාවිතා නොකළ ඇඳුම් භාවිතයට යොමුවන විට ඒ සම්බන්ධව අනෙක් ජනයාට සැකයක් මතුවනු ඇත. මේ ප්‍රශ්නය නිරාකරණයට ජමියතුල් උලමා සභාවට හැකියාව ඇති නිසා ඔවුන් මේ කාරණය අතට ගත යුතුය.
ඒ වගේම විශාල වශයෙන් පල්ලි වැඩි වුණි. මද්‍රසා පාසල් ද විශාල වශයෙන් බිහිවුණි. මේවායේ උගැන්මට පූජකවරු විදේශවලින් පැමිණියහ. මෙවන් පූජකවරුන් එකසිය හැට දෙදෙනකු එක් දිනයක දී පිටුවහල් කිරීමට එදා කටයුතු කළෙමු. එදා ඒවා කරන විට මට විරෝධය එල්ල වූයේය. එහෙත් එවන් පියවර ගැනීමට සිදුවූයේ අනවශ්‍ය ලෙස සමාජයේ සැකයක් ඇතිකරන ආකාරයේ කටයුතු කළ නිසාය. මෙරට සිටින පූජකවරුන්ට මේ කාරණා පාලනය කර ගැනීමට හැකියාව තිබේ.
සමස්තයක් වශයෙන් ජනතාව අතර මතයක් පැතිර ගියේය. බෞද්ධ හිමිවරු කථා කළේ මෙයට එරෙහිවය. උන්වහන්සේලා අනුගමනය කළ ක්‍රමවේද නිවැරදි නොවන්නට පුළුවන. බෞද්ධ හිමිවරුන්ට නොගැළපෙන බව කියන්නට හැකිය. එහෙත් ඒවායෙන් ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිල්ලක් දැක්වූයේ නැත. එසේ සැලකිල්ලට ගත්තා නම් සංස්කෘතිකමය වශයෙන් ඒවා පහසුවෙන්ම වෙනස් කිරීමේ හැකියාව පූජකවරුන්ට තිබුණි.
අප ජීවත් වන්නේ බහුවාර්ගික සමාජයකය. සෑම ජන කොටසකම නිදහස අයිතිවාසිකම් ආගම ඇදහීමේ ක්‍රමවලට ඉඩ දිය යුතුය. ඒ සමගම සමාජය එක්සත්භාවය ගොඩනැගීම අවශ්‍යය. මොවුන් අතර තිබෙන ඇතැම් කාරණා ඔවුන්ගේ නිදහස රැක ගැනීමක් නොවේ. විවිධ ජන කොටස් ඈත් කිරීමට හේතුවන සාධකය. වෙනමම පාසල් තිබීම වෙනමම ඇඳුම් තිබීම වෙනම පළාත් ඉල්ලා සිටීම හරහා සමාජ එක්සත් භාවයක් ඇතිවන්නේ නැත.
සිංගප්පූරුව ආදී රටවල් අපට මෙහිදී ආදර්ශයට ගත හැකිය. එරට වැඩි පිරිස බෞද්ධය. ඒ වගේම මුස්ලිම්වරු සිටිති. සිංගප්පූරුව වටවී ඇත්තේ මුස්ලිම් රටවලිනි. වෙනම පාසල් ඒ රටේ නැත. සියලු ළමයින් යා යුත්තේ පොදු පාසල්වලටය. රජය අනුග්‍රහය දක්වන ඕනෑම පාසලකට ඕනෑම ළමයකුට යාමට පුළුවන. වෙන් වෙන් භූමිවල ජීවත් වීමට ඉඩ එරට නැත. එරට ඇත්තේ මහල් නිවාස සංකීර්ණය. ඒ නිවාස දිය යුත්තේ ජන අනුපාතය අනුවය. එතැනදී රාජ්‍ය පෞද්ගලික කියා වෙනසක් නැත. කුමන ආගමකට ජාතියකට අයත් වුවත් සියල්ලෝ එකට ජීවත් වෙති. කුඩා කල පටන් දරුවන් හැදෙන්නේ වැඩෙන්නේ එකටය. ඔවුහු අන්‍යොනව හඳුනති. අවබෝධයක් ඇතිකර ගනිති. එහෙත් මෙරට දී උත්සහ ගන්නේ මේ අය වෙන්කර තැබීමටය. සමාජයේ සෑම කෙනෙකුටම සමානතාවක් තිබිය යුතු බව වාචිකව ප්‍රකාශ කරමින් ප්‍රායෝගිකව කරන්නේ ජාතීන් වෙන් කරන ක්‍රියා නම් එක්සත්භාවයක් ගොඩනගන්නේ කෙසේද? තිබෙන ලොකුම බාධා වන්නේ මේ කරුණුය.
කතා කිරීමට පොදු භාෂාවක් තිබිය යුතුය. නැති නම් මේ භාෂා උගන්වන වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. එසේ නැතිව සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට හැකි වන්නේ නැත.
මේ ඇතැම් කාරණා රජයකට හෝ අනෙක් අයට කළ නොහැකිය. වෙනත් ජාතියක අයකු මෙම කරුණු කථා කිරීමට ගියහොත් එය ජාතිවාදයක් වශයෙන් හැඳින්වීමට යොමුවනු ඇත. රජයක් මේ වෙනුවෙන් පෙනී සිටින්නට ගිය විට ද ජාතිවාදී ලේබලය ඇලවෙනු ඇත. මෙවැනි පසුබිමක මෙම කටයුතු කළ හැකි වන්නේ මුස්ලිම් සමාජයේ සිටින ජූජකතුමන්ලාටය. එතුමන්ලා අවංකව මේ කාරණා කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශ්වාසය බිඳ වැටීමට සැකය වර්ධනයට හේතු කරුණු මොනවාදැයි නිසි ලෙස හඳුනා ගැනීම අවශ්‍යයි. මේවාට නිදහසට කාරණා ඉදිරිපත් කර වැඩක් නැත.
මතවාදීව එම සාමාජයේ ඇතිවන වෙනස්කම් ද අපි නොදනිමු. ආණ්ඩුවක් හෝ වෙනත් ආගම්වල අය ද එය නොදනිති. මුස්ලිම් සමාජයේ සිදුවන මතවාදී වෙනස්කම් ඒවා හොඳ ද නරක ද ඒවා පාලනය කළ හැකි ද යන්න දන්නෝ ද ආගමික නායකයෝය. මේවා පාලනයට ක්‍රමවේදයක් ඇති නිසා වගකීම වෙනත් කෙනකුට පැවරීම ඵලදායක නැත. මතවාදීව නිසි මගට වෙනස් කිරීමේ හැකියාව ඇත්තේ ආගමික නායකන්ටය. එනිසා මෙතැනදීත් පූජකවරුන්ට විශාල වගකීමක් තිබේ. යම් මතවාද බිහිවන්නේ පැතිර යන්නේ පල්ලිවලය. එම මතවාද ඉදිරිපත් වන්නේ ඇතැම් පූජකතුමන්ලාගෙන්ය. එනිසා මේ සියල්ල පෙනෙන්නේ එම ආගමික නායකයන්ටය. මේවා පාලනය කරගැනීමේ වගකීම ඔවුන්ට පැවරී ඇති බව පැහැදිලිය. මුස්ලිම් සමාජයේ පාලනයක් පූජකවරුන්ට ඇති නිසා ඒ අය අවංකව ඉදිරිපත් වීමෙන් මේ වෙනස්කම් කර ගැනීමට පුළුවන. මේ ප්‍රශ්නය සමථයකට පත්කර ගැනීමට නම් එය අනිවාර්යයෙන්ම සිදුවිය යුතුය.
රැඩිකල් භාවයට පත්වීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ අන්තවාදය පැතිරෙන විදේශ රටවල බලපෑමයි. එම බලපෑම හැකිතරම් අවම කර ගැනීමට විවිධ ක්‍රම අනුගමනය කළ හැකිය. යම් පල්ලියක අන්තවාදී මතයක් ප්‍රචාරයට සූදානම් වන්නේ නම් මුල් අවස්ථාවේදීම ඉහළ පාලකයන්ට දැනුම් දිය හැකිය. සමාජ නායකයන්ට දැනුම් දීමට පුළුවන. එය සමාජීය යුතුකමකි. මේ ක්‍රියාවලියේ බරපතළ සමාජ වගකීමක් ඇති බව පැහැදිලිය. බහුතර සිංහල සමාජයටත් මුස්ලිම් සමාජයටත් ඇති වගකීම හරිහැටි ඉටු නොකර මේ ප්‍රශ්නයට විසඳුම සෙවිය නොහැක.
රැඩිකල් වීමේ සිට මරාගෙන මැරෙන පුද්ගලයකු බවට පත්වීමට යම් කාලයක් ගතවනු ඇත. මෙය ඛණ්ඩනය කළ යුතුය. වැදගත්ම කරුණ වන්නේ එයයි. සාමාන්‍යයෙන් හඳුන්වන පුනරුත්ථාපනයක් මෙහිදී අවශ්‍යය. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පුනරුත්ථාපනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් එයට වුවමනාය. රැඩිකල්වීම නැවැත්වීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතුය. කුරානයේ ඇති උගැන්වීම් වැරදියට අර්ථ දැක්වීමක් ගැන අන්තවාදයේ දී සිදුවන බව ප්‍රකාශ වී තිබේ. එසේ නම් මෙය අධ්‍යයනය කළ උගත් මුස්ලිම් බුද්ධිමතුන් මැදිහත් වී අන්තවාදයට යොමුවූ අය ඉන් මුදාගත යුතුය.
රට වෙනත් දිශාවකට තල්ලුවීම වැළැක්වීමේ වගකීම අප සැමටම තිබේ. එම වගකීම ඉටු නොකළහොත් රට දරුණු තත්ත්වයකට පත්විය හැකිය. ආර්ථිකය දියුණු කර ගැනීමට සංවර්ධනය වීමට හැකි වන්නේ සාමකාමී ස්ථාවර රටක් තිබීමෙනි. මෙය තේරුම් නොගෙන රට වෙනත් තැනකට තල්ලු කළොත් දුක් වීඳීමට සිදුවන්නේ අනාගත පරම්පරාවටය. එනිසා රට ඉදිරියට ගෙනයාම අවශ්‍ය සමාජ පසුබිම සකසා ගත යුතුය. මෙය සැවොම වටහාගත යුතු කරුණය.
සටහන - චමින්ද මුණසිංහ