තරුණ කලාකරුවන්ගේ අලුත් පරපුර සංවිධානයේ කලාකරුවන් පිරිසක් කුරුණෑගල ප්‍රදේශයට පිටත්ව ගියේ එම දිස්ත්‍රික්කය මෛත්‍රී ඇමතිතුමාට අවාසිදායක දිස්ත්‍රික්කයක් ලෙස අප හඳුනාගෙන තිබුණ හෙයිනි. දෙසැම්බර් 29 වැනිදා දහවල් මෙම පිරිස කුරුණෑගල කුඹුක්ගැටේ මංසන්ධියේදී ‘මුලාවෙන් මිදෙමු’ නමින් සංගීත සංදර්ශනයක් පවත්වමින් සිටියදී වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික හා නිල් බළකායේ ටී-ෂර්ට් ඇඳගත් පිරිසක් විසින් ඔවුන්ට පහරදෙන ලදී.
කසුන් කල්හාර, ඉන්ද්‍රචාපා ලියනගේ, අමා විජේසේකර, මොහාන් රාජ් මඩවල ඇතුළු විශාල පිරිසක් මෙම පිරිස අතර සිටියහ. ඒ අතරින් රෝහල් ගතවීමට තරම් ප්‍රබල ප්‍රහාරයකට ලක්වූයේ සමනලී ෆොන්සේකා හා ලක්ෂ්මන් විජේසේකරය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර ඊට ඩබ්. ජයසිරි, අනෝමා රාජකරුණා, මොහාන් රාජ් මඩවල, ලක්ෂ්මන් විජේසේකර මෙන්ම නව පරපුරේ කලාකරුවන් වන සමනලී ෆොන්සේකා, කසුන් කල්හාර, අමා විජේසේකර, ජගත් මනුවර්ණ, කෞශල්‍යා කුමාරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වූහ. විශේෂයෙන්ම රටේ තරුණ පරපුරට මෙම සිදුවීම සිදු කළ බලපෑම අතිමහත්ය.
වඳුරඹ වේදිකාවට ගිනිතැබීම සේම මෙම සිදුවීමද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයට දැඩි බලපෑමක් එල්ල කිරීමට හේතුවූවා නිසැකය. විශේෂයෙන්ම ෆේස්බුක් මාධ්‍යයෙන් ඊට පුළුල් ප්‍රචාරයක් ලැබුණු අතර ශ්‍රී ලාංකේය කලාකරුවන්ට පහරදෙන ආණ්ඩුව ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා සල්මන් ඛාන් මෙරටට ගෙන්වීම පිළිබඳ අප ගොඩනැගූ මතවාදය අතිශය සංවේදී ආකාරයෙන් ජන මනසට කාවැදුනි.
මෙම සිදුවීම වූ දිනයේ සල්මන් ඛාන් හා ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත බොලිවුඞ් නිළියක් වන ජැකලින් ෆර්ඩිනෑන්ඩස් ශ්‍රී ලංකාවට පැමිණ සිටියහ. විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව මොවුහු මැතිවරණ ව්‍යාපාරයට සහභාගිවීමේ අරමුණින් මෙරටට පැමිණ සිටියහ. එහෙත් සල්මන් ඛාන්ට ශ්‍රී ලංකාවේ සිටීමට හැකිවූයේ දින දෙකක් පමණි. ඔහු ගමන්ගත් වාහන පෙළෙහි එක් ඩිෆෙන්ඩර් රථයක් පාසල් ශිෂ්‍යයකු සදාකාලික ආබාධිතයකු කරමින් දෙසැම්බර් 29 වැනිදා රාජගිරියට නුදුරු පෙදෙසකදී රිය අනතුරක් සිදුවිය. කෙසේ වෙතත් සල්මන් ඛාන් මෙරටට ගෙන්වීමේදී නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා බලාපොරොත්තු වූ ‘ගැම්ම’ ගොඩනැගුණේම නැත. සල්මන් මහින්ද ජනාධිපතිතුමා ගොඩවූ මැතිවරණ වේදිකා දෙකතුනකට ගොඩවැදුණත් ජනතාවගෙන් ඊට උද්වේගකර ප්‍රතිචාරයක් ලැබුණේද නැත. කෙසේ වෙතත් දෙසැම්බර් මස 30 වැනිදා පැවති ජනහමුවකදී මෛත්‍රී ඇමතිතුමා කියා සිටියේ සල්මන් ඛාන් මෙරටට ගෙන්වීම සඳහා රුපියල් මිලියන 700ක් පමණ වියදම් කර ඇති බවකි.
මහින්ද රාජපක්ෂගේ සම්පූර්ණ දේශපාලන ජීවිතය පුරාම ඔහු ඉන්දියානු විරෝධියෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමස්ත ජනාධිපතිවරණ ව්‍යාපාරයම ගොඩනගා තිබුණේ ඉන්දියානු විරෝධය මතය. පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමා මෙන්ම චන්ද්‍රිකා මැතිනියද ඉන්දියානු ගැත්තන් ලෙස සන්ධාන මැතිවරණ වේදිකා තුළින් හඳුන්වා දෙනු ලැබීය. එහෙත් අවසානයේ පරාජයේ මුවවිටට පැමිණි කල ඉන්දියානු නළුවකුගේ රූපකාය හා ජනප්‍රියතාව හෝ විකුණා ඡන්ද රැස් කිරීමට තරම් එම මැතිවරණ ව්‍යාපාරය පහළ මට්ටමකට ඇද වැටුනි. තවද සල්මන් ඛාන් කැඳවීම පිළිබඳ කෙරෙන පුළුල් විග්‍රහයේදී පෙනී යන්නේ බහුතර සිංහල සමාජය පහසුවෙන් ‘මෝඩයාට’ ඇන්දවිය හැකි බවට ඔවුන් තුළ වූ විශ්වාසයයි.
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත එක්සත් ලක් වනිතා පෙරමුණ දෙසැම්බර් 31 වැනිදා විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී කාන්තා සමුළුවක් සංවිධානය කරන ලදී. ඊට පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපාද සමගය. රෝසි සේනානායක මහත්මිය ඇතුළු පිරිසක් මෙම කාන්තා සමුළුව සංවිධානය කිරීමට දින ගණනක් පුරා වෙහෙසවූහ.
ෆයිසර් පොදු අපේක්ෂකයාට එක්වීමත් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ වේදිකාව තුළ මුස්ලිම් නියෝජනය බෙහෙතකට හෝ සොයාගැනීම උගහට විය. ඒ අනුව දේශපාලනමය වශයෙන් යම් පමණකට අක්‍රිය තම වයස්ගත සිරුරින් පමණක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ සිටිමුත් මතවාදීව මෛත්‍රී ඇමතිතුමා සමඟ සිටි ෆවුසි ඇමතිතුමා හා ඔහුගේ පුත්‍රයාට පමණක් ජාතික මට්ටමේ මුස්ලිම් නියෝජනය ලඝු වූවා වැනිය.
විශේෂයෙන්ම දෙසැම්බර් මස අවසන් වන විට දෙමළ මුස්ලිම් බහුතර දේශපාලනඥයන් සමඟ එම ජනතාව පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමා වෙත සහයෝගය පළ කර හමාරය. ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාවල ප්‍රමුඛ තේමාව බවට පත්වූයේ පොදු අපේක්ෂක හා දෙමළ මුස්ලිම් පක්ෂ හා කණ්ඩායම් සමඟ ඇති කර ගත්තා යැයි කියනු ලැබූ ගිවිසුම් පිළිබඳවය. මහින්ද සමරසිංහ ඇමතිතුමා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පොදු අපේක්ෂකයා අත්සන් කර ඇති ගිවිසුම්වල තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවේ ඉල්ලීම් බවය. ගොබල්ස් න්‍යායේ වටිනාකම යළි පසක් කරන්නාක් මෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි සියලු දෙනාම පොදු අපේක්ෂකයා අත්සන් කර ඇති ගිවිසුම් හෙළි කළ යුතු බවට සිංහල බෞද්ධ සමාජය ප්‍රකම්පනය වන ආකාරයට මහ හඬින් කෑ ගැසීය. ඔවුන්ට අනුව හොර ගිවිසුම් හා කුමන්ත්‍රණ න්‍යායන් ක්‍රියාත්මක වී තිබුණේ පොදු අපේක්ෂකයා කේන්ද්‍ර කර ගනිමිනි. ඒ අනුව පොදු අපේක්ෂකයා හා දෙමළ ඩයස්පෝරාව අතරද, පොදු අපේක්ෂකයා හා මුස්ලිම් කොංග්‍රස් නායක හකීම් අතරද, පොදු අපේක්ෂකයා හා දෙමළ ජාතික සන්ධානය අතරද සහ පොදු අපේක්ෂකයා හා රනිල් වික්‍රමසිංහ මහතා අතරද වශයෙන් රටට අහිතකර ගිවිසුම් ගණනාවක් තිබුණි.
මේ අතර ජනාධිපතිවරණයට දින 14ක් පමණ තිබියදී චම්පික ඇමතිතුමා මට මෙසේ කීය. ‘මල්ලි අපි ඡන්ද ලක්ෂ දෙකකින් විතර දිනුවොත් උන් අපිට ගහල දිනුම ගන්නව. මට පේන්නෙ 51% කට වඩා අපි යන එකක් නෑ වගේ. ඒක හින්ද අලුතින් ඇනලයිස් කරන්න මෛත්‍රී ඇමතිතුමා 53%ක් විතර ගන්න විදිහට. එහෙම හදල අපේ වෙබ්සයිට්වලත් ෆේස්බුක්වලත් ගහන්න’ යනුවෙන් පැවසීය. සැබවින්ම මටද එය කළ යුතු දෙයක් ලෙස වහා වැටහී ගියේය. ඒ අනුව එතැන් සිට දින 03ක් සම්පූර්ණයෙන්ම රාත්‍රිය පහන්වනතුරුම අපගේ කණ්ඩායම එම කාර්යයේ නිමග්නවීමු. එහිදී පෙර පරිදිම චාමර, රවීන්ද්‍ර, නදීෂ් මෙන්ම හරේන්ද්‍ර ද ඊට එක්වූහ. සත්තකින්ම එම විග්‍රහය සම්පූර්ණ වන විට ‘යුරේකා’ යන වචනය යළිත් හඬනැගෙන මට්ටමටම අපගේ සොයාගැනීම නිරවද්‍ය හා සාර්ථක විය. එම විග්‍රහයෙන් මෙපිට කිසිවක් සිදු නොවිය හැකිය. පොදු අපේක්ෂකයාට සිංහල බෞද්ධ සමස්ත ඡන්ද සංඛ්‍යාව 40%ක් වුවද අවසන් විග්‍රහයේදී ඔහු ජයගත යුතුය. එහෙත් සමස්ත රට ලෙස ගත් විට දකුණු පළාතේ මැතිවරණ කොට්ඨාස 10ක පමණ හැර අනෙක් පළාත්වලදී පොදු අපේක්ෂකයා සිංහල බෞද්ධ ඡන්දයෙන් පමණක් 45-46% ප්‍රතිශතයකට ළඟාවනු ඇති බව සක්සුදක් සේ පැහැදිලිය.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්