ෆේස් බුක් සාද ව්‍යාධියෙන් තරුණ පරපුර රැකගනිමු


මිරිස්ස සහ බොරලැස්ගමුව ප්‍රදේශවල පැවැත් වූ ෆේස්බුක් සාද දෙකක් වැටලූ මාතර දූෂණ මර්දන කොට්ඨාසයේ සහ බොරලැස්ගමුව පොලිසියේ නිලධාරීන් විසින් රූමත් තරුණියන් හය දෙනකු ඇතුළු 21 දෙනකු අත්අඩංගුවට ගනු ලැබූ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. මෙම තරුණ පිරිසට අමතරව හෂීස්, අයිස්, කේරළ ගංජා, මත් පෙති, දිව යට තබාගන්නා පෙති සහ හොර සිගරට් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගත් බව එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් ය.

රටක ජීවනාලිය තරුණ පරපුර බව අවිවාදාත්මක සත්‍යයකි. තාරුණ්‍යය යන වචනයට දී ඇති නිර්මාණාත්මක තේරුමක් වන්නේ ‘දිලිසීම’ යන්නය. එයින් කියැවෙන්නේ යමකු තරුණ වියේ පසුවන්නේ නම් ඔහුගේ වගකීම වන්නේ එම යුගය බැබළවිය යුතු යන්නය. මන්දයත් තාරුණ්‍යය හිමිවන්නේ ජීවිතයේ එකම එක අවස්ථාවක දී පමණක් වන හෙයිනි.

තරුණයා ප්‍රඥාවන්ත විය යුතු ය. සත්‍යගරුක විය යුතු ය. සටන්කාමී විය යුතු ය. යුක්තිගරුක විය යුතු ය. නිර්මාණශීලි විය යුතු ය. මහා මානව දයාවකින් මෙන්ම මහා මානව අනුකම්පාවකින් පිරිපුන් විය යුතු ය. අත් නොහළ අපේක්ෂාවෙන් මෙන්ම ගල් පව්වක් වුව අස්වද්දන මහා වීර්යයෙන් සමන්විත විය යුතු ය. තමන්ගේ යුගය බැබළවීමට සමත් මහානුභාවසම්පන්න හැකියා සම්පත්තිය ගොඩනැඟෙන්නේ එමගිනි.

කරුණු කාරණා එපරිදි වුවද මෙරට තරුණ සම්පත සම්බන්ධයෙන් අසන්නට, දකින්නට ලැබෙන්නේ අනාගතය සම්බන්ධයෙන් භීතිය දල්වන පුවත් වේ. එක් අතකින් ෆේස්බුක් සාද නමින් හැඳින්වෙන මත්ද්‍රව්‍ය පිරිවැරූ සාද තුළ තාරුණ්‍යය දියකර හරින තරුණ තරුණියෝ වෙති. මහ මැදුරුවල සඳලුතලවල සිට මෙන්ම ජනාකීර්ණ වීදිවල අඳුරු වීදි හා ගොඩනැගිලි තුළ සිට විවිධ මත්ද්‍රව්‍ය පානය කරන තරුණ තරුණියෝ වෙති. මත්පැනට ඇබ්බැහිවූවෝ වෙති. යතුරු පැදිවල නැඟී ඉගිලි යමින් හදිසි අනතුරුවලින් දිවි අහිමි කර ගන්නා තරුණ තරුණියෝ වෙති.

රටක අනාගතය බාරගැනීමට සිටින්නේ තරුණ පරපුරය. මේ රට ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරෙන්නේ එම තරුණ පරපුරටය. එය එසේ නම් එම තරුණ පරපුර එයට හිමි නිසි ගුණෙන්, බරින් හා ගැඹුරෙන් මෙන්ම පැහැයෙන් සමන්විත විය යුතු ය. මත්පෙති සාද අතරේ කාලය ගෙවා දමන තරුණ පරපුරකින් ක්‍ෂිතිජයට ඔබ්බෙන් ලෝකය දකින නැණවත් ගුණවත් ප්‍රවණතාවක් අපේක්‍ෂා කළ නොහැකි ය.
අප රටේ තාරුණ්‍යය මෙසේ වල්මත් වෙමින් අයාලේ යමින් සිටින්නේ ඇයි? බොහෝ ගැඹුරින් විග්‍රහ කර ගත යුතු තත්ත්වයකි. මෙය තරුණ පරපුරේම වරදක් ද? නැතහොත් සාධක ගණනාවක එකතුවකින් නිර්මාණය වූ පලයක් ද?

1977දී බලයට පත්වූ රජය සිට වර්තමාන රජය දක්වා කැබිනට් මණ්ඩලය නිරීක්‍ෂණය කළ විට පෙනී යන්නේ තරුණ පරපුර වෙනුවෙන්ම කැබිනට් අමාත්‍යාංශයක් තිබෙන බව ය. ජාතික තරුණ සේවා සභාව වැනි ආයතන ද යොවුන් පුරය වැනි ව්‍යාපෘති ද තිබෙන බව ය. මේවායේ ඵලදායිතාව සම්බන්ධයෙන් විවේචන තිබිය හැකි වුවද එබඳු අමාත්‍යාංශ, ආයතන හා ව්‍යාපෘති තිබීමෙන් පෙනී යන්නේ රජයක් තරුණ පරපුර සම්බන්ධයෙන් වගවීමක් ඇති බව ය.

එහෙත් එම වගවීම මහ පොළොවට කාන්දු විය යුතු ය. එහිදී ඉගෙන ගැනීමට සුදුසු නිර්බාධක පරිසරයක් තිබිය යුතු ය. අධ්‍යාපනයට ගැළපෙන රැකියා ලබාගැනීමේ ඉඩ ප්‍රස්ථා තිබිය යුතු ය. මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්විය හැකි සුසංගත පරිසරයක් තිබිය යුතුය. තරුණ  පරපුරෙන් අසහනය, ඉච්ඡාභංගත්වය පළවාහැරීමට හැකිවන්නේ එබඳු සන්සුන් සංහිඳියාවෙන් පිරීගත් පරිසරයක ය.

මෙයින් කියැවෙන්නේ තරුණ පරපුර මතට හා එවෙලේ ලැබෙන සතුටට ජීවිතය කැප කරන්නේ පෙර කී කාරණා නිසාම බව නොවේ. ඒවාත් බැහැර කළ නොහැකි සාධක වේ. අනෙක් අතට තාරුණ්‍යය නිවැරැදිව ගොනු කර ගැනීමට සමත් දියුණු වැඩපිළිවෙළක් තිබිය යුතු ය. තාරුණ්‍යයට බලාපොරොත්තුවක් රැගෙන ඒමටත් එම බලාපොරොත්තු ජීවමාන යථාර්ථයක් බවට පත් කර ගැනීමට කැප කිරීම් කළ යුතු බවටත් තාරුණ්‍යයට ඇඟවිය යුතු ය. “ණය වී හෝ ගිතෙල් කන” වෛදික මනසින් තරුණ පරපුර මුදාගැනීමට හැකි වන්නේ එමගිනි.

සෙත් පිරිතෙන් අවදි වී මහ පිරිතෙන් නින්දට යන ජාතියක වර්තමාන තරුණ පරපුරේ කතාව අතිශයින්ම බිහිසුණු ය. එයින් කියැවෙන්නේ අපගේ දහම් පණිවිඩය නිවැරැදිව තරුණ පරපුරට සන්නිවේදනය වී නොමැති බව ය. මේ තරුණ පරපුර නූගත් නොවෙති. එහෙත් ඔවුන්ට පුරුෂාර්ථ මොනවාදැයි හඳුනා ගැනීමට නොහැකි වී තිබේ. ප්‍රපාතය කරා ගමන් කරමින් සිටින්නේ එහෙයිනි.

මරාගෙන මැරුණු පාස්කු බෝම්බකරුවන්ගේ ඇතැම් ඥාතීන් මාධ්‍යයට පවසා තිබුණේ තම දරුවන් තමන් නොදැන සිටි බවය. එහෙත් නොදන්නාකම විනාශය වළක්වා නැත. “ෆේස්බුක්” සාදවලට යන තරුණ තරුණියන්ගේ මවුපියන්ට සිහිපත් කිරීමට තිබෙන්නේ එය ය.