ආනයනික අතිරේක භෝග 15ක් රට තුළ ප්‍රවර්ධනය කිරීමේ “දීපව්‍යාප්ත සෞභාග්‍යා ජාතික ආහාර නිෂ්පාදන” වැඩපිළිවෙළට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් මණ්ඩල ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ගෝලීය වසංගතයක් වශයෙන් ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වයිරසය හමුවේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට පිළියමක් වශයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. මෙහිදී ගෙවතු දස ලක්ෂයක් වගා කිරීම අරමුණ බවද ප්‍රකාශිතය.
අනතුර කල් ඇතිව දකින ඉසිවර නුවණක් ඇවැසි බව ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අද දවසේ ඔප්පු වී හමාරය. විනාශයෙන් මෙපිට පාඩම් ඉගෙන නොගැනීමේ සිරිතට තිත තැබිය යුතුය. “අවදානමට වඩා සූදානම යෙහෙකි” බව අපේ මුතුන් මිත්තන් ප්‍රකාශ කළේද එහෙයිනි.
මේ සටහන තබන මොහොත වනවිටත් අප රටේ ගුවන් තොටුපළවල් වසා තිබේ. වරායන් වසා තිබේ. මේ කවදා විවෘත කළ හැකිවේදැයි අනුමාන කළ නොහැකි තරම්ය. ඇල්පෙනෙත්තක් හෝ නිෂ්පාදනය නොකරන මෙන්ම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පවා ආනයනය කරනු ලබන රටකට ගුවන් තොටුපළවල් හා වරායන් වසා දැමීමෙන් මුහුණ දීමට සිදුවන පීඩාකාරී හා අන්තරායකාරී තත්ත්වය අමුතුවෙන් පැහැදිලි කළයුතු නැත.
විශේෂිතම කාරණාවක් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්නා නිල රටවල් සංඛ්‍යාවද ඉක්මවා කොරෝනා මාරාන්තික වයිරසය පැතිර තිබේ. බලවත් යැයි සම්මත, පිළිගන්නා බොහෝ රටවල තත්ත්වය අප රටේ තත්ත්වයට වඩා බෙහෙවින් සැහැසිය. වෙනත් රටකට උදව් උපකාර කිරීමේ හැකියාවක් තවත් බොහෝ කලක් යනතුරු එම රටවලටද අත්පත් කරගත නොහැකිය. අප රටට ඉදිරියේදී මුහුණපෑමට සිදුවන අනතුරෙහි දිග-පළල එපරිදිය.
බත බුලතින් සරුසාර වූ ඉසුරුමත් ආර්ථිකයක් දුරාතීතයේ අප රටෙහි පැවතිණි. ගෝලීයකරණයත්, නව ආර්ථික ප්‍රවණතාත් හමුවේ අපගේ ඒ ඉසුරුමත් බව අපට අහිමි වී ගියේය. විශ්වයම එකම පවුලක් බවට පත්ව ඇති ගෝලීයකරණය හමුවේ පවුලේ ඒ ඒ සාමාජිකයන්ට තම තමන්ගේ පැවැත්ම තම තමන්ටම සකස් කර ගැනීමේ වගකීම පැවරී තිබේ.
අභියෝගය වඩාත් බැරෑරුම්ය. එමෙන්ම දරුණුය. එහෙත් පසුබා යාම අපට තරම් නොවේ. අපි ජාතියක් වශයෙන් විවිධ කාලවකවානුවල විවිධාකාර වූ අභියෝගවලට මුහුණ දී ඇත්තෙමු. එහෙත් ඒ සෑම අභියෝගයක්ම ජය ගැනීමට අපට හැකිවිය. ඒ අභියෝගය යනු අවස්ථාවන් ලෙස අප සැලකූ හෙයිනි. රටක් වශයෙන්, ජාතියක් වශයෙන් අප සතු ශක්තිය කොතරම්දැයි උරගා බැලීමේ අවස්ථාවක් බවට අපි අභියෝග යොදා ගත්තෙමු. ඉතිහාසය ආපිට කැරකි නැවතත් පැමිණ තිබෙන්නේ එතැනටමය.
මහින්දාගමනයත් සමග අප ජාතියට බෞද්ධ ආර්ථික දර්ශනය හිමිවිය. ධාර්මික ධනෝපායන අර්ථක්‍රමය ලෙස කෘෂිකර්මාන්තය අපි වැළඳ ගත්තෙමු. එහෙත් මුඩුබිම් සරුබිම් බවට පත් කරමින් බත බුලතින් රට සරුසාර කිරීමට නම් ජලය අවශ්‍ය වේ. අහස් ජලය හැර අන් ජලයක් අපට නොවීය. අහස් ජලයද සෑම කාලයකම නොලැබෙන්නේය. එය අභියෝගයක් වශයෙන් පෙර රජ දරුවෝ බාර ගත්හ. ඒ අනුව අහසින් වැටෙන එක ජල බිඳක් හෝ නිරපරාදේ මහ මුහුදට ගසාගෙන යාමට ඉඩ නොදී ඒ ජලය එක්රැස් කර තබා ගැනීම පිණිස මහ වැව් ඉදි කළහ. වැව් හෑරූ පස්කඳු අහස සිඹින මහ දාගැබ් බවට පත්විය. ජනාවාස ඉදිවූයේ සයුර පරයන ඒ වැව් ආශ්‍රිතවය. ගමයි, පන්සලයි - වැවයි දාගැබයි, නිල් ගොයමයි අපේ රටේ ශිෂ්ටාචාරය ඔදවත් කළේය. අදටත් අප පූජනීයත්වයෙන් සලකන්නේ ඒ අභිමානවත් ශිෂ්ටාචාරයෙන් නිපැදුණ මහා සංස්කෘතික උරුමයන්ය.
පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලියෙන් අප රට වර්ණවත් වූයේ ඒ අතීත යුග පුරුෂයන්ගේ තුන්කල් දක්නා ඉසිවර නුවණින් පැමිණි ගමන් මාවත නිසාය. 21 වැනි සියවසේ ගෝලීය වසංගතයක් ඉදිරිපිට අපට යළිත් යාමට සිදුවී තිබෙන්නේ ඒ අතීත උරුමය වෙතය. මෙය එක් අතකින් අභියෝගයක් නොව ඉතිහාසයක් පුරා පැමිණි ගමන් මගේදී උවමනාවෙන් අතහැර දමා පැමිණි උරුමයන් සම්බන්ධ සිහිකැඳවීමකි. “ඉතිහාසය විසින් මග දමා ආ හැම දෙයක්ම වර්තමානයට බර වැඩි” යැයි කියන්නේ එහෙයිනි.
ලොව ලොකුම ගින්න බඩගින්නය. ඒ බඩගින්න නිවා ගැනීමේ නිශ්චිත, ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබිය යුතුය. ගෝලීයකරණයේ බොත්තම එබූ සැණින් අපේ ආහාර සලාකය අපට අහිමි වේ නම් අප සිටින්නේ ඉතා දරිද්‍රතාවයකය. එය එසේ නොවී අල්ලපු රටටත් කන්න බොන්න දිය හැකි තරමට මේ නවමු පොළොව අපට අස්වැද්දිය හැකිය. ඒ අර්ථයෙන් අපි ඉතිහාසය අලුතෙන් ලිවීම ආරම්භ කරමු.